කොවිඩ් 19 හේතුවෙන් ඇඟලු‍ම් කර්මාන්තය අනතුරක

ජාත්‍යන්තර අපනයන කර්මාන්තය සමඟ තරග කිරීමේ පියවරක් ලෙස ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය (JAAF) ඇඟලු‍ම් කර්මාන්තයේ නියුතු 3,50,000ක් සඳහා එන්නත් ලබා දෙන ලෙස රජයට යෝජනා කර ඇති බව එම සංසදයෙහි සභාපති ඒ සුකුමාරන් පවසා සිටියි. ඒ සඳහා අරමුදල් සැපයීමට සූදානම් බවත් ඔහු සඳහන් කර තිබේ. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද ‘කොවිඩ් 19 අර්බුදයේ ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් අංශය යථා තත්ත්වයට පත් කිරීම’ යන මාතෘකාව යටතේ පැවැති අන්තර්ජාලීය සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.

“ඇඟලු‍ම් කර්මාන්තය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් තේරුම් ගත යුතු දෙය නම් අපි මාස හතරකට පෙර ඇණවුම් භාර ගන්නා බවයි. අපිට පොරොන්දුවූ ආකාරයට ඇණවුම් ලබා දීමට නොහැකි නම්, සේවාදායකයන් අප කෙරෙහි ඇති විශ්වාසය නැති වී යයි. විශාලතම ගැනුම්කරු විසින් දැනටමත් අපට අනතුරු අඟවා ඇත්තේ, ශ්‍රී ලංකාවට නියමිත කාලයට ඇණවුම් ලබාදිය නොහැකි නම්, ඔවුන් වෙනත් තැනකට යනවා යැ”යි ඔහු මෙහිදී පැවසීය.

එමෙන්ම රටේ ආර්ථිකයේ යහපැවැත්ම සඳහා සියලු‍ම අපනයන සමාගම් තම සේවකයන්ගේ ප්‍රතිශක්තිකරණයට ප්‍රමුඛතාව දීම සිදු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ අනුව ඉදිරි මාස තුන ඇතුළත ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ 3,50,000ක පමණ ශ්‍රම බළකායට කොවිඩ් 19 එන්නත් ලබා දෙන්නේ නම්, 2021 වසරේදී කර්මාන්තයට මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

සභාපති ඒ. සුකුමාරන් කියා සිටියේ, ගෝලීය ඇඟලු‍ම් සඳහා ඇති ඉල්ලු‍ම 25-30%කින් පහත වැටී ඇති බවත්, වසංගතයට පෙර පවා ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක සිටි බවත්ය. ඇඟලු‍ම් සංගමයේ සංසදය මේ වන විටත් රජය සමඟ ක්ෂේත්‍රයේ පවත්නා තත්ත්වය පිළිබඳව සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද ඔහු එම හමුවේදී සඳහන් කරති.

Leave A Reply

Your email address will not be published.