‘ගම සමඟ පිළිසඳර’ සැලසුම් කළ රංගනයට මීමුරේ සුදානම් කරයි

ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් එළැඹෙන 13 වැනිදා මීමුරේදී පැවැත්වීමට නියමිත ගම සමඟ පිළිසඳර වැඩසටහන සූදානම් කිරීම සඳහා මේ වන විටත් රාජ්‍ය නිලධාරීන් රැසක් මීමුරේ ගම්මානයේ නවාතැන් ගෙන ඇතැයි වාර්තාවේ. රාජ්‍ය නිලධාරීහු, දෙපාර්තමේන්තු ප්‍රධානීහු, ආණ්ඩුකාරවරු, ඇමතිවරු හා ඔවුන්ගේ ලේකම්වරු ඇතුළු නිලධාරීහු 400කට ආසන්න පිරිසක් මේ වන විට මීමුරේ නවාතැන්ගෙන සිටිති. මෙම ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේ පැවත්වීමට සූදානම් කර තිබේ.

අදාළ උත්සව සභාවේදී ප්‍රශ්න ඇසීම, පිළිතුරු දීම ඒ සඳහා කලින් සාකච්ඡා කර ඊට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීම වැනි කටයුතු අදාළ නිලධාරීන් විසින් සිදුකරනු ලබන අතර, එම සිදුවීම් නාට්‍ය ජවනිකා ස්වරූපයක් ගෙන ඇතැයි මීමුරේ ගමේ ජනතාව පවසති.

“හීන්බණ්ඩා ප්‍රශ්නය අහන්න නැඟිටින කොට ජනාධිපති තුමා දන්නවා, මූ අහන්නේ අසවල් ප්‍රශ්නය කියලා. එතුමාට ඕනෑ නම් හීන්බණ්ඩාගේ ප්‍රශ්නෙ මේකයි කියලා පටන් අරගෙන උත්තර දෙන්නත් පුළුවන්. එහෙම සෙල්ලමක් තමයි, දැන් වෙන්නේ නිලධාරීන් 400ක් විතර මේ වනවිට මීමුරේත්, අවට ගම්වලත් නවාතැන් ගෙන ඉන්නවා. සියලුම ප්‍රශ්න කලින් අරගෙන, අහවල් ප්‍රශ්නය අහන්නේ අසවලා කියලා සිදුකරන නාට්‍යයක් තමයි, දැන් මේ සූදානම් කරමින් ඉන්නේ. මේ උත්සව සභාව තියෙන්නේ මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේ. ඒ කියන්නේ, ගම කෙළවරේ. එතැනටත් නිලධාරීන් 500ක් එනවා කියලා තමයි කියන්නේ. එතකොට ප්‍රශ්න අහනවා තියා අපි කොහෙද යන්නේ කියලායි දැන් කල්පනා කරන්නේ. කිසිම මාධ්‍යයක් මේ වෙන තෙක් තවම මීමුරේට ඇවිත් නෑ.
ජනාධිපති මාධ්‍ය අංශය පමණයි ඉන්නේ. සමහර නිලධාරීන් කෙළින්ම ගම්වැසියන්ට කියන්නේ, ඔයා මේ ප්‍රශ්නය අහන්න සූදානම් වෙන්න කියලායි. ඒ කියන්නේ, ගැමියා අහන ප්‍රශ්නය ජනාධිපතිතුමා දන්නවා. ගැමියෝ ප්‍රශ්න අහනවා. ජනාධිපතිතුමාත් සූදානම් ශරීරේ කියලා විභාගෙට වගේ පාඩම් කරලා එනවා නියම නාට්‍යයක්මයි 13 වැනිදා මෙහෙ තියෙන්නේ. ගම සමඟ පිළිසඳර නාට්‍යයක් කියලා මීමුරේ අපි දැනගත්තේ මේ වැඩෙන් තමයි.” මේ වන විට මීමුරේ තත්ත්වය සම්බන්ධයෙන් ‘ඉරිදා ලංකා’ වෙත අදහස් දැක්වූ ගම්වැසියෙක් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.