වැඩකරන ජනතාවගේ බලය හමුවේ ආණ්ඩුව දණගැහුවා

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්
නිරෝෂන් ගොරකානගේ

නැඟෙනහිර පර්යන්තය රැකගැනීමේ අරගලයේ ජයග්‍රහණය ගැන කතා කළොත් ?

අපි වරාය පොදු සේවක සංගමය විදිහට නැඟෙනහිර පර්යන්තය විකිණීමට එරෙහි සටන ආරම්භ කරන්නේ 2015දී. ඒ පහුගිය රනිල් – මෛත්‍රී ආණ්ඩු කාලෙදී. ඔවුන් මේ විකිණිල්ලට ආරම්භය ගත්තා. අපි වෘත්තීය සමිතියක් විදියට වරාය සේවකයන් දැනුම්වත් කරමින් වරාය රැකගැනීමේ සටන ගෙන ගියා. 2020 ආණ්ඩු පෙරළියත් සමඟ වරාය රැකගන්න පුළුවන් වෙයි කියලා ඇතැම් අය විශ්වාස කළා. නමුත්, ආණ්ඩුව මාරු වුණාට වරාය විකිණිල්ල වෙනස් නොවෙන බව අපි දැනගෙන හිටියා. ආණ්ඩුව ආපු ගමන් තමයි, නැඟෙනහිර පර්යන්තය විකිණීමේ ගැටලුව මතුපිටට එන්නේ. ඒ ගැන්ටි්‍ර දොඹකර 3ක් නැඟෙනහිර පර්යන්තයේ ගොඩබෑමට ඉන්දියාව අවසර නොදීමත් එක්කයි. ඒ සටනත් සේවකයෝ ජයගත්තා. ඉන් පස්සෙයි නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දෙන ප්‍රශ්නෙ ආවේ. අපි දිගටම කරගෙන ආපු සටනට මෙතැන දි වෘත්තීය සමිති 23ක් විදියට එකතු වෙලා රටේ ප්‍රගතිශීලි සංවිධානත් එකතු කරගෙන පුළුල් තැනකට ගෙනියන්න පුළුවන් වුණා. ඒකත් එක්ක ආණ්ඩුව පරාජය භාර ගත්තා. අපි නැඟෙනහිර පර්යන්තය රැකගත්තා.

ඒ කියන්නේ, පහුගිය ආණ්ඩුවත් මේකට වග කියන්න ඕනෑ ?

ඔව්. පැහැදිලිව ම. 2015 වසරේ අවසානය වෙන කොට රනිල් – මෛත්‍රී ආණ්ඩුව නැඟෙනහිර පර්යන්තය සඳහා මිල ගණන් කැඳවනවා. සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සටනට අවතීර්ණ වෙන්නේ එතැනින්. අපි දිගින්දිගටම ලිපි ලියමින් සාකච්ඡා ඉල්ලා සිටිනවා. නමුත්, ඒ සඳහා වරාය ප්‍රධානීන් අවස්ථාවක් ලබා දෙන්නේ නෑ. ඉන් පසුව අපි අත් පත්‍රිකා ගණනාවක් බෙදාහරිනවා. උද්ඝෝෂණ ආරම්භ කරනවා. යහපත් ප්‍රතිචාරයක් නෑ. ඉන් පසුව තමයි, අපි පෙත්සමක් අත්සන් කිරීමේ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වෙන්නේ. 6,000කට ආසන්න වරාය සේවකයන් ප්‍රමාණයක් අත්සන් කරලා පෙත්සම බාර දෙනවා. නමුත්, ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ. ඒ තත්ත්වය ඇතුළේ 2016 පෙබරවාරි 2 වැනිදා වරාය පොදු සේවක සංගමය අරලියගහ මන්දිරයට පා ගමනක් යනවා. සුනිල් හඳුන්නෙත්ති, ලාල්කාන්ත යන සහෝදරවරුත් පා ගමනට සම්බන්ධ කරගන්නවා. නමුත්, ආණ්ඩුව කරන්නේ ඊට පොලිසිය යොදවා අමානුෂික ලෙස පහර දීමයි. කෙසේ හෝ අපි නැඟෙනහිර පර්යන්තය විකිණීමට විරෝධය පළ කරමින් ජනාධිපති ලේකම්වරයාට ලිපිය බාර දෙනවා.
මේ අතරෙ තමයි, හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධ ප්‍රශ්නය මතු වෙන්නේ. කොළඹ වරායේ සටන අතර ම හම්බන්තොට වරාය සම්බන්ධ සටන අතට ගන්න වරාය පොදු සේවක සංගමයට සිදු වෙනවා. නමුත්, 2018 ජුනි 29 හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කරනවා. මල්වඩම් තියලා, මිනී පෙට්ටියක් පුච්චලා අපි විරෝධය පළ කළා. ඒ වරායත් ආපහු ගන්නවා කියලා පොරොන්දු වෙමින්, බලයට ආපු ආණ්ඩුව තමයි, කොළඹ වරාය විකුණන්න සූදානම් වුණේ.

නමුත්, රනිල් – මෛත්‍රී ආණ්ඩුව නැඟෙනහිර පර්යන්තය පැවරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා නේ ද?

එවකට සාගල රත්නායක ඇමති වශයෙන් කටයුතු කරන කාලයේ ඔහු ඇවිල්ලා සාකච්ඡා කරන්නේ ඉන්දියාව හා ජපානය සමඟ හවුල් ව්‍යාපෘතියක් හරහා නැඟෙනහිර පර්යන්ත සංවර්ධනය කරන්න කියන කතාවයි. 2019 මැයි 29 නැඟෙනහිර පර්යන්තයේ සියයට 49ක් ජපානයට හා ඉන්දියාවට ලබා දීම සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළා. එහි අරමුණ වෙන්නේ නැඟෙනහිර පර්යන්තයේ සමාගමක්
හදලා ඒකට මෙහෙයුම් පවරන්නයි. වරාය පොදු සේවක සංගමය මේ පවරා දීමට එරෙහිව නඩුවක් පවරා තිබෙනවා. කොහොම වුණත්, මේ ආණ්ඩුව සහ ඉන්දියාව යොදා ගන්න උත්සාහ කළේත් මේ ගිවිසුමයි.

මේ ආණ්ඩුව බලයට ආවට පස්f ස් මොක ද කළේ ?

බලයට එන්න පෙර ඔවුන් කිව්වේ, විකුණපු සම්පත් යළි පවරා ගන්නා බව නේ. ඒ අතරේ ඇණවුම් කරපු ගැන්ටි්‍ර දොඹකර 3 මෙරටට ගෙන එනවා 2020 ජුනි 20. පසුගිය ආණ්ඩුවේ ඇණවුමකට තමයි, මේ දොඹකර එන්නේ. නමුත්, මේ දොඹකරවල අවශ්‍ය පහසුකම් නෑ සහ ක්‍රියාකාරීත්වය අවශ්‍ය ප්‍රමාණයට නෑ. ඒ වන විටත් වෘත්තිය සමිති ඒකබද්ධව ක්‍රියාත්මක වෙමින් තිබුණා. නමුත්, මේවා නැඟෙනහිර ජැටියේ ස්ථාපනය කරන්න දුන්නේ නෑ. ඒකත් සමඟ රුපියල් කෝටියක විතර මුදලක් වරාය අධිකාරිය ගෙවිය යුතුව තිබුණා. ඒකෙන් විශාල පාඩුවක් වුණා. නමුත්, පාලකයන්ගේ පැත්තෙන් කිව්වේ, ඉන්දියාවේ බලපෑම නිසා මේක බාන්න බෑ කියලා.
ඉන් පස්සේ ඇමති රෝහිත අබේගුණවර්ධන 2020.10.22 වැනිදා කැබිනට් පත්‍රිකාවක් දානවා නැඟෙනහිර ජැටියෙන් සියයට 49ක් ඉන්දියාවට පවරන්න. ඊට පෙර ජොන්ස්ටන් ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් දාලා තිබුණා. ඊට පස්සේ තමයි වෘත්තීය සමිති එකතු වෙලා වැඩ පටන්ගන්න තීරණය කරන්නේ. එතැන දීත් අපි ජනාධිපතිවරයාත් සමඟ සාකච්ඡාවක් ඉල්ලනවා. නමුත්, ලැබුණේ නෑ. එතැනින් පස්සේ තමයි, වෘත්තීය සමිති තීරණය කරන්නේ මේ සටන එළියට අරගන්න. ආණ්ඩුවේ පසුබැස්ම එතැනින් ආරම්භ වුණා. වරාය නැඟෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනැඟෙන්නේ ඒත් සමඟ. වෘත්තිය සමිති, සිවිල් සංවිධාන, මාධ්‍ය මේ වටා ඒකරාශී වෙනවා. ජනාධිපතිවරයා ජනවාරි 13දා සාකච්ඡාවක් දෙනවා, මේ ප්‍රශ්නය රට ඉස්සරහට ගෙනිච්චාට පස්සේ තමයි, සාකච්ඡාවක් දෙන්නේ. එතැන දී ඔහු කියන්නේ, මේක ඉන්දියාවට දෙන්න වෙන බව මිසක රටේ සම්පත් සම්බන්ධ ගැටලුවක් ගැන ඔහු කියන්නේ නෑ. එනිසා ම සාකච්ඡාව අසාර්ථක වුණා. ජනවාරි 22 වැනිදා අපි ආණ්ඩුවට යෝජනාවලියක් දුන්නා. එහි අන්තර්ගතය වුණේ නැගෙනහිර ජැටියේ අයිතිය වරායට තිබිය යුතු බවයි.

මේ වෘත්තීය සමිති එක්ව සටන් කරද්දී ගැටලු මතු වුණේ නැද්ද ?

මත වෙනස්කම් තිබුණා. නමුත්, වරාය රැකගැනීමට එකාවන්ව නැඟී හිටියා. අපි දන්නවා හැමෝ ම අතර දේශපාලන වෙනස්කම් තිබෙනවා. නමුත්, සියල්ල දෙවැනි කරලා වරාය රැකගැනීමේ සටන උඩට අර ගත්තා. මේ ජයග්‍රහණය පිටුපස තියෙන්නේ ඒ එකමුතුවයි. ඒ මත තමයි අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අර ගන්නේ.

ආණ්ඩුවේ පසුබැස්ම පටන් ගත්තේ කොතැනින් ද?

වෘත්තිය සමිති 23 සමගිය දුබල කරන්න ආණ්ඩුවට හිතවත් අය උත්සාහ කළා. ආණ්ඩුවේ මතයට අපිව නම්මා ගන්නත්, අපේ ස්ථාවරයන් වෙනස් කරන්නත් හැදුවා. ඒත් අපි එකටම හිටියා. ඒවයින් සැලුණේ නැහැ. ඔය අතරේ තමයි, අගමැතිගේ සාකච්ඡාව හම්බ වෙන්නේ. රාජපක්ෂලා විකුණන්නෙ නෑ, බදුදෙන්නේ නෑ, කවුද එහෙම කියන්නේ ?
නැඟෙනහිර පර්යන්තය වරාය අධිකාරියට දෙනවා; බටහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට දෙනවා කියලා අගමැති කිව්වා. ආණ්ඩුව පසුබහින බව සේවකයන් දැනගත්තා. විකිණීම අසාර්ථක නිසා රාජපක්ෂලා විකුණන අය නෙමේ කියලා කියන්න පටන් ගත්තා.

බටහිර පර්යන්තය පැවරීමේ තීරණයත් සමඟ යම් පාවා දීමක් වුණා ද?

මේක එයාලගේ ඉල්ලීම. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕනෑ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියට දෙන්න. බටහිර පර්යන්තයේ රටට හිතකර ආයෝජනවලට වෘත්තීය සමිති විරුද්ධ නෑ කියලා. ඒකයි කතාව. ඒක ඇතුළේ රට පාවා දීමක් වෙනවා. ඒකට ආණ්ඩුව වග කියන්න ඕනෑ. මේක ආණ්ඩුවේ යෝජනාව. ඒක වෘත්තිය සමිතිවල ඔළුවලට දැම්මේ ආණ්ඩුවයි. වෘත්තීය සමිති සහ වරාය සේවකයන් ජයග්‍රහණය සඳහා එකට ඉදිරියට ආවා. නමුත්, ආණ්ඩුවේ උගුල සමහරු තේරුම් ගත්තේ නෑ. අපේ වරාය පොදු සේවක සංගමය බටහිර ජැටිය පැවරීමට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධයි. අපි අපේ ස්ථාවරයේ හිටියේ. අපි ඒ නිසයි ඒ ලිපියට අත්සන් නොකළේ. නමුත්, මේ සේරම සිද්ධි ඇතුළේ මේක ජයග්‍රහණයක්. ආණ්ඩුව දණගැහුවා. වරාය වෘත්තිය සමිති 23ම ඒ ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළා. ආණ්ඩුව හැදුවේ මේක ඉන්දියාවට දෙන්න. කොහොම වුණත්, බටහිර පර්යන්තය විකිණීම වැළැක්වීමේ සටන අපි ඉස්සරහට ගන්නවා. වරාය සටන් ඉතිහාසයේ මේක ඓතිහාසික ජයක්.

සංවාදය: ධම්මික ප්‍රියදර්ශන

Leave A Reply

Your email address will not be published.