වෙරෝනිකා මැරෙන්න ගියේ අපි නිසා ද? – VERONIKA DECIDES TO DIE

පවුලෝ කොයියෝ විසින් රචනා කරන ලද Veronika Decide Morrer කෘතිය මාග්‍රට් කොස්තා විසින් Veronika decides to die නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කර හාපරි කොලින්ස් සමාගම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ප්‍රවීණ පරිවර්තක ගාමිණී වියන්ගොඩ මහතා විසින් ‘වෙරෝනිකාමැරෙන්න තීරණය කරයි’ යනුවෙන් එය සිංහල බසටද පරිවර්තනය කර ඇත. කෙසේ වුවද මා විසින් කියවන්නට යෙදුණේ ඉංග්‍රීසි පර්වර්තනයයි.

කතා සාරංශය

ස්ලෝවේනියාවේ ලුබියානා නගරයේ වාසය කරන විසිහතර වියැති වෙරෝනිකා නම් තරුණිය සියදිවි නසා ගැනීම සඳහා නිදි පෙති පානය කරන සිදුවීමකින් කතාව ඇරඹෙයි. කෙසේ වුවද ඉන් මිය නොයන ඇය ප්‍රතිකාර කිරීම සඳහා යොමුකෙරෙන්නේ විලාතේ නම් නගරයේ ප්‍රකට මානසික රෝහලක වෙතය. මේ රෝහලේදී ඇයට දැනගන්නට ලැබෙන්නේ තමන්ගේ ප්‍රාණය ඉතිරි වුවද තවත් දින හතකින් තමන් මියයන බවය. එයට හේතුව ලෙස වෛද්‍යවරු පවසන්නේ නිදිපෙති වලින් ඇගේ හදවතට සිදුව ඇති දැඩි හානි බවය. මානසික රෝහලක් වුවද එය අමුතුම ස්ථානයකි. එතැනදී ඇයට සෙඩ්කා, මේරී සහ එඩුරාඩ් යන චරිත හමුවෙයි. කතාව ඉදිරියට යන්නේ මේ අයගේ ජීවිත කතාද සමඟිනි. (අවසානය ගැන සඳහන් නොකරන්නේ පොත නොකියවූ අය සඳහාය)

වෙරෝනිකා සිය දිවි තොර කරගන්න උත්සාහ කරන්නේ ඇයි?
වෙරෝනිකාගේ චරිතය කියවන බොහෝ දෙනෙකුට නිතැතින්ම නැගෙන පැනය නම් දිවි නසාගැනීමට ඇයට තිබූ හේතුව කුමක්ද යන්නයිි. වෙරෝනිකා රැකියාවක්, හොඳ අධ්‍යාපනයක් තිබූ තරුණයන් ඇසුරු කළ, කැමති විටක ඔවුන් සමඟ ආලයෙන් වෙලී කාමරයක හෝ වන රොදක කාලය ගතකළ යුවතියකි. මතුපිටින් බලන විට ඇගේ දිවියේ කිසිදු පැනයක් නැති තරම්ය. කොයියෝ පාඨකයා කැඳවාගෙන යන්නේ මෙවැනි ප්‍රශ්නාර්ථයක් හරහාය. සාමාන්‍යයෙන් දිවි තොර කර ගැනීමට සැලකිය යුතු තරමේ ධෙර්යයක් ද අවැසිය. ඇගේ මේ මානසික භාවය ගැන විවිධ කෝණයන්ගෙන් බැලිය හැකිය.

වෙරෝනිකාගේ චරිතය

කොයියෝ මෙම චරිතය ගොඩනංවන ආකාරය සියුම්ව පරීක්ෂා කළ යුතුය.
ඇය සියදිවි හානිකර ගැනීමට කෙතරම් නම් බියක් දැක්වූයේද කියා වටහාගත හැකි අවස්ථා කිහිපයක්ම වේ.
“තම ඇඳ අසල තිබූ මේසයෙන් ඇය නිදි පෙති පැකට් හතරක් අතට ගත්තාය. ඒවා සියල්ල කුඩු කර වතුර සමඟ මිශ්‍ර කරනු වෙනුවට පෙති එකින් එක බොන්නට ඇය තීරණය කළාය. මන්ද අභිප්‍රාය සහ ක්‍රියාව අතර හැමවිටම පරතරයක් තිබූ හෙයින් අතර මැදදී නවතා දැමීමේ නිදහසක් ඇයට උවමනා විය. ” – පිටුව 01

මෙතැනදී ඇය සියදිවි නසාගැනීමට බියක් තිබුණු බව මෙන්ම ඇය ආදරණීය චරිතයක් බව පෙන්වයි. බොහෝවිට දේවල් හෙමින් කරන්නට පෙළඹෙන්නේ ආදරණීය ගති ඇති අයයි. ඇය පෙති එකින් එක ගන්නේ නවත්වන්නට අවශ්‍ය වුවහොත් එය නවතා දැමීම සඳහාය.

අත කපාගෙන සියදිවි නසාගැනීම ගැන පවා ඇය කල්පනා කර බැලුවාය. කාමරය ලේ විලක් බවට පත් වුවද, කන්‍යා සොයුරියන් ව්‍යාකූල සහ කරදරකාරී තත්වයට පත්වුවද ගැටලුවක් නැත.. සියදිවි නසා ගැනීමකදී මිනිසුන් පළමුව තමන් ගැන සිතීමත්, අනෙක් අය ගැන පසුවට සිතීමත් ඉල්ලා සිටින හෙයිනි.

ලුබියානාවේ ඇති උස ගොඩනැගිල්ලි වලින් එකකින් පහළට පැනීම පැහැදිලිවම ඇයට කළ හැකිව තිබුණද, එතරම් උසක සිට බිමට පැනීමෙන් තමන්ගේ දෙමාපියන්ට තවදුරටත් කෙතරම් වේදනාවක් අත්කර දෙනු ඇතිද? පිටුව 03
දිවි නසාගැනීමට අවශ්‍ය වුවද ඇය ඉහත කී ක්‍රම වලට බියක් දැක්වූ බව පැහැදිලිය. තමාගේ බියගුලු බව වසාගැනීමට ඇය විවිධ හේතු කාරණා ගෙන එයි. ඒ කන්‍යා සොයුරියන් අපහසුවට පත්කිරීම හෝ දෙමාපියන් වෙත වේදනාවක් අත්කර දීම ගැන කියමිනි. ඇය නිදිපෙති බීම තෝරාන්නේ එහෙයිනි. එමෙන්ම කතාවේ ඉදිරියේදී තමන් දින හතකින් මරණයට පත්වන බව පැවසූ විට ඇය දැඩිව බියට පත්වෙයි. ඒ මරණය ගැන ඇයට තිබූ බිය නිසාවෙනි. වෙරෝනිකා අප සැම තුළම සිටී.
“මම ඇඬුවේ ඒකයි” වෙරෝනිකා කීවාය. “මම නිදි පෙති ගත්ත වෙලේ, මම වෛර කරන කෙනෙක්ව මරන්න මට ඕන වුණා. මගේ ඇතුලේ ඒ වගේ, මම ආදරය කරන වෙරෝනිකා කෙනෙක් ඉන්නවා කියලා මම දැනගෙන හිටියේ නැහැ” පිටුව 65
මෙතැනදීත් ඇය බියගුල්ලියක බව සනාථ වෙයි. ඇගේ සමහර ගති වලට තමන් වෛර කළ බව ඇය පිළිගන්නීය. තමන්ටම වෛර කරගන්නේ තමන් බියගුල්ලෙකු බව පිළිගැනීමට අකමැති පුද්ගලයන්ය. තමන්ගේ අභ්‍යන්තරයේ ඇති වෛරය පිටතට පෙන්වන්නට ඇය අකමැතිය. මන්ද මිනිසුන් ඇයට වෛර කරනවා දකින්නට ඇය අකමැතිය. ඇය සියදිවි නසාගැනීමට උත්සාහ කරන්නේ තමන් බියගුල්ලියක බව තේරුම් ගැනීමේ යථාර්තයෙන් පලා යනු වස් ය. එසේ වුවද ඇය තමන්ටම පෙරලා ආදරය කළ ආදරණීය චරිතයකි. ඒ බව සනාථ වන්නේ මානසික රෝහලේදී සිහිය ලැබීමෙන් පසුව ඇය තමන් ගැන සිතන ආකාරයෙනි.

“මම නිදි පෙති විතරක් ගත්ත නිසා මගේ පෙනුමට කිසිම හානියක් වෙලා නැහැ: මම තවමත් තරුණයි, ලස්සනයි, බුද්ධිමත්, මට පෙම්වතෙක් හොයාගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. ” පිටුව 21
(මෙහි පරිවර්තිත කොටස් මා විසින් කළ ඒවාය. වියන්ගොඩ මහතාගේ පොත ළඟ නොමැති නිසා උපුටා ගැනීමට අවස්තාවක් නැති බව සලකන්න)
සෙසු චරිත

මෙහි එන සෙඩ්කා, මේරි සහ එඩුරාඩ් යන චරිත ගැන පවා මෙලෙස විශ්ලේෂණය කළ හැකි වුවද, එය තරමක් දීර්ඝ කාර්යයකි. එනිසා එම චරිත කෙටියෙන් විස්තර කරන්නට කැමැත්තෙමි.

මේරි

වයස හතලිස් ගණන් වල පසුවන, පෙරදී නීතිඥවරියක වූ ඇය තුළද බියගුලු බව මතුව පෙනෙයි. ඒ තමා බවට පත් වීමට නොහැකි වීමේ බියගුලුකමය. ඇය තම ජීවිත කාලය පුරාම රජයේ සියලු නීති වලට යටත්ව ජීවත් වුවද මානසික රෝහලට පැමිණීමෙන් ඇය තවදුරටත්, කිසිදු නීතියකට යටත් විය යුතු නැති බව වටහා ගත්තාය. මන්ද නීති බිඳ දැමුවද මානසික රෝහල තුළ එයට දඬුවමක් හිමිවන්නේ නැත. එමෙන්ම ඇය දේවියන් විශ්වාස නොකරයි. එමෙන්ම ඇය දෙවියන් වරදකාරයා බවට චෝදනා කරයි. ඇය චෝදනා කරන්නේ තහනම් ගසේ ගෙඩි කන බව දැන දැනම දෙවියන් එය ආදම් සහ ඒවා සිටින උද්‍යානයේම රෝපණය කළේ ඇයි? එය ඉන් පිටත මවන්නට දෙවියන්ට නොහැකි වීද? ආදම් සහ ඒවා පමණක් නොව මුළු මහත් මිනිස් වර්ගයක් අද මේ බරපතල අනතුරට ඇද දමා ඇත්තේ දෙවියන්ගේ පරිපාලනයේ අදක්ෂභාවය නිසා බවට ඇය චෝදනා කරයි. ඇය පවසන්නේ දෙවියන් මිනිසුන්ට විපත් අනතුරු ගෙන දෙන්නේ ඒවායින් මිනිසුන්ව මුදාගෙන තමන්ගේ බලය පැතිරවීම සඳහා බවයි. දෙවියන් මිනිසුන් ඉදිරියේ විවිධ ඇමවල් දමමින් ඔවුන් අපරාධයක් කරන තුරු බලා සිට ඉන් සතුටු වන බව ඇය පවසයි.

එහෙත් මේ අදහස් භාහිර සමාජයේදී ප්‍රකාශ කරන්නට තරම් ධෛර්යයක් ඇයට නැත. සමාජය තමන් දෙස කවරාකාරයකින් බලාවි දැයි ඇයට බියක් ඇත.

සෙඩ්කා

මානසික රෝහල තුළ වෙරෝනිකා සමඟ මුලින්ම මිතුරුකමක් ඇතිකරගන්නේ සෙඩ්කාය. වෙරෝනිකා ගේ ජීවිතය වෙනස් කරන්නට බලපෑම් කරන ප්‍රබලම චරිතය සෙඩ්කාය. සෙඩ්කා හරහා ඇය ජීවිතයේ වටිනාකම සහ අනිත් අයට ආදරය කිරීම වටහා ගනී. සෙඩ්කාට ඉන්සියුලින් ප්‍රතිකාරය ගබාදෙන අයුරු දකින ඇය ගේ හදවත පෙර නොවී විරූ අයුරින් කම්පනය වේ. මේ දෙනොගේ සංවාදය තුළ ඇය වෙරෝනිකා කෙරෙහි බලපාන ආකාරය දකින්නට ලැබේ.

එඩුරාඩ්

මොහු දක්ෂ, තමන්ගේ කැමැත්තට වැඩ කරන, ජීවිතය ප්‍රශ්න කරන කාරුණික තරුණයෙකි.වෙරෝනිකාගේ පෙම්වතා බවට ඔහු පත්වෙයි. ඔහු හීනෝන්මාදයෙන් පෙළෙන බව වෛද්‍යවරු විශ්වාස කරති. එඩුරාඩ්ගේ පියා තානාපතිවරයෙකි. රජයේ ඉහළ නිළධාරියෙකි. පියාට සහ මවට අවශ්‍ය වන්නේ ඔහුව තානාපති සේවයට ඇතුළත් කිරීමටය. එහෙත් ඔහුට අවශ්‍ය වන්නේ චිත්‍ර ශීල්පියෙකු යන්නටය. ඒ හේතුව නිසාම ඔහුව මානසික රෝහලට යවනු ලබයි. මේ චරිතය හරහා කොයියෝ තමන්ගේසැබෑ ජීවිත අත්දැකීම පාඨකයාට ගෙනඑන බව පෙනෙයි. කොයියෝ 1965 – 1967 අතර කාලයේදී මානසික රෝහලක ගත කරන්නේ කලාකාරයෙකු වීමේ ඔහුගේ සිහිනය උමතුවක් ලෙස දෙමාපියන් දැකීම නිසාය.

අවසානය

බැලූ බැල්මට මේ අය උන්මත්තකයන්ද? නැතිනම් ඔවුන්ව උන්මත්තකයන් කලේ කවුරුන්ද? වෙරෝනිකා තුළ බියගුලු බව හටගන්නේ ඇය සමාජය කෙරෙහි දක්වන බිය නිසාය. අනෙක් අය තමන් ගැන සිතන ආකාරය ගැන වදවෙන නිසාය. මේ ලෝකයේ ලියා නැති එහෙත් අදෘශ්‍යමානව ක්‍රියාත්මක වන නීති ඇත. ඒවා මේ පද්ධතියයි. මෙහි එන වෛද්‍ය ඉගෝර් වෙරෝනිකාගේ මවගෙන අසන පැනයක් ඇත.

අපි අපිට බඩගිනි එන වෙලාවට කන්න පුරුදු වුනොත් ගෘහනියොයි, ආපනශාලායි වැඩකරන්නේ කොහොමද?
සැබවින්ම අදෘශ්‍යමානය උදේ ආහාරය, දිවා ආහාරය, රාත්‍රී ආහාරය ලෙස සම්මත ආහර වෙලාවල් වෙන් කර ඇත. අපිට බඩගින්නක් දැනුණත් නැතත් ඒ වේලාවට අපි ආහාර ගත යුතු බවට අදෘශ්‍යමාන බලපෑමක් අපට ඇති වෙයි. අනෙක් අතට වෙලාවට කලින් බඩගින්නක් හැදුනොත් අප කරන්නේ වෙලාව එළඹෙන තෙක් කල් දැමීමය. අපි අපේ කුඩා අවධිය මතක් කළහොත් අපි එකල කෑම ගත්තේ ඔය වෙලාවන්ට නොව අපට බඩගිනි හැදුනු විට බව මතක් කල හැකිය. එසේනම් අපි මේ ඉන්නේ සිස්ටම් ගත ලෝකයකය. මේ සිස්ටම් එක නිර්මාණය කලේ කවුද? මේ දිනපතා චක්‍රයෙන් මිදුණ අය උන්මත්තකයන් ලෙස අපි දකිමු.

අන්තෝනියෝ ග්‍රාම්ෂි හෙජමොනිය නම් සංකල්පක් ඉදිරිපත් කරයි. හෙජමොනිය යනු යම් රාජ්‍යයක් හෝ සමාජ කණ්ඩායමක් අනෙක් අය කෙරෙහි පතුරවන ආධිපත්‍යයි. අපට අප කැමති දෙයක් ඉගෙන ගෙන, අප කැමති විදියට ජීවත් වීමට බාධා කරන්නේ මෙම ක්‍රමය නොවේද? මාක්ස් විසින් මෙම කණ්ඩායම ධනේශ්වරය ලෙස හඳුන්වයි. මේ අදෘශ්‍යමාන නීති බිහිව ඇත්තේ කොතැනින්ද? ඒවා දෙවියන්ගේද? නැත්නම් අපගේද? වෙරෝනිකා සියදිවි නසාගන්නට යන්නේ සැබවින්ම අප විසින් ඇති කරගෙන ඇති මේ විකාර සහගත පැවැත්ම නිසාය. කොය්යෝ තර්ක කරන්නේ මේ කාරණාවය. එය අදටද බරපතලය. චිත්‍ර, සංගීතය කරන්නට යන ළමයා බලෙන් ගෙනවිත් ගණිතය හෝ විද්‍යාව කරන්නට බලපෑම් කරයි. ඔහුට ස්වාධීන වීමට අයිතිය නොදෙයි. ආදරය එය යැයි දෙමාපියන් විහ්වාස කරයි. වෙරෝනිකාට අවශ්‍ය වූයේ පියානෝ වාදන ශිල්පිනියක් වීමටය. එහෙත් ඇගේ මව විමසන්නේ මා වෙනුවෙන් ඇයට එව අතහැර දමන්නට කියාය. ඒ වෙනුවට නීතීඥවරියක වීමට ඉගෙන ගත්තාය. එය සමත් වුවද ඇය වැඩ කළේ පුස්තකාලයකය. ග්‍රාම්සි වෙත හැරුණොත් මේ කියන කාරණාව වඩා පැහැදිලි වෙයි. නැවත නැවතත් දෙවරක් ඔබේ යටි හිතෙන් අසා බලන්න. මේ ක්‍රමය නඩත්තු කරන අප නිසා වෙරෝනිකාලා කීයක් නම් සියදිවි නසාගෙන ඇත්ද?
-රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.