වඳ සැත්කම් කතාවට සාක්ෂි කෝ?

වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි වෙත එල්ල දිවයින පුවත්පත ඇතුළු ඇතැම් මාධ්‍ය විසින් එල්ල කළ වන්ධ්‍යකරණ චෝදනාව රට පුරා ඇති කළේ මහත් නොසන්සුන්තාවයකි. දිවයින මාධ්‍යවේදී හේමන්ත රන්දුණු විසින් පුවත වාර්තා කිරීමෙන් පසුව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මව්වරුන්ට වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටියේය. මහාචාර්ය චන්න ජයසුමන සහ අතුරලියේ රතන හිමි වැන්නවුන් ඊට ඌන පූරණ එක් කළ අතර පැමිණිලි කිරීමට එන මව්වරුන්ගේ ගණන දිනපතා වාර්තා කිරීමට ඇතැම් විද්‍යුත් මාධ්‍ය පියවර ගත්තේය. අවසානයේ ලැබුණු පැමිණිලි ගණන දහසද ඉක්මවීය. මේ අතර දිවයින ප්‍රවෘත්තියෙන් දින දෙකකට පසුව වෛද්‍ය මොහොමඩ් සාෆි අත් අඩංගුවට ගනු ලබන්නේ අයථා වත්කම් පිළිබඳව ලද පැමිණිල්ලකට අනුවය. මාධ්‍ය බොහොමයක් විසින් වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් පුවත් වාර්තා කරන විට පවසන ලද්දේ ද එය ‘අයථා වත්කම් සහ සිසේරියන් සැත්කම් අතරතුර කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින’ යනුවෙනි. වන්ධ්‍යකරණය සම්බන්ධයෙන් අධිකරණයේ කටයුතු ආරම්භ වන්නේ මේ සියල්ල සිදුවීමෙන් අනතුරුවය.

එසේ සිසේරියන් සැත්කම් අතරතුර අනවසරයෙන් කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක් කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය ජුනි 27 වන දින කැඳවනු ලැබිණි. මේ පිළිබඳව රටම අවධානයෙන් පසු වූ අතර අතුරලියේ රතන හිමියන් ඊට පෙර දිනම කුරුණෑගල බලා පිටත්ව ගියේය. නඩුව කැඳවන අවස්ථාව වන විට කුරුණෑගල නගරය පුරා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සෙසු පොලිස් බලඇණි යොදාගනිමින් ආරක්ෂාව තරකර තිබුණු අතර ඒ හේතුවෙන්ම වෛද්‍ය සාෆි අධිකරණයට ඉදිරිපත් කරනු සියැසින් දැකබලා ගැනීමට බොහෝ පිරිසක් අධිකරණ භූමිය තුළ හා ඒ අවට රැදී සිටිනු දක්නට ලැබුණි. ඊට අමතරව විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරන වාර්තාකරුවන් විශාල පිරිසක්ද අධිකරණයේ ගේට්ටුව අසළ රැස්ව සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා සැළකිය යුතු පිරිසක්ද තවත් විවිධ පාර්ශ්වයන්ද අධිකරණ භූමිය තුළ සිටිනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටින වෛද්‍ය මොහොමඩ් සාෆි එදින අධිකරණයට ඉදිරිපත් නොකරන බවත්, එසේ වුවද අදාළ පරීක්ෂණ වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීම සිදු වන බවත් පසුව දැන ගන්නට ලැබුණි. පස්වරු 12.15ට පමණ වෛද්‍ය සාෆිගේ නඩුව විවෘත අධිකරණයේදී කැඳවනු ලැබූ අතර එහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, සැකකාර මොහොමඩ් සාෆි වෙනුවෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු නීතිඥවරුන් පිරිසක්ද, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න ඇතුළු නීතිඥවරුන් පිරිසක්ද පෙනී සිටියහ. එහිදී පළමුවෙන් සිදු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමයි. එහිදී දිවයින පුවත්පතේ වාර්තාව සම්බන්ධයෙන් සහ වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීම සිදු වූ ආකාරය පිලිබඳ අපරාධ පිරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා කරුණු දැක්වූ අතර මූලික කරුණු දෙකක් නිශ්චිතව අවධාරණය කරනු ලැබීය.

  1. දිවයින පුවත්පතේ අදාළ ප්‍රවෘත්තිය පළකරන ලද නියෝජ්‍ය ප්‍රධාන කර්තෘ හේමන්ත රන්දුණුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් එහිදී අදාළ ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන් කරුණණු තමාට හෙළිකරන ලද්දේ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් විසින් බවට හේමන්ත රන්දුණුගේ ප්‍රකාශයේ සදහන් වන බවත් වාර්තා කරන ලදී.
  2. නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එහිදී තමන් හේමන්ත රන්දුණුට ප්‍රකාශ කළේ මෙම වෛද්‍යවරයා වඳ සැත්කම් සිදුකරන බවට zයම් සැකයක් පවත්නා බව පමණක්Z ඔහු විසින් ප්‍රකාශ කළ බවද අධිකරණයට වාර්තා කරන ලදී.

එසේම දිවයින පුවත්පත විසින් අදාළ ප්‍රවෘත්තිය පළ කරන අවස්ථාව වනවිට චූදිත වෛද්‍යවරයා සම්බන්ධයෙන් අනවසරයෙන් වන්ධ්‍යකරණය කරන ලද බවට වාර්තාගත පැමිණිලි කිසිවක් ලැබී නොතිබුණු බවත්, දිවයින ප්‍රවෘත්තිය කාරණා නිසි පරිදි සොයා බැලීමකින් තොරව පළකරන ලද පුවතක් බවට තමන් නිරීක්ෂණය කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩි දුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේය. මෙම වෛද්‍යවරයාට එරෙහිම මීට පෙර එල්ල වී තිබුණේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදුකළ බව අධිකරණයට වාර්තා කළ එම නිලධාරියා එම විමර්ශනයට අදාළව සටහන් කරගන්නා ලද කටඋත්තර පෙරකී වාර්තාව සමගින් ඉදිරිපත් කරමින් ඒවායෙන් තෝරාගත් උපුටන කිහිපයක් විවෘත අධිකරණයේ කියවන ලදී. මෙම චෝදනා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් සොයාගැනීමේ අපහසුතාවයද ඊට අදාළ රෝහල් වාර්තා දැනට සාමාන්‍ය රෝහල් ක්‍රියා පටිපාටිය යටතේ බැහැර කර ඇති නිසාද සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කළ නොහැකි බව පැවසූ අතර ඇතැම් ශල්‍යකර්ම අතරතුරදී සිදුකර ඇතැයි කියන වැරදි සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමේදී අනාවරණය වූ කරුණු අනුව ඒ සම්බන්ධයෙන් හෝ වෛද්‍ය සාෆි අපරාධයක් සිදුකර ඇති බවක් මේ දක්වා හෙළි වී නැති බවද සඳහන් කරන ලදී.

ඉන් අනතුරුව මෙම නඩුවේ ප්‍රධාන ප්‍රශ්නගත කරුණ වන සිසේරියන් සැත්කම් අතරතුරදී කාන්තාවන් අනවසරයෙන්ව න්ධ්‍යකරණයට ලක් කර ඇත්තේද යන්න පිළිබදව සිදුවන විමර්ශනයට අදාළ කරුණු වාර්තා කරන ලදී. ඊට අදාළව ලැබී ඇති පැමිණිලි වලින් සැළකිය යුතු ප්‍රමාණයක් වෛද්‍ය සාෆි විසින් සිසේරියන් සැත්කමක් සිදුකිරීම නිසාම ඇතිවූ සැකය මත කරන ලද පැමිණිලි පමණක් බවත්, ඒ අතරින් තෝරාගත් පැමිණිලි විශාල ප්‍රමාණයකට අදාළව සැත්කම්වලට සහභාගි වූ අනෙකුත් සහායක වෛද්‍යවරුන්, හෙදියන්, සුළු සේවකයන් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා කෙරිණි. වෛද්‍ය සාෆි විසින් තනිව කාන්තාවන් සැත්කමට භාජනය කරන ලද අවස්ථාවන් පිළිබඳව විමර්ශනය කිරීමේදී එසේ කළේ යැයි ප්‍රකාශ වූ සැත්කම සඳහා අනෙකුත් වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් ඒ සඳහා සහභාගි වූ බවට ඔවුන් විසින්ම ප්‍රකාශ ලබාදී ඇති හෙයින් වෛද්‍ය සාෆි විසින් කිසිදු කාන්තාවක තනිවම සැත්කමට භාජනය කරන ලද බවට යන කරුණු තහවුරු වී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාර්ශ්වයෙන් කියා සිටියේය. සැත්කම් සඳහා සහභාගි වූ වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් ගණනාවකගේ ප්‍රකාශ උපුටා දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළ නිලධාරියා කියා සිටියේ ඔවුන් කිසිදු අවස්ථාවක වෛද්‍ය සාෆි විසින් කිසිදු අයුරකින් අදාළ කාන්තාවන්ගේ පැලෝපීය නාල වලට හානි සිදුකරනවා ඔවුන් විසින් දැක නොමැති බව ප්‍රකාශ කර ඇති බවයි.

මෙතෙක් සිදු කළ පරීක්ෂණ සහ විමර්ශන සම්බන්ධයෙන් පිටු 210කින් යුත් දීර්ඝ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා මෙම වෛද්‍යවරයා කිසියම් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ දැයි දුරකථන වාර්තා ආදිය යොදාගෙන විමර්ශනය කරන ලද නමුත් ඔහු එවන් සංවිධානයකට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් මේ දක්වා අනාවරණය වී නොමැති බව ද පැවසීය. එසේම සාෆි වෛද්‍යවරයාගේ වත්කම් පිළිබදව සහ ආදායම් පිළිබඳව සිදුකරන ලද විමර්ශන වලදී ඔහු වෛද්‍ය වෘත්තියෙන් සහ ව්‍යාපාර කටයුතු වලින් ආසන්න වශයෙන් මාසිකව රුපියල් ලක්ෂ 19ක පමණ ආදායමක් උපයන්නෙකු බව තහවුරු වී ඇති බවත් ඒ අනුව ඔහු සතු වත්කම් පැහැදිලි කළ නොහැකි මාර්ග හරහා උපයාගත් ඒවා බවට කරුණු අනාවරණය නොවන බවත් වාර්තා කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයා විසින් පැය එකහමාරක පමණ කාලයක් දීර්ඝ ලෙස කරුණු දැක්වීම් අවසානයේ අධිකරණය හමුවේ කියා සිටියේ මෙතෙක් කල් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රඳවා ගැනීමේ නියෝග ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන සිටින වෛද්‍ය සාෆි මේ දක්වා අනාවරණය වී ඇති කරුණු අනුව තවදුරටත් එසේ රඳවාගෙන සිටීම යුක්තිසහගත නොවන බව පෙනී යන බැවින් ඒ සම්බ්න්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කොට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි. එමෙන්ම වඳභාවයට පත්ව ඇති බව කියන කාන්තාවන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණ දිනකට සිදුකළ හැක්කේ 3ක් පමණ වන හෙයින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා නියෝගයක්ද ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ මොහොමඩ් සාෆි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමෙන් සිදුවී ඇත්තේ කුමක්ද යන්න මනාව පැහැදිලි වන බවත්, වගකීම් විරහිත ලෙස පතුරුවා හරින ලද කටකතාව හේතුවෙන් තම සේවාදායකයා මෙම සාවද්‍ය චෝදනාවට ලක්වී ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු පමණක් නොව ඔහුගේ බිරිඳ සහ දරුවන් ද දැඩි අපහසුවට පත්වී ඇති බවත්ය.

අගතියට පත් පාර්ශ්වය විසින් කරුණු ඉදිරිපත් කරන ලද්දේ ඉන් අනතුරුවය. එහිදී කරුණු දැක්වූ නීතිඥවරයා මෙම විමර්ශනය අසම්පූර්ණ අවස්ථාවකදී මෙවන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෝෂ දර්ශනයට ලක්කරනු ලැබීය. ඔවුන් විසින් මූලික කරුණු තුනක් ඉදිරිපත් කරන ලදී.

  1. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවධානය යොමු කර ඇත්තේ පැලෝපීය නාලයට හානි සිදුකිරීම මගින් වඳභාවයට පත්කිරීම් ගැන පමණක් බවත් කාන්තාවක වඳභාවයට ලක් කළ හැකි තවත් ක්‍රම තිඛෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නොසලකා හැර ඇති බවත් අධිකරණයේ අවධානයට යොමු කරන ලදී.
  2. මෙම සිදුවීමේ වැදගත්ම සාක්ෂිකරුවා වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් යටතේ විමර්ශනය සිදුකර නොමැති බවට අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා චෝදනා කරන ලදී. ඔහු විසින් සංඛ්‍යා ලේඛණ ආශ්‍රයෙන් වෛද්‍ය සාෆි විසින් කාන්තාවන් වඳභාවයට පත්කර ඇති බව ඔප්පු කර තිබියදී ඒවා ඉදිරිපත් නොකර විමර්ශනය සඳහා අත්‍යවශ්‍ය නොවන, සැත්කම් සඳහා සහභාගි වූ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන්ගේ ප්‍රකාශ සටහන් කරමින් ඔවුන් ඒවා නොදුටු බව අධිකරණයට වාර්තා කිරීම පිලිබඳ අප්‍රසාදය පළ කළේය.
  3. වඳභාවයට පත්වී ඇත්ද යන්න තහවුරු කරගැනීම සදහා අධිකරණයේ අවසරය ලබාගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකිරීමට යන පරීක්ෂණයෙන් ඊට භාජනය වන මව්වරුන් මඳ සරුභාවයට මෙන්ම මරණයට පවා පත්විය හැකි බව පෙන්වා දෙමින් එම පරීක්ෂණය සදහා නියෝග නිකුත් නොකරන ලෙස අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේය.

මෙම කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල විසින් ඉල්ලා සිටි වෛද්‍ය පරීක්ෂණය නොපවත්වන ලෙසත්, මෙම සිදුවීමෙන් අගතියට පත් තවත් අය වේ නම් ඔවුන්ටද පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත්, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සති දෙකකින් මෙම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටත් සැකකාර පාර්ශ්වය ඉල්ලා සිටි පිටපත් දින දෙකක් ඇතුළත නිකුත් කරන ලෙසටත් නියෝග කරමින් නඩුව කල්තබන ලදී. දැනට තත්ත්වය එසේය.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

three × four =