ආයුබොවන්ඩ මහින්ද,

අන්තිම බෝලෙට හයේ පාරක් ගහලා ගේම කොලෝස් කොරන්න ඇහැක්කෙ සෙල්ලම් පිට්ටනියෙ නියමෙට තෙම්පරාදු වුණ ටොප් වැඩකාරයෙකුට විතරයි නේද මහින්ද..? දේසපාලන පිටියෙ වැඩ කොරන්නෙත් ඒ තියරියම තමා කියලා ඊයෙ පෙරේදා තමුන්නැහැ ඇදල ඇරිය පෙරිය ෂොට් එකෙන් මාරෙටම ඔප්පු වුණා. ඔහේගෙ ඒ දාර හයේ පාරත් එක්ක ටීම් එකේ කැප්ටන් අඤ්ඤකොරොස් කොරල දාන්ඩ ඇහැක් වුණ එකත් මාරම මාරයි සෑර්. හීන් එකා කාලෙ හිටංම සෙල්ලක්කාරයෙක් හැටියට පොරසිද්ද මහින්දයියා ඒ සංදියෙත් මලයන්ඩිලව කරකවල අතඇරපු හැටි ගෝඨටයි- බැසිල්ටයි දෙන්නටම ටක්කෙටම මතක් වෙන්ඩ ඇති මයෙ හිතේ.

තමුන්නැහැ කැප්ටන් වෙලා උන්නු කාලේ 18 සංසෝදනේ පිහිටෙන් දාපු සෙල්ලන් දිහා බලනකොට මේවා නිකං ඇටබෝල ගහනවා වගේ සිම්පල් ගේම් කියලයි ඔහේගෙ හපන්කං ගැන හොඳාකාරවම දන්න කියන ඇත්තොනං දොඩන්නෙ. ගෝඨා මලයට අතපය දිග ඇරලා හතරෙ- හයේ ෂොට් ගහන්ඩ 20 අනුමත කොරගත්තට පස්සෙ අගමැති අයියට නිකන්ම චකබලාස් වෙලා ගෙහුන් පඹයෙක් වගේ බකංනිලාගෙන ඉන්ඩ වෙයි කියපු එව්වො රැලකුත් උන්නනෙ. ඒකලාටත් මහින්ද හුළඟ කියන්නේ මොකක්ද කියන එක මේ ෂොට් එකෙන්ම පෙන්නුං කොරල දෙන්ඩ ඇහැක් වෙච්ච එක ගැනත් කියල වැඩක් නැහැ අපෙ මහත්තයෝ.

හොරට නිදාගෙන ඉඳලා අන්තිම ඕවර් එකේදි පිටියට බැහැපු විමලෙලා-ගම්පිලලා-වාසුලා සැට්වෙලා කප්එක උස්සන්ඩ දාපු බොරු මාද්දිය සංදර්සනත් කෝච්චියට අහුවුණ රබර් ඇට වගේ චටපටස් ගලා පුපුරල ගිය හැටි දැක්කමනං අනේ අපොයි කියලා හිතුණා ආයිබොවන්ඩ. ගෝඨා-බැසිල් රැස් වළලු යට ඉඳන් දත් නියව නියවා උන්නු වාසි පැත්තට හෝයියා කියන හාදයො ටික දොඩ දොඩා උන්නෙනං මහින්ද කියන්නෙ දැන් නිකං පැන්සොං පොලිස්කාරයෙක් තරංවත් කෙළියක් කොරන්න ඇහැකි හාදයෙක් නෙවේය කියලයි නේද? ඔය වගේ තක්කඩියන්ව දියවන්නා ඔයටම ඇදල දාන්ඩ ඇහැකි පැලෑනක් ගහන්ඩය කියලා මතක ඇතුව නාමල් කොලුවට දැන්ම කියන්න.

මක්ක වුණත් මහින්ද මහත්තයෝ ටික දොහකට හරි ජැටියෙ කේස් එක ෂේප් කොරගත්තු එකේ වාසිය රාජපක්ස පරපුරෙන් පිට යන්ඩනං දෙන්ඩ එපා. තමුන්නැහැ සිංහ රාජයෙක් වගේ නැගී උන්නෙ නැත්තන් රුදිරෙ පූජා කොරල හරි ජැටිය රකිනවය කියල වදාරපු එක එක උන්නාන්සෙලටයි., ගිරිය පුප්පන් බෙරිහන් දෙන යූනියන්කාරයන්ටයි කොරන්ඩ ඇහැකි කෙංගෙඩියක් නැති බව අපි නොදන්නවයැ. අපේ මහින්ද මහත්තයා මේ එඩිතර තීරණේ ගත්තේ අග්ගරාමාත්තිය තානාන්තරේ හිටං හත්මුතු පරම්පරාවෙන් උරුම වෙච්ච සබ්බ සකලමනාවම පරදුවට තියලය කියන එක රටම දන්නවා. ඩිංගිත්තක් හරි වැඩේ ගැස්සුනනං අර අහිංසක සිරන්ති නෝනෙටයි දඟකාර කොලු පැටවුන්ටයි යන කල දසාව ගැනවත් තමුන්නැහැ කල්පනා නොකළ එක නොවැ වැඩේ කියන්නෙ.

දැන් ඉතිං එකම පරහකට තියෙන්නෙ අල්ලපු ගෙදර මෝදි ලොක්කව සේප් කරගන්නෙ කොහොමද කියන එක විතරයි නේද ආයිබොවන්ඩ. එයැයි ගේම ඉල්ලන්ඩ ආවොත් හෙම ඔහේ සැකන්ඩ් වෙන්ඩනං එපා අපෙ රජෝ. ලෝක බලවතුන් හැටියට බොක්කෙන්ම ලක්මෑණිට ලව් කරන චීනෙ ජින්පිංලගෙ හයි හත්තියයි ලෝකෝත්තර බලවතුන් හැටියට ඔහෙලත් එක්කම වැජඹෙන දම්මික ඉසිවරයගෙ කාළි සත්තියයි., රාජකීය වයිද්දිය වයිට් ගොයියගෙ විස්ස සක්තියයි අඩුවක් නැතිව තියේනං මෝදි අපිට මක්ක කොරන්නයි ආයිබොවන්ඩ?●

විශ්වමිත්‍ර
Leave A Reply

Your email address will not be published.