සීනි සමාගමේ ඉඩම් අක්කර විසිදාහක් වෙන්දේසි කිරීමේ සූදානමක් !

කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 20,000ක ඉඩම් කොටසක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට ලබා දීමට රජය සැලැසුම් කර ඇතැයි අනාවරණය වේ. මෙම ඉඩම් පවරා දීමේ සූදානම පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ ද මේ වන විට තහවුරු කර ඇත.

2020 නොවැම්බර් මාසයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා ඉඩම් අමාත්‍යාංශය එක්ව ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහන යටතේ බඩඉරිඟු වගාවට යැයි පවසමින්, සීනි සමාගමට අයත් භූමියේ අක්කර 900ක් එළිපෙහෙළි කිරීම සඳහා ඒ.එස්.ටී. නමැති  සමාගමට කොන්ත්‍රාත් ලබා දී තිබිණි.

එහෙත්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් අදාළ සමාගමට  මුදල් නොගෙවීම නිසා  භූමිය සැකැසීම අත්හිටුවා තිබේ. පසුව එම බිම් සකස් කළ ඉඩම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිතවතුන් අතර අක්කරයක් රුපියල් 1,000.00ක් වැනි මුදලකට විවිධ වගාවන් සඳහා ලබා දීමට ආණ්ඩුවේ ඇමතිවරු දෙපළක් මුල් වී අටයුතු කර ඇති බව කන්තලේ සීනි සමාගමේ සේවකයෝ පවසති.

කෙසේ වෙතත්, පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ඇති කර ගත් එකඟතා ගිවිසුමකට අනුව හෙක්ටයාර් 500ක භූමියක් ඉන්දියානු සමාගමකට බදු දී ඇති අතර, මේ වන විටත් එම ඉන්දියානු සමාගම කන්තලේ සීනි සමාගමට අයත් රුපියල් බිලියන 550කට තක්සේරු කර ඇති යන්ත්‍රසූත්‍ර හා යකඩ තොග ලබා ගැනීමේ උත්සාහයක නිරත වන බව කන්තලේ සීනි සමාගමට අනුයුක්තව සිටින සේවකයෝ පවසති. ඔවුන් පවසන්නේ, නැවතත් සීනි සමාගමට අයත් ඉඩම් වෙනත් නමකින් හෝ අදාළ ඉන්දියානු සමාගමට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරන්නේ දැයි තමන් සැක කරන බවයි●

කන්තලේ – ධනූ රාමවික්‍රම
Leave A Reply

Your email address will not be published.