ලාංකේය දෙමළ සාහිත්‍යයේ මැක්සිම් ගෝර්කි නික්ම ගියේය..!

පසුගිය සිකුරාදා හිමිදිරියේ මා අවදි කෙරුණේ දුරකථන ඇමතුමකිනි. ඇමතුම ‘සිංහල-දෙමළ ලේඛක එකමුතුවේ’ නියෝජ්‍ය ලේකම් වන මේමන් කවිගෙනි. ඔහු මා කන තැබුවේ දැරිය නොහෙන තරමේ සෝබර පුවතකි. ජ්‍යෙෂ්ඨ ලේඛක ඩොමිනික් ජීවා අප හැර ගොසිනි. ටික කලක සිට මේ දෙටු ලේඛකයා පසු වූයේ අසනීපයෙනි. අවසාන සමයේ ජීවා වාසය කළේ මට්ටක්කුලියේ විසූ පුතුගේ නිවෙසේ ය. ඔහු තරමක හෝ සුවෙන් සිටියා නම්, ජීවාගේ 93 වන උපන් දිනය යෙදුණු පසුගිය ජූනි 27දා ඔහුට සුබ පතන්නට යන ලේඛක පිරිසට මම ද එක් වෙමි. එහෙත් ජීවාගේ රෝගී බවට අමතරව කොවිඩ් තහංචිය ද පසුගිය වසරේ අපට ඔහු දකින්නට අවකාශ දුන්නේ නැත.

ඩොමිනික් ජීවා නම් ලේඛකයකු පිළිබඳව අසා තිබුණු නමුත්, 2009 වසර දක්වාම ඔහු ජීවමානව දකින්නට මට වාසනාවක් නොලැබුණේ ය. අපි ප්‍රථම වරට මුණගැසුණු දිනය මට කිසිදා අමතක නොවේ. මන්ද යත්, එදා ජීවා අප හමුවේ කළ අපූරු ප්‍රකාශයක් නිසා ය. සිංහල-දෙමළ ලේඛක එකමුතුවක් පිහිටුවන්නට අපි අදිටන් කළේ 2009වසරේ යුද ගැටුම් නිමා වූ උණුසුමේමය. 2009 ජූනි මස අගදී සිංහල-දෙමළ හා මුස්ලිම් ලේඛක ලේඛිකාවන් කණ්ඩායමක් කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේ පුංචි ශ්‍රවණාගාරයට එක් වුණේ උතුරු-දකුණු සහෝදරත්වයේ පාලම තැනීමේ අරමුණෙනි.
සුදෝසුදු වේට්ටියකින් හා කමිසයකින් සැරසී සිටි ඔහුගේ වියපත් වුවත්, තියුණු දෑසක් සහිත මුහුණ මගේ ආකර්ෂණය දිනා ගත්තේ ය. කෙසඟ සිරුරක් සහිත මේ කුඩා මිනිසා අනෙකකු නොව ඩොමිනික් ජීවා නම් දැවැන්ත සාහිත්‍යධරයා බව මා දැනගත්තේ ඊට ටික වෙලාවකට පසුව ය. අදහස් දැක්වීමේ අවස්ථාව එළැඹි කල දුන්නක් මෙන් නැඟීසිටි ඔහු ව්‍යසනකාරී යුද්ධය හේතුවෙන් විපතට පත් සමස්ත ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සිය කනගාටුව පළ කළේ ය. යුද්ධය විසින් හෞමික අඛණ්ඩතාව රැකගෙන ඇත. එහෙත් බෙදී වෙන් වුණු ජනතාවකගේ හදවත් යළි යා කිරීමේ කාර්යය යුද හමුදාවකට හෝ දේශපාලනඥයන්ට හෝ ඉටු කළ නොහැකි ය. එය කළ හැක්කේ ජනතාවගේ හෘදස්පන්දනය හඳුනන ලේඛකයන් ඇතුඵ කලාකරුවන්ට ය.
ඩොමිනික් ජීවා යනු ලංකාවේ මැක්සිම් ගෝර්කි ලෙස හැඳින්වීමට මම අදිටන් කර ගත්තේ එදා ය. මට එසේ සිතන්නට බල කෙරුවේ ඔහුගේ සිත්ගන්නාසුලු කතාව අවසානයේ මුවින් නික්මුණු රුවන් වැකියක් බඳු අගනා කියමනයි. එය එක්තරා ආකාරයකට මා ද ඇතු
ඵ සිංහල ලේඛකයන් වෙත එල්ල කළ උත්ප්‍රාසවත් කියමනක් හැටියට ද සැලැකිය හැකි ය… දකුණේ තමුන්නාන්සේලා රුසියාවේ මැක්සිම් ගෝර්කි, ප්‍රංසයේ වික්ටර් හියුගෝ වගේ ලේඛකයන් ගැන කතා කරනවා. ඒත් තමුන්නාන්සලෙගෙම රටේ ජීවත් වෙන ඩොමිනික් ජීවා අඳුරන්නෙ නැහැ… ඔහු ද මැක්සිම් ගෝර්කි මෙන් සමාජය පත්ලේ සිට ගොඩනැඟුණු ලේඛකයෙක් බැව් මා අසා තිබේ. ලාංකික ලේඛකයන් අතර සාහිත්‍ය ජීවිතයේ දී මෙන් ම සමාජ ජීවිතයේ දීත් ඔහු තරම් අභියෝගවලට මුහුණ දුන් ලේඛකයකු සිටී දැයි මම නොදනිමි.

ඩොමිනික් ජීවා සහෘදයාගේ දිවි ගමන වසර අනූ හතරකින් නිමාවට පත්ව තිබෙන මේ මොහොතේ ඔහුගේ සාහිත මෙහෙවර අපගේ ප්‍රණාමයට ලක් කරනුයේ, හදවතෙහි කැකෑරෙන දැඩි දොම්නසකින් යුතුව ය. සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ම සුහද මිතුරකු වන ඩොමිනික් ජීවා සිය ‘මල්ලිකෛ’ සඟරාව මඟින් කළ සේවය ම වුව ද, ලේඛකයකුට පිරිනැමිය හැකි ඉහළම සම්මානයෙන් පිදුම් ලැබීමට සුදුසුකමක් ලෙස මම සලකමි. ‘පිච්ච මල’ නම් අරුත ඇති එම සඟරාව අඩ සියවසක් පමණ කාලයක් ඔහු පළ කළේ ස්ව උත්සාහයෙනි. හිතවතුන්ගේ උදවු උපකාර මිස කිසිදු රාජ්‍ය ආයතනයක් ඔහුගේ මෙම ජාතික මෙහෙවරට අනුග්‍රහයක් දුන්නේ නැත. දෙමළ පාඨක ප්‍රජාවට සිංහල ලේඛකයන් හඳුන්වා දීම එම සඟරාවේ පරමාර්ථය විය. මාර්ටින් වික්‍රමසිංහගේ පටන් ප්‍රවීණ මෙන්ම නවක ලේඛකයන් ද දෙමළ ප්‍රජාව හඳුනා ගත්තේ එමඟිනි. දේශපාලනික වශයෙන් කොමියුනිස්ට්වාදියකු වූ ජීවා යාපනය කොමියුනිස්ට් පක්ෂ ශාඛාවේ සාමාජිකයකු වූයේ යොවුන් වියේ දී ම ය. කුලභේදයෙන් ඔඩු දුවා තිබූ යාපනය අර්ධද්වීපයේ කුලහීන ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ මුල් ම තරුණ කණ්ඩායමේ ඔහු ද ප්‍රමුඛ සටන්කාමියකු විය.

කුලවාදයෙන් හිස උදුම්මා ගත් ගුරුවරයකු විසින් පස් වන පංතියේ දී ජීවා පාසලෙන් පන්නා දැමීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. ඊට ආසන්න හේතුව වූයේ ජීවා ගුරුවරයාගේ අඩුපාඩුවක් පෙන්වා දීම වුව ද, සැබෑ හේතුව නම් අනෙකකි. එනම් ජීවා කුලහීනයකු වීම ය. එකල දකුණේ මෙන්ම උතුරේ ද ප්‍රභූවාංශිකයෝ කුලහීන ජනයාගේ දරුවන්ට සිප්සතර ලබා දීම මහත් අපරාධයක් ලෙස දුටහ. ජීවා මුහුණ දුන් ඒ අත්දැකීම කෙතරම් කටුක වුව ද පසු කලෙක ඔහු එය සැලකුවේ වෙස්වලාගෙන පැමිණි ආශීර්වාදයක් ලෙසිනි. සැබැවින්ම ඔහුට ලේඛකයකු වීමට මඟපෑදුණේ එම පන්නා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
ඩොමිනික් ජීවා සමඟ සාකච්ඡවක් ‘සිඵමිණ’ පුවත් පත සඳහා කිරීමට මට මීට වසර කිහිපයකට පෙර අවස්ථාවක් උදා විය. මෙහි දී පරිවර්තන කටයුතුවලින් උදවු කළේ දික්වැල්ලේ කමාල් සහෝදරයා ය. පහ වසරේ දී සිදු වූ එම වේදනාකාරී සිද්ධිය විස්තර කරමින් ජීවා පැවසූ වදන් මෙබඳු ය: “අපේ තාත්තා කරණවෑමියෙක්. ඒ වගේ රස්සා කරන උන්ට මොන අධ්‍යාපනයක් ද කියලයි ගුරුවරයා මාව පන්නා ගත්තේ. කවදා හරි පේරාදෙනිය විශ්වවිද්‍යාලයට යන්න හීන මවපු මම අන්තිමට නතර වුණේ තාත්තගෙ බාබර් සාප්පුවෙ. මම බාබර් සාප්පුවෙ පොළොවට අත ගහල මටම දිවුර ගත්තා කවද හරි ගුරුවරයාට උත්තර දෙනවා කියල. ඇත්තම කියනවා නං පන්තියෙන් පැන්නුවටත් වඩා මට දරා ගන්න බැරි වුණේ අපේ තාත්තගෙ රස්සාවට නිග්‍රහ කරපු එකයි.”
ජීවාගේ විශ්වවිද්‍යාල සිහිනය බිඳවැටුණ ද, රටේ නමක් දිනූ මිනිසකු වීමේ අපේක්ෂාව ඔහු අතහැරියේ නැත. ඔහු පියාගේ ජෝසප් සැලුන් හි වැඩ කරන ගමන් විවේකයක් ලද හැම විටක ම පොත් කියැවීමට පෙළැඹුණේ ය. පූබාලසිංහම් පොත් සාප්පුව තිබුණේ ඔවුන්ගේ බාබර් සාප්පුවට නුදුරිනි. ඒ ඉදිරිපිට ලී බංකුවේ හිඳගෙන පොතක් කියවන යෞවනයකුගේ දසුන ටික කලක් ගත වන විට එහි යන එන කාගේත් නෙත ගැටුණේ ය. පොත් සාප්පුවේ හිමිකාර පූබාලසිංහම් මහතා මේ උද්‍යෝගීමත් කොලුවාට කිසිදු බාධාවක් කළේ නැත. ජීවාට රාජගෝපාල් ගුරුතුමා මුණගැසුණේ මෙසේ බංකුව උඩට වී පොත් කියවමින් සිටින අතරතුරේ ය.
කුල අභිමානයෙන් ඉදිමුණු එක් ගුරුවරයෙක් ජීවා පන්තියෙන් පැන්නුව ද, යාපනයේ ගුරුවරු සියල්ල එසේ නොවූහ. රාජගෝපාල් ගුරුතුමා දින කිහිපයක් ම ජීවා නිරීක්ෂණය කිරීමෙන් පසු දිනක් ඔහු හා කතාබහට එළැඹිණි. “මම බංකුව උඩට වෙලා පොත් කියවන හැටි බලන් ඉඳලා ගුරුතුමා කිව්වා ‘කියවල විතරක් මඳි, ලියන්නත් පුරුදු වෙන්න ඕනා’ කියලා. ඇත්තට ම එතුමා තමා ලිවීමේ ආශාව නමැති ගිනිසි
ඵව මා තුළ දැල්වූවෙ. ටික දවසක් ගත වන විට මම පුංචි පුංචි දේවල් ලියන්න පටන් ගත්තා. ගුරුතුමා ඒවා කියවලා අඩුපාඩු පෙන්නා දුන්නා. ඒ කාලෙ මම වැඩි උනන්දුවක් දැක්වුවේ කෙටිකතා ලියන්න. ලංකාවේ දෙමළ පත්තරවලට අමතරව ඉන්දියාවේ පත්තර, සඟරාවලත් මගේ නිර්මාණ පළ වුණා. දකුණු ඉන්දියාවේ වාමවාදී අදහස් දරපු ‘වසන්දම්’, ‘සරස්වතී’, ‘තාමරෛ’ වගේ ප්‍රකාශනත් මට රුකුලක් වුණා.”

ඩොමිනික් ජීවා තැළෙන, පෑගෙන පීඩිත ජනතාවගේ කඳුඵ අතරින් බිහි වූ ලේඛකයෙකි. ඔහුගේ පන්හිඳ පන්නරය ලැබුවේ කුල පීඩනයට එරෙහිව හා ජීවත් වීමේ අයිතිය ඉල්ලා සටන්වැදුණු ජනතාවගේ ලේ හා කඳුඵ තුළිනි. යාපනයේ ප්‍රගතිශීලී තරුණ කණ්ඩායමක් එක් වී කුලහීන කාන්තාවකගේ මෘතදේහයක් කුලීනයන්ට පමණක් වෙන් කරගෙන තිබූ සොහොන් පිටියක මිහිදන් කිරීමට රැගෙන ගියහ. ජීවා ද එහි පෙරමුණේ ම ගමන් කළේ ය. ප්‍රකෝප වූ කුලීනයෝ අවමඟුල් පෙරහැරට වෙඩි තැබූහ. සටන්කාමී තරුණයෙක් වෙඩි වැදී මිය ගියේ ය. මේ ඛේදනීය සිද්ධිය සිදු වූයේ නවසිය හතළිස් ගණන්වලය. සිය ඇස්පනා පිට සිදු වූ මේ අපරාධය ජීවාට දරාගන්නට බැරි විය. පෑන අතට ගත් ඔහු කෙටිකතාවක් ලීවේ ය. ඔහුගේ මුල්ම කෙටිකතාව වූ එය ‘සුන්දරන්’ පත්තරයේ පළ විය. නිදහස ලැබීමෙන් පසුව වුව ද කුල පීඩනයේ අඩුවක් සිදු නොවිණ. ඒ දකුණේ මෙන්ම උතුරේ ද නිදහසේ පළ නෙළා ගත්තේ ඇති හැකි පන්තියේ මිනිසුන් බැවිනි.

පීඩිත ජනතාවට සැබෑ විමුක්තියක් ලැබෙනුයේ, සමානාත්මතාව රජයන පාලන ක්‍රමයකින් බව රැඩිකල්
තරුණයකුව සිටිය දී පමණක් නොව ජීවන ගමනේ සැඳෑ සමයේ දී ද ජීවා එකහෙළා විශ්වාස කළේ ය. ආරම්භයේ දී වාගේ ම අවසානයේ දීත් ඔහු සිය පෑන මෙහෙයැවූයේ ඒ උදාර අරමුණ වෙනුවෙනි. 1961දී ජීවාගේ ‘තන්නීරුම් – කන්නීරුම්’ (වතුරයි – කඳු`ඵයි) කෙටිකතා පොතට රාජ්‍ය සම්මාන හිමි විය. එය ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයක දී දෙමළ පොතකට පිරිනැමූ ප්‍රථම රාජ්‍ය සම්මානය ලෙස ඉතිහාසගතව තිබේ. සම්මානයෙන් පිදුම් ලැබුව ද, ජීවා සිය සමාජ, දේශපාලන දැක්ම අබමල් රේණුවක තරමිනුදු වෙනස් කළේ නැත. නව වැනි දශකයට පා තබන විටත් ඔහුගේ පන්හිඳ තරුණ ජවයෙන් පිරී තිබිණ. “හොඳ ලේඛකයෙක් වෙන්න නම් හොඳ දේශපාලන දැක්මක් තිබිය යුතුයි. ජනතාවට අවංකව ම ආදරය කරන ලේඛකයකුට විතරයි, සැබෑ ලේඛකයෙක් විය හැක්කේ. ලේඛකයාගේ දේශපාලනය ජනතාවට නිවැරැදි මඟපෙන්වන එකක් මිස ඇතැම් දේශපාලනඥයන්ගේ මෙන් අවස්ථාවාදී අරමුණුවලින් පිරුණු එකක් නොවිය යුතුයි.”

ඩොමිනික් ජීවා සිය ප්‍රගතිශීලී සමාජ දේශපාලන දැක්ම කැටි කර දක්වමින් අප හා පැවසූ එම මාහැඟි වදන් අනාගත පරපුර වෙත හැකි පමණින් සන්නිවේදනය කිරීම අපගේ වගකීමකි. ලේඛකයා යනු කිසිදු අසාධාරණ බලවේගයක් හමුවේ හිස නොනමන, අභීත පෙරගමන්කරුවකු විය යුතු ය. යන්න මේ කියමනෙන් ඔහු යළි යළිත් තහවුරු කර සිටියි. හිරිමල් යොවුන් වියේ දී පන්හිඳ අසිපතක් මෙන් ලෙළවමින් ලේඛන කලාවට බට ඩොමිනික් ජීවා ලේඛකයා නික්ම ගියේ ඔහු සතු අපමණ ශක්ති ප්‍රවාහය අපට පවරා දෙමිනි. අඳුරේ මංමුළා වී සිටින සුවහසක් පීඩිතයන්ට පහනක් දල්වා තබමිනි.
ජීවාගේ සාහිත්‍ය මෙහෙවර පැතිකඩ ගණනාවකින් සමන්විත වීම ද කතාබහට ලක් කළ යුතු කරුණකි. ලේඛනයට පමණක් සීමා නොවී ඔහු ප්‍රකාශන කාර්යයෙහි ද නිරත විය. එය කිසිසේත්ම ව්‍යාපාරික අරමුණකින් කළ කටයුත්තක් නොව දෙමළ සාහිත්‍යය සිංහල ප්‍රජාවට සමීප කරවීමේ හා නවක ලේඛකයන්ට අත දීමේ මාහැඟි අරමුණු පෙරදැරිව කළ සත්කාර්යයකි. ‘මල්ලිකෛ පන්දල්’ නමින් හැඳින්වුණු එම ප්‍රකාශන වැඩපිළිවෙළ යටතේ මුලින් ම සිය කතා එකතුවක් සිංහලට නැඟීමට පියවර ගැනීම ද ප්‍රශංසනීය ය. ඉබ්නු අසුමත් හා එස්. අලගියවඩු යන ලේඛකයන් විසින් සිංහලට නැඟුණු ජීවාගේ කෙටිකතා 14කින් සමන්විත එම කෘතිය නම් කෙරුණේ, ‘පත්තර ප්‍රසූතිය’ යනුවෙනි.

වාර්ගික සුහදත්වය වෙනුවෙන් සාහිත්‍යකරුවන්ට කළ හැකි මෙහෙවර පිළිබඳව ගැඹුරු වැටහීමකින් පසු වූ ජීවා සිංහල ජනයාගේ සමාජ සංස්කාතික තතු දෙමළ ජනතාව වෙත රැගෙන යනු පිණිස ‘සිංහලච්චිරු කදෛහල්’ (සිංහල කෙටිකතා) නමින් කෘතියක් ද ප්‍රකාශයට පත් කළේ ය. සමස්තයක් වශයෙන් ගත් කල ජීවා වඩාත් ප්‍රිය කළ සාහිත්‍යාංගය වන්නේ කෙටිකතාව ය. ඒ නිසා ම දෝ ඔහු කෙටිකතා එකතු 5ක් පළ කළේය. ඊට අමතරව ‘මල්ලිකෛ’ සඟරාවට ලියූ කතුවැකි එකතු කර පළ කළ පොත් ගණන තිහකි. මෙවැනි රචනා විශේෂයක් චීන මහා ලේඛක ලු ශුන් ද භාවිත කළ බව කියනු ලැබේ. ලු ශුන් සිය සාහිත හා සමාජ සංවාදය මෙහෙයැවූයේ කඩු තුඩු වැනි තියුණු වදනින් පිරී එකී රචනා කලාව ඔස්සේ ය.

දිවියෙන් සමු ගන්නට කලකට පෙරම ස්වයං චරිතාපදානයක් ලියා නිම කරන්නට ද ජීවා වගබලා ගත්තේය. ‘එලුදප්පඩාද කවිදෛක්කු වරෛයප්පඩාද ඕවියම්’ ලෙස දෙමළ බසින් හැඳින් වූ එය කේ. කුමාරස්වාමි අතින් ‘Undrawn Portrait for Unwritten Poetry’ නමින් ඉංග්‍රීසියට නැඟිණ. එහෙත් ඩොමිනික් ජීවාගේ ජීවන අන්දරය සිංහලට නැඟීමට මෙතෙක් නොහැකි වීම කනගාටුවට කරුණකි. ජීවාගේ සාහිත සේවය අළලා සමකාලීන ලේඛකයෝ කෘති කිහිපයක්ම පළ කළහ. ‘ඩොමිනික් ජීවාවින් නිනෙයිවුගල්’ (ඩොමිනික් ජීවා පිළිබඳ විචාරක අධ්‍යයනයක්) නම් චරිතාපදානය එල්. මුරුගපූපති විසින් ලියන ලද අතර, දික්වැල්ලේ කමාල්ද  ‘මල්ලිගෛ ජීවාවින් මනප්පද්වුලේ’ (ජීවා ගැන මට හිතෙන හැටි) නමින් චරිතාපදානයක් රචනා කළේ ය.

ඩොමිනික් ජීවා නම් මානවහිතවාදී ලේඛකයා ගැන තවත් බොහෝ දේ ලිවිය හැකි ය; ලිවිය යුතු ය. ජන මනස මුවහත් කරනු පිණිස ඔහුගේ අභීත පන්හිඳෙන් ලියැවුණු අනන්ත අප්‍රමාණ වදන් මතු මත්තෙත් අගැයීමට ලක් විය යුතු ය. සැබැවින් ඩොමිනික් ජීවා යනු තමා ජීවත් වූ යුගය අතික්‍රමණය කළ ලේඛකයෙකි. ජාතිය, කුලය හෝ වර්ගය වැනි සීමිත රාමු තුළ සිර නොවී මනුෂ්‍යත්වයේ උදාරත්වය කෙරෙහි අතිමහත් ලෙස විශ්වාස කළ අව්‍යාජ මිනිසෙකි. එහෙත්, අභාග්‍යයකට මෙන් මේ විශිෂ්ට මිනිසාගේ ශක්‍යතා නිවැරැදි ලෙස තක්සේරු කර ගැනීමට අපි අසමත් වීමු. ජීවා ජීවත් වූ සමය තුළ ඔහුට නිසි වටිනාකමක් දීමට අපොහොසත් වීම ගැන සමානත්වය හා මිනිසත් බව වෙනුවෙන් පෙනී සිටින ලාංකික ලේඛකයන් සැවොම කම්පා විය යුතු යැයි මම සිතමි. එසේ ම එම අත්වැරැද්ද නිවැරැදි කිරීම සඳහා නොපමාව ඩොමිනික් ජීවාගේ සාහිත හා සමාජ කාර්යභාරය නිසි අගැයුමකට ලක් කිරීම මැනැවයි කියා ද යෝජනා කරනු කැමැත්තෙමි.

ඩොමිනික් ජීවා මහා ලේඛකයා අපෙන් සමු ගත්තේ ජනවාරි අග ය. එනමුදු මේ මානවප්‍රේමියාගේ දේහයට අවසන් බුහුමන් දක්වන්නට ඔහුට අපමණ ලෙස ආදරය කළ ලේඛක, පාඨක සමූහයාට ඉඩක් නොලැබිණ. ඔහුගේ දේහය ආදාහනය කිරීමට පවුලේ ඥාතීන්ට සිදු වූයේ කොවිඩ් කොන්දේසි යටතේ ය. මිය යාමෙන් ඉක්බිතිව කළ පරීක්ෂණයේ දී කොවිඩ් වෛරසය ශරීරගතව තිබිණැයි කියනු ලැබේ… අහෝ ජීවා… කොවිඩ් මාරයා මෙතරම් ම දරුණු ද?
ඉතාම සිත්තැවුලෙන් සඳහන් කළ යුතු අනෙක් කාරණය නම්, අප රටේ බොහොමයක් ජනමාධ්‍යවලට මේ විශිෂ්ට මිනිසාගේ මරණය ප්‍රවෘත්තියක් නොවීමයි. දෙමළ මාධ්‍ය කිසියම් ප්‍රතිචාරයක් දක්වා තිබුණ ද, මිනීමරුවන්, කුඩු ජාවාරම්කරුවන් හා දූෂිතයන් වෙනුවෙන් ‘බ්‍රේකිං නිවුස්’ පවා ගසන්නට මැලි නොවන මේ මාධ්‍ය මුදලාලිලා ඇතැම් විට ඩොමිනික් ජීවා යනු කවරෙක් දැයි කියාවත් නොදන්නවා විය හැකි ය. අවසන් හුස්ම පොද හෙළන තෙක්ම යුක්තියේ, සාධාරණත්වයේ හා සහෝදරත්වයේ පන්හිඳ අත් නොහළ ඩොමිනික් ජීවා සහෘදයාණන්ට අප සැමගේ ප්‍රණාමය පුදනු පිණිස ලියූ මේ කෙටි ලිපිය මෙතැනින් නිමා කරන්නට අවසර.

-කමල් පෙරේරා

Leave A Reply

Your email address will not be published.