ගම්පහ පොදු වෙළඳ පොලෙහි ආසාදිතයින් 18 ක්, පොදු වෙළඳ පොලෙ වසයි
ගම්පහ පොදු වෙළඳ පොලෙහි වෙළඳුන්ගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක්කිරීමේදී 18 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ සඳහන් කරයි.
එහි වෙළඳුන් 58 දෙනෙකුට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව කළ අතර ඉන් 18 දෙනෙකු මෙසේ සොයා ගැනීමට හැකිවී තිබේ. මෙම තත්ත්වය මත පොදු වෙළඳ පොල වසා දැමීම සිදු කළ යුතු බව තමන් ගම්පහ නගරාධිපතිවරයා දැනුවත් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
මේ අනුව අද (6) සවස එම වෙළෙඳ පොල සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව ගම්පහ පුරපති එරංග සේනානායක පැවසීය.
හෙට (07) දිනයේ ගම්පහ නගරයෙහි පොදු වෙළෙඳ පොල අවට වෙළෙඳසැල් හිමිකරුවන් සහ සේවකයින්ද පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බව පුරපතිවරයා කියයි.