පොලිසිය භාර ඇමති කිඹුලාඇළ ගුණා හා ධර්මසිරි ගැන බොරු කියයි

කිඹුලාඇළ ගුණා නොහොත් ගුණසේකරන් ඉකුත් ඉරිදා රාත්‍රියේ චෙන්නායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ චෙන්නායි සිට දිල්ලිය බලා ගමන් කිරීමට ගුවන්තොටුපොළට පැමිණෙද්දී ය. එම පුවත මෙරට පුවත් පත් වාර්තා කළේ, නීතිය හා සාමය ඇමති සරත් වීරසේකරගේ ප්‍රකාශයක් ලෙස ය. නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා මුලින් පවසන්නේ, කිඹුලාඇළ ගුණා නමැත්තාට එරෙහිව මෙරට පොලිසිය විසින් අධිකරණය හරහා ලබා ගන්නා ලද ‘රතු වරෙන්තුව’ අනුව ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව ය.
චෙන්නායි පොලිසිය කිඹුලාඇළ ගුණාව අත්අඩංගුවට ගන්නේ වෙනත් කාරණයකට ය. එනම්, මත්ද්‍රව්‍ය චෝදනාවකට සැකපිට ය. කිඹුලාඇළ ගුණා සමඟ ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘කොට ගාමිණී’ හෙවත් සුනිල් ගාමිණී බෙන්ගලාරුවේ දී අත්අඩංගුවට පත් වන අතර, එහි දිගුවක් ලෙස ගුණා අත්අඩංගුවට පත් වේ.
කොට ගාමිණී ඉන්දියාවේ දී ෆොන්සේකා නමින් ද පෙනී සිට ඇත. මොහු ඉකුත් වසරේ ඔක්තෝබර් මස දී අත්අඩංගුවට පත් වන විට හෙරොයින් මෙන්ම ව්‍යාජ හැඳුනුම් පත් පහක් ඔහු සන්තකයේ තිබී සොයා ගෙන ඇත. ඔහු සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේ දී ගුණාව අත්අඩංගුවට පත් වන අතර, ගුණාගේ පාපොච්චාරණය මත කෙනඩි හෙවත් බුම්මා, දිලීපන්, විග්නේශ්වරන් පෙරුමාල් හා ප්‍රභාකරන් යන අය ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියානු පොලිසිය පවසන්නේ, ගාමිණි ලංකාවේ දී මිනීමැරුම් පහකට සම්බන්ධ බව ය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එල්ල වූ මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයට ද මොහු සම්බන්ධ බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ඊට අදාළව මොහුව අත්අඩංගුවට ගැනීමට සොයද්දී ගුණා හොර රහසේ ඉන්දියාවට පලා විත් ඇති බව ද ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
කිඹුලාඇළ ගුණා පාතාල ක්‍රියාකාරිකයකු ලෙස මතු වන්නේ 1990 දශකයේ දී ය. තොටළඟ, මෝදර, බ්ලූමැන්ඩල් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මොහු සුළුවෙන් ආරම්භ කළ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පසුව ව්‍යාප්ත වන්නේ එල්.ටී.ටී.ඊ.යේ ද සහාය ඇතිව ය. එල්.ටී.ටී.ඊ.ය සමඟ ගනුදෙනු කරමින්, බෝට්ටු මඟින් ඉන්දියාව හරහා මොහු මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනා අතර, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට රැකවරණය දුන් බවට ද මොහුට එරෙහිව වූ චෝදනා වේ. චන්ද්‍රිකා කුමාරතුංගට 1999දී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ බෝම්බකාරිය පැමිණෙන්නේ කිඹුලාඇළ සිට ය. ඇය පරීක්ෂාවකින් තොරව ක්‍රීඩාපිටියට ඇතුළු වන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා තමා සමඟ පැමිණි පිරිස පරීක්ෂා නොකරන ලෙස දුන් උපදෙස් අනුව යැයි ද ප්‍රකාශ විණ. පසුව ඔහු එය ප්‍රතික්ෂේප කර තිබිණි.
එයින් පසු කිඹුලාඇළ ගුණා දෙසට ත්‍රස්ත විමර්ශන අංශයේ උකුසු ඇස එල්ල වීම නිසා ඔහු බෝට්ටුවක් මඟින් හොර රහසේ ඉන්දියාවට පලා යන අතර, ඉන්දියාවේ සිට මෙරට සිය පාතාල සාමාජිකයන් ලවා හෙරොයින් ව්‍යාපාරය හා පාතාල ක්‍රියාකාරකම් ජයටම කරගෙන යන්නේ ය.
බුම්මා හෙවත් කෙනඩි යනු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. ඔහු අත් දෙකෙන්ම එකවර වෙඩි තැබීමේ නිපුණයකු බව පොලිසිය පවසයි. මොහු යුද්ධයෙන් පසු කොළඹට පලා එන අතර, එහි දී ඔහු ගුණාගේ පාතාලයට සම්බන්ධ වේ. ගුණාගේ පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය කල්ලිය දෙකඩ වීම මත බුම්මා ඉන්දියාවට පලා ගොස් ගුණාගේ කණ්ඩායමට එක් වේ.
වසර 22කට ආසන්න කාලයක් ඉන්දියාවේ සිටින ගුණා එරට ව්‍යාපාර ගණනාවක් පවත්වාගෙන යන බව පොලිස් ආරංචිමාර්ග තහවුරු කරයි. ඒ අතර, වාහන කුලියට දීමේ ව්‍යාපාරයක් ද තිබෙන බවත්, ඒ යටතේ වාහන 500ක් පමණ තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් තහවුරු කළේ ය. මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් සැපවත් ජීවිතයක් ගත කරන අතර, ඔහුගේ දරුවෝ මෙරට සිට පාතාලයේ කටයුතු හා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ජයටම කරගෙන යති. ඒ සමඟම දේශපාලනඥයන් සමඟ වන ගනුදෙනුව ද එලෙසම පවත්වාගෙන යති.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයේ දී ඔහු පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකුගේ ඡන්ද ව්‍යාපාරයට උදවු කළ අතර, එම අපේක්ෂකයා අද ඇමතිවරයෙකි. ඇමතිවරයා අපේක්ෂකයා අවධියේ දී ඔහුට ආරක්ෂාව සැපයීමේ සිට රැස්වීම්වලට ජනතාව ගෙන ඒම දක්වා උපකාර ගුණාගේ අණ පරිදි ඔහුගේ ගෝලයන් කළ බවට බුද්ධි අංශ වාර්තාවක් ද ඉහළටම ලබා දී තිබේ.
නමුත්, ඒ වාර්තා ගැන ක්‍රියාත්මක වූයේ නැත. ගුණා අත්අඩංගුවට ගැනීමේ පුවත වාර්තා කරන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙනුවට පොලිසිය භාර ඇමතිවරයා ය. මේ ගැන පොලිස් දෙපාර්තමේන්තුව තුළ කසුකුසුවක් ඇතිව තිබේ. පොලිසියේ ඉහළ නිලධාරින් දැනගන්නටත් පෙර ඇමතිවරයා මාධ්‍ය හමුවක් කැඳවා මේ ගැන මාධ්‍යයට තොරතුරු ලබා දී ඇත.
එසේම ඔහු ගුණාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මෙරටට ගෙන්වා ගන්නා බව ද ප්‍රකාශ කළේ ය. ඒ ගැන විශ්වාස කළ නොහැක්කේ, මීට පෙර අබුඩාබි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් වූ එවැනිම පාතාල ක්‍රියාකාරිකයකු වන ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලානේ ධර්මේ මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූ නිසාවෙනි. ඇල්ටෝ ධර්මේ ලෙස ද හැඳින් වූ ඔහුට විරුද්ධව ජාත්‍යන්තර පොලිසිය හරහා ‘රතු නිවේදන’ නිකුත් කර තිබුණේ, ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙනි.
පොලිසිය භාර ඇමතිවරයා කියන ලෙස මෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කොතරම් ද කියතොත්, අබුඩාබි පොලිසියෙන් ඔහු නිදහස්ව යන තුරු මෙරට රජය හෝ ආරක්ෂක අංශ දැනසිටියේ නැත.
පසුගිය ආණ්ඩුව මාකඳුරේ මධුෂ් මෙරටට ගෙන්වා ගත් නමුත්, වත්මන් ආණ්ඩුව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ඝාතනය වීමට ඉඩ සැලැස්වීම මෙරටින් විදේශයට පලා ගොස් සිටින පාතාල පිරිස් ආවරණයක් කරගෙන ඇත. ඔවුන් මේ වන විට විදේශ රාජ්‍යයන්ට පෙන්වා දී ඇත්තේ, මාකඳුරේ මධුෂ් ඝාතනය කළේ පොලිසියේ මැදිහත් වීම මත බව ය. එය පෙන්වමින්, කොපමණ රතු නිවේදන තිබුණත්, ඔවුහු එරට පොලිසිවලින් නිදහස්ව යති.
පොලිසිය භාර ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර ධර්මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ, ඔහු අබුඩාබි පොලිසියෙන් පැන ගොස් ඇති බවකි. නමුත්, එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ, අබුඩාබි පොලිසිය ඔහු නිදහස් කළ බවකි.
ඇමතිවරු මෙලෙස ජනතාව මුළා කළ ද, අද වන විට හෙරොයින්, ‘අයිස්’ ඇතුළු මත්ද්‍රව්‍ය ශීඝ්‍ර ලෙස සමාජය පැතිරෙයි. අද වන විට හෙරොයින් පැකැට්ටුවක මිල පහත වැටී ඇත්තේ මත්ද්‍රව්‍ය සුලභ වීම හේතුවෙනි. එසේම අයිස් නමැති මත්ද්‍රව්‍ය අලෙවිය, සන්තකයේ තබා ගැනීම යන වැරැදි සම්බන්ධයෙන් තවමත් නීති සම්පාදනය වී නැත. හෙරොයින් ග්‍රෑම් දෙකක් හසු වීමේ වරදට මරණ දඬුවම නියම කළ හැකි වුවත්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් සියයක් හමු වුවත්, ඇප ලබා ගත හැකි ය. කෘත්‍රිම මෙන් ම භයානක මත්ද්‍රව්‍යයක් වන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ගණනක් හසු වූ විට ද හිමි වන්නේ වසර 6ක පමණ සිරදඬුවමකි.
සරත් වීරසේකර ඇමතිවරයා උත්සාහ කළ යුත්තේ, පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගැනීම ගැන මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නොව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දියුණු කර ගනිමින්, අත්අඩංගුවට ගන්නා පාතාල සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම ය●

-ලසන්තවීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.