උණුපාන් සහ තවත් කතා

මිනිසා , ගහකොළ සහ සතා සීපාවා යනු එකකට එකක් බැඳුණු, වෙන් කළ නොහැකි සාධකයන් බව අද වන විට ලෝකයේ බොහෝ නූතන චින්තකයන්, ලේඛකයන් පිළිගන්නා කාරණයකි. මිනිසා විසින් පරිසරය වෙත පැතිරවූ ආධිපත්‍යය මත ලෝකයට සිදුව ඇති හානිය සුළුපටු නොවේ . එය මේ මොහොතේ ලෝකය දෙස බලන විට අපට වැටහෙන කාරණයකි. විශේෂයෙන්ම සාහිත්‍ය තුළ පරිසරවාදී විචාරය (Ecocriticism) ඈතට දිවයන්නක් වුවද, 1989 දී ෂෙරිල් ග්ලොට්ෆෙල්ටි, එය එනමින් නම් කරන තුරු එයට නිශ්චිත අර්ථයක් ලැබී නොතිබිණි. සාහිත්‍ය සහ පරිසරය අතර සම්බන්ධය මෙන්ම පරිසරය කෙරෙහි මිනිසා තුල ඇති සෘණාත්මක ආකල්ප අවම කිරීමේ අරමුණින් සාහිත්‍ය භාවිත කිරීම සහ තවත් කාරණා රැසකින් සමන්විතව ෂෙරිල් විසින් ASLE – (Association for Study of Literature and Environment) පරිසරය සහ සාහිත්‍යය පිළිබඳ අධ්‍යන සංගමය යනුවෙන් සංගමයක්ද පිහිටවනු ලැබීය.
රුසියානු සාහිත්‍ය සහ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය වෙනුවෙන් දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාලය වෙත (THE IMAGERY OF NATURE IN THE PROSE WORKS OF K. PAUSTOVSKY) කේ. පවුස්තොව්ස්කිගේ ගද්‍ය කෘතීන්හි ස්වභාව ධර්මයේ නිරූපණය යන මැයෙන් නිබන්ධනයක් ලියන හෙලන් ක්‍රේමර් පව්ස්තොව්ස්කිගේ සාහිත්‍ය ගැන මෙසේ අදහස් දක්වයි.
“පවුස්තොව්ස්කි සිය ගද්‍ය කෘති රචනා කළ කාලය සැලකිල්ලට ගත යුත්තේ මන්ද. එය ලෙනින් සහ ස්ටාලින් යන පාලන තන්ත්‍ර දෙක සමඟම සමපාත වන බැවින් එකල රජය සහ ස්වභාවධර්මය සංරක්ෂණය කිරීමේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම කළ නොහැක්කක් වූ බැවිනි. එහෙත් විශ්ලේෂණය කරන විට පවුස්තොස්කිගේ ගද්‍ය කෘතිවල එන රුසියානු ජනතාව ස්වභාව ධර්මය කෙරෙහි දක්වන ආකල්ප වලින් පෙනී යන්නේ රජයේ නිල ස්ථාවරය පිළිගැනීමේ සිට විවේචනයක් දක්වා එය විකාශනය වන බවයි.”
පවුස්තොව්ස්කිගේ Selected Stories නම් කෘතිය මුල් රුසියානු බසින්ම සිංහලට නගා ඇති ජයන්ත ලාල් රත්නසේකරයන් එය උණු පාන් සහ තවත් කතා ලෙස නම් කරයි. එහි කෙටිකතා දොළහක් අඩංගු වෙයි. එම කෙටිකතා සංග්‍රහයෙහි එන අතරමංවූ පැස්තුඩුවා යන කෙටිකතාව තුළ මේ රජයේ නිල ස්ථාවරය පිළිගන්නා චරිත දක්නට ලැබෙයි. ප්‍රදර්ශනයක් සඳහා රැගෙන යමින් සිටි පැස්තුඩුවෙකු ඉන් පළාවිත් ගමට වැදීමෙන් පසුව ඌට බියවන වයසක මනුස්සයෙකු සහ ගමේ පිරිමි ළමුන් කිහිප දෙනෙක් වටා ගෙතෙන මේ කතාවේ දී ඒ ලක්ෂණ දකින්නට ලැබෙයි.
අපි පැස්තුඩුවාට ලොකු මාළුවෙක් දුන්නෙමු.ඉක්මනින් මාළුවා ගිලදැමූ පැස්තුඩුවා යළිත් වේගයෙන් අත්තටු සලමින් අඩි හැප්පුවේය. ඌ තවත් මාළු ඉල්ලා සිටියේය.
“දැන් ඔය ඇති. අපිට කරදර නොකර පලයන් යන්න මෙතැනින්” සීයා ඌට තරවටු කළේය.

දින දෙකකට පසුව සීයා නගරයට ගියේය. කඩමණ්ඩියේදී සත්ත්ව දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හමුවූ සීයා, බිහිරි විල අසල අතරමං වූ පැස්තුඩුවා ගැන තොරතුරු ලබාදුන්නේය.
පිටුව 57
කකුල් පිලිස්සුණු හාවා කෙටි කතාව විවේචනාත්මක ලක්ෂණ පෙන්වන කෙටිකතාවකි. තම සීයාගේ කකුල් පිලිස්සුණු හාවෙකු රැගෙන නගරයේ පශු වෛද්‍යවරයා වෙත යන මුනුපුරා මුහුණ දෙන්නේ මෙවන් අත්දැකීමකි.
“මට බෑ ඌට බෙහෙත් කරන්න. නුඹේ සීයට කියන්න ඔය හාවව හොඳට ලුණු ටිකක් එහෙම දාලා බැදලා ගන්න කියල. අපූරු කටගැස්මක් වේවි”
වාන්යා මල්යාවින් පිළිතුරු නොදුන්නේය. ඔහු තදින් නාසය මිරිකමින් වේගයෙන් ඇසිපිය හෙළන්නට වූයේය.
පිටුව 82
පශු වෛද්‍යවරයා විසින් හාවාට බෙහෙත් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ පරිසරිය ගැන පාලන තන්ත්‍රය විසින් ඔහු තුළ ඇතිකළ බලපෑම මත විය හැකිය. බෙහෙත් කරනු වෙනුවට හාවා කටගැස්මට ගන්නට ඔහුයෝජනා කරන්නේ එබැවිනි. කෙසේ වෙතත් මුනුපුරා සම්ප්‍රදාය බිඳිමින් හාවා සනීප කරගන්නට වෙහෙසෙන අයුරු කතාව පුරා ගෙනයන්නේ සතුන් කෙරෙහි හෘදයාංගම බව මතුකරමිනි.
ඔහුගේ යුගයේ සෙසු ලේඛකයන් අතුරින් පවුස්තොව්ස්කි කැපී පෙනෙන සාධකය වන්නේ ඔහු මේ පරිසරය ගැන දක්වන ආකල්පය සහ එය පාඨකයාට සමීප කරවන විලාසය නිසාමය. විශේෂයෙන් උණු පාන් වැනි කෙටිකතාවක සතෙකුට පවා අනුකම්පාවට වඩා අවශ්‍ය ගෞරවය බව පෙන්වා දෙයි. ඔහු ජීවත් වූ කාල සීමාව අනුව එය විශිෂ්ට වන්නේ පහත හේතු කාරණාව නිසාමය. ක්‍රේමන්ගේ නිබන්ධනයේ එය මෙලෙස විස්තර කරයි.
“සෝවියට් සංගමය තුළ සුඛිත මුදිත පාරිසරික වටපිටාවක් වර්ධනය කිරීම සඳහා ලෙනින් ගත් උත්සාහයන් 1927 දී ස්ටාලින් බලයට පැමිණීමත් සමඟම ආපස්සට ගමන් කරයි. තම රටේ පාරිසරික සමෘද්ධිය ගැන අඩු උනන්දුවක් දැක්වූ ස්ටාලින් කවර ප්‍රතිඵලයක් ඇති වුවද, බටහිර රටවලට වඩා රුසියාව ඉහළ ආර්ථිකයකට ළඟාවීම තම ප්‍රධාන අපේක්ෂාව ලෙස සැලකූ හෙයිනි.”
මෙම තත්වය යටතේ පරිසරය කෙරෙහි කෙසේ බලපායිද යන්න ගැන කිසිදු පූර්ව අධ්‍යනයකින් තොරව කාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරිණි. තමා තුළ කෙතරම් පරිසරය ගැන සංකල්පනා තිබුණද, ඒවා බැහැර කර සොබාදහම ජයගැනීම වර්ණනා කෙරෙන නවකතා ලියන්නට ලේඛකයන් පෙළඹූ බවද, එසේ නොකරන අයට විවිධ හිරිහැරයන්ට යටත් වීමට සහ ඔවුන්ගේ පොත් ප්‍රකාශයට පත්නොකිරීමට පවා ස්ටාලින් පාලනය කටයුතු කළ බව එම නිබන්ධනයේ වැඩිදුරටත් දැක්වෙයි. මෙම තත්වය යටතේ කාර්මීක නවකතා යන අනුකාණ්ඩය යටතේ සෝවියට් නවකතා බිහිව තිබේ. මෙම නවකතා මගින් පරිසරය සහ මිනිසා අතර තිබූ සම්බන්ධතාවය බිඳදමා ඒ වෙනුවට යන්ත්‍ර සහ මිනිසා අතර සබඳතාවයක් ඇතිකරන්නට ලේඛකයන් කටයුතු කර ඇති බව ඇය උදාහරණ දක්වමින් පෙන්වා දෙයි. එය වර්ථමාන ලෝකය තුළ අප අත්විඳින බරපතල ඛේදවාචකයකි. ඊල්යා අයින්බග් නැමැති රුසියානු ලේඛකයා විසින් ලියන ලද The second day නැමැති නවකතාවෙන් කම්කරුවන්ගේ කටුක ජීවන තත්වයන් සහ එය ජයගැනීමට සොබාදහමේ ප්‍රතිරෝධය මැඩගනිමින් ලෝහ ඌෂ්මකයක් තනන කම්කරුවන්ගේ වීරත්වය අගය කරන ආකාරය එයට එක් උදාහරණයක්ය.
පවුස්තොස්කි වැනි ලේඛකයෙකුගේ වැදත්කම මතුවන්නේ මෙවැනි සන්දර්භයක් තුළදීය. උණු පාන් කෙටිකතා මාලාව තුළ ඔහුගේ පරිසර වර්ණනා කිහිපයක් මෙලෙස මතුවේ.
“වැස්සෙන් ප්‍රමෝදයට පත් ඉරිඟු කරල් බැබළෙන්නට පටන් ගත්තේය. තෙතබරිත ගෙවතු රිදී පැහැයෙන් දිලිසෙන්නට පටන් ගත්තේය. පැසුණු තක්කාලි සහ පිපිඤ්ඤා ගෙඩි වලින් නැගුණු සුවඳ එළවළු කොරටු පුරා පැතිරෙන්නට පටන් ගත්තේය.” පිටුව 44
“වනමල් සුවඳ තදින් පැතිර තිබුණේය. බූව සහිත සොරල් පඳුරු අපේ පපු පෙදෙසට පහර දුන්නේය. තණ පිට්ටනි උණුසුම් කළ හිරුරුස් දහර අපට දැනුණේ මී පැණි දහරක් ලෙසටය. අපි, වල් පැළෑටි හා වනමල් සුවඳ මුසු වූ වාතය ප්‍රීතියෙන් ආශ්වාස කළෙමු” පිටුව 92
පොදුවේ සෑම කෙටිකතාවකම අඩුවැඩි වශයෙන් මෙවැනි පරිසර වර්ණනාවන්ද, විටෙක පරිසරයේ කටුකත්වයද ඔහු විසින් මැනවින් විස්තර කර තිබේ. ක්‍රේමන් පවසන්නේ විචාරකයන්ගේ අඩු අවධානය යොමුව ඇත්තේ ඔහුගේ නවකතා සහ කෙටිකතාවල එන සත්ත්ව චරිත වලට බවය. නිදිකිරා වැටෙන වලහා වැනි කෙටිකතාවකදී ප්‍රභලවම නැගෙන සත්ත්ව චරිත ඒ කතාවට එකතු කරන්නේ මිනිසා, ගහකොළ සහ සතුන් යනු එකම ජාලයක කොටස් බවත්, එකිනෙකාගේ පැවැත්ම කෙරෙහි අනෙකා තදින් බලපාන බවය. සමස්ථ කෙටිකතා මාලාවම පරිසරය කෙරෙහි අපගේ ආකල්පය වර්ධනය කරන, එය රැකගැනීම වෙනුවෙන් පෙරට එන්නට ආරාධනා කරන ඒවාය. මානව කේන්ද්‍රීය චින්තනය වෙනුවට සමස්ථය කේන්ද්‍ර කරගත් චින්තනයකට අප පැමිණිය යුතු බව අද ලෝකය දෙස බලන කළ අපට පෙනී යයි.
ක්‍රේමන්ට අනුව ඔහුගේ සොබාදහමේ නිරූපණය කාණ්ඩ තුනකට වෙන් කළ හැකි බව කියයි. එනම්, සංකේතාත්මකව කැලෑව, සෘතු භේදය, වතුර සහ කාලගුණය පවුස්තොව්ස්කිගේ ගද්‍ය කෘති තුළ භාවිත වන බව පෙන්වා දෙයි. සිය සමකාලීන ලේඛකයන්ගෙන් වෙන්ව යමින් මිනිසා සහ යන්ත්‍ර අතර සබඳතාවය වෙනුවට මිනිසා සහ පරිසරය අතර සබඳතාව ගොඩනගන්නට 19වන සියවසේදී පවුස්තොව්ස්කි ගත් උත්සාහය මේ සියවසේදී පවා බහුතර ලේඛකයන් අතින් ඉටුනොවන කර්තව්‍යයක් බව ද, එමෙන්ම අදට ද ඔහුගේ මේ සුවිශේෂීත්වය නිසියාකාර විචාරයකට බඳුන් නොවීම කණගාටුවට කරුණකි. ලංකාව තුළ පවා සමහර ප්‍රචාරණවාදී සෝවියට් නවකතා බහුලව ප්‍රචලිත වුවද, ඒවා තරම් පවුස්තොව්ස්කිගේ කෘති ජනප්‍රිය නොවීමද සැබවින්ම කණගාටුදායකය. අප සිටින්නේ පවුස්තොව්ස්කි වැනි ලේඛකයන් වැඩි වැඩියෙන් අවශ්‍ය යුගයකය. ඔහුගේ පරිසර සංකේතවාදී ගද්‍ය කලාව ගැන මෙවැනි එක් ලිපියකින් කතා කිරීම අපහසුය. පාඨක ඔබෙන් ඉල්ලා සිටින්නේ පවුස්තොව්ස්කිගේ දැනට පරිවර්තනය වී ඇති පහත කෘති කෙරෙහි ඔබේ අවධානය යොමුකරන ලෙසය.
රන්රෝස නමින් ආරියවංශ රණවීරයන් පරිවර්තනය කර ඇති The Golden Rose
ආරියවංශ රණවීරයන්ගේම පරිවර්තනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති රන්සුණු නම් කෙටිකතා සංග්‍රහය
ජයන්ත ලාල් රත්නසේකරයන් විසින් පරිවර්තිත උතුරුකරයේ අන්දරය, රුසියානු ගම්මැද්දේ චාරිකාවක් සහ මේ ලිපියෙන් කතාකළ උණු පාන් සහ තවත් කතා
-රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.