වෛද්‍ය ගයාන් මියගියේ ආණ්ඩුවේ වැරැද්දෙන්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය ගිය ශ්‍රී ලංකාවේ පළමුවන වෛද්‍යවරයා වූ රාගම, හීන්කන්ද පදිංචිව සිටි ගයාන් දන්තනාරායන නමැති 32 හැවිරිදි වෛද්‍යවරයාගේ මරණය කරාපිටිය රෝහලෙන් වාර්තා වීමත් සමඟම මෙරට සෞඛ්‍ය සේවයේ බරපතළ දුර්වලතාවන් කිහිපයක් ද අනාවරණය වෙමින් තිබේ.
රාගම රෝහලේ සේවය කරමින් සිටිය දී කෝවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරිණි. පසුව නිව්මෝනියා වැළඳීම නිසා ඔහු මිය ගොස් තිබිණි. ඔහුට අධි රුධිර පීඩනය මෙන් ම දියවැඩියාව රෝගය ද දීර්ඝ කාලයක පටන් පැවැතීම කොවිඩ් නිව්මෝනියාව උත්සන්න වීමට තවත් හේතුවක් වූ බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වේ. නමුත්, මුල්ලේරියාව රෝහලේ කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර තිබුණ ද, නිව්මෝනියාව උත්සන්න වූ අවස්ථාවක දී පෙණහලු හා අක්මාව කෘත්‍රිමව පණගැන්විය හැකි ECMO යන්ත්‍රයක් තිබුණේ නැත.
එම නිසා එවැනි රෝගී තත්ත්වයක දී කෘත්‍රිම ශ්වසනය ලබාදෙන ECMO (Extracorporeal membrane oxygenation) නමැති විශේෂ යන්ත්‍රයට සවි කර ප්‍රතිකාර ලබා දිය යුතු හෙයින්, ඉකුත් 27 වෙනි දින කරාපිටිය රෝහලට මාරු කර එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. ඒ වන විටත් නිව්මෝනියා තත්ත්වය උත්සන්න වී සිටි ඔහු මිය ගොස් ඇත.
සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකක (ICU) භාරව වෙනත් රටවල එයට පුහුණුවූ එම ඒකක සම්බන්ධ විශේෂඥයන් ඇතත්, ලංකාවේ තවමත් එවැනි විශේෂඥයන් නොමැත. එහෙයින්, එම කාර්යභාරය කරනුයේ සාමාන්‍යයෙන් ඒ සඳහා පුහුණු වූ නිර්වින්දන වෛද්‍යවරුන් ය. එහෙත්, කරාපිටිය රෝහලේ ICU එක භාර දී ඇත්තේ එහි Cardiothoracic Surgeon කෙනකු වෙතය. ඒ අතර ශ්‍රී ලංකාවේ රෝහල් වෙත තවමත් එවැනි ECMO තාක්ෂණික උපකරණ ඇත්තේ යන්ත්‍ර දෙකක් පමණක් බවයි වාර්තා වන්නේ.
වෛද්‍ය ගයාන්ගේ පියා ද වෛද්‍යවරයෙකි. ගයාන් චිනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් 2010දී වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේ ය. ගම්පහ හීන්කෙන්ද ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය ගයාන්ට බාල සොහොයුරකු හා සොහොයුරියක ද සිටියි. මිය ගිය වෛද්‍යවරයාගේ වැඩිමහල් සොහොයුරා පාසල් වියේ දී දුම්රිය අනතුරකින් මිය ගොස් ඇත. රාගම ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවේ සේවය කළ වෛද්‍ය ගයාන් දන්තනාරායන හිතහොඳ දොස්තර ලෙස කා අතරත් ප්‍රචලිතව සිටියේ ය.
මේ පිළිබඳව අප කළ විමසීමක දී සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසා සිටියේ, වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණයත් සමඟ ඉදිරිපෙළ සෞඛ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි ගැටලු මතුවෙමින් පවතින බවයි. ඒ අතර ගාල්ල කරාපිටිය රෝහලේ දී එම වෛද්‍යවරයාගේ මිය යාම පිළිබඳ යම් කිසි සැකසංකා පහළ වී ඇතැයි සෞඛ්‍ය සේවයේ සැකයට බඳුන් වී ඇතැයි ද ඔහු පැවසී ය. රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ රාශියක් ඇති අතර ECMO තාක්ෂණික උපකරණ ඒ අතුරින් එකක් පමණක් බව ඔහු සඳහන් කරයි. ආණ්ඩුවක වගකීම වන්නේ ලෝක මට්ටමේ වසංගත තත්ත්වයක දී එවැනි අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රමුඛතාව යටතේ රෝහල් වෙත සැපයීම වුවත්, තමන් දිගට ම ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් මේ දක්වා කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් නොවූ බවයි. එවැනි තත්ත්වයක් හේතුවෙන් ECMO උපකරණයක් අත්‍යවශ්‍ය කොළඹ අයි.ඩී.එච්. රෝහලට එවැන්නක් මේ දක්වා ලබා නොදීමට ක්‍රියා කළ ආණ්ඩුවේ සෞඛ්‍ය බලධාරීන් වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව ඔහු වැඩි දුරටත් පවසයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල අඩපණ වුවහොත්, එහි බලපෑම එල්ල වෙන්නේ ජනතාවට බැවින්, ලෝකයේ අනෙක් රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල අඩපණ වී ඇති වූ ගැටලු අත්දැකීමට අරගෙන සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ වෛද්‍ය ගයන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කීවේ ය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය රැකගනිමින්, මහජනතාව ද කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීමට වන යෝජනා මාලාවක් ඉදිරියේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට භාර දීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය. වහාම කොවිඩ් මර්දන එන්නත ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතුව ඇතැයි ද වෛද්‍යවරයා කීවේ ය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු සම්බන්ධයෙන් සිය සංගමය මතු කළ යම් යම් කාරණාවලට පිළියම් යොදා ඇතත්, අනෙක් කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කර නැතැයි ද පැවසී ය.
වෛද්‍යවරුන් 100කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි ද, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 1,000කට අධික ප්‍රමාණයකට රෝගය ආසාදනය වී ඇතැයි ද කී වෛද්‍ය හරිත අලුත්ගේ වහාම රජය මෙයට මැදිහත් විය යුතු යැයි ද පැවසී ය. සෞඛ්‍ය සේවකයන් ද රෝගීන් බවට පත්ව රෝගී වන ජනතාවට උවටැන් කිරීමට පිරිසක් නැති වුවහොත්, කුමක් කරන්නේ දැයි ඔහු රජයෙන් විමසා සිටියි. එම නිසා රෝහල්වල තාක්ෂණික පහසුකම් මෙන්ම ජනතාව දැනුම්වත් කිරිම් ද දිගින්දිගටම කළ යුතුව ඇතැයි ද ඔහු කීවේ ය.
-සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.