ජන බලයේ පළමු වෙඩි මුරය

වරාය සටන නිමා වී තිබේ. ඒ නිමා වීම පිළිබඳ විවාදයන් පවතී. ජයග්‍රහණයක් ලැබූ බව සේවකයන්ගේ පැත්තෙන් කියැවෙන අතර, ආණ්ඩුවේ උගුලකට සේවකයන් හසු වූ බව තවත් අය කියති. කෙසේ වෙතත්, වරාය නැඟෙනහිර පර්යන්ත ප්‍රශ්නයේ දී ආණ්ඩුව රිවස් ගියර් එකට දැමූ බව පැහැදිලි ය. වසරක් ගත වී ඇති මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බැලීමේ දී මේ රිවස් ගියර් එක දෙස ද බොහෝ දෙනා සැකයෙන් බලන්නට පෙළැඹීම කිසිසේත් ම අසාධාරණ නැත.

මෙම ක්‍රියාවලිය මෙහෙයැවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යනු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් සහිත එකකි. ජනාධිපති ද 69 ලක්ෂයක ඡන්දයෙන් පත් වූවෙකි. තවමත් ආණ්ඩුවට වසරක් පමණි. 20වන සංශෝධනය මඟින් උපරිම බලයක් තමන් අතට කේන්ද්‍රගත කරගෙන සිටින ජනාධිපතිවරයෙකි. රාජ්‍ය ආයතන තිස් ගණනක් සඳහා මේ වන විට හමුදා ප්‍රධානීන් පත් කොට ඇත. වරායේ සභාපති ද ජනරාල්වරයෙකි.

පවතින විෂම සමාජ ක්‍රමය රකින කවර ආණ්ඩුවක් වුව ද මෙයින් වෙනස් වන්නේ නැත. වැදගත් වන්නේ,  රටේ සම්පත් පාවා දෙන, පරිසරය වනසන, නීතිය අවභාවිත කරන, මූල්‍ය ජාවාරම් කරන මෙම ක්‍රියාකාරීත්වයන් පරදවන්නේ කෙසේ ද යන්නයි. පීඩාවෙන් පීඩාවට පත්ව සිටින ජනතා බලවේග ඉගෙන ගත යුතු වැදගත් පාඩම එයයි.

ආණ්ඩුව මුහුණ පා සිටින අතිදැවැන්ත මූල්‍ය අර්බුදය නිසාවෙන් ද ආණ්ඩුව සිටින්නේ කුමක් හෝ විකුණා දමා ඩොලර් ටිකක් සොයාගැනීමේ හිඟමනක ය. ඒ නිසා නැඟෙනහිර පර්යන්තය වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 700 ආණ්ඩුවට ඉතා වැදගත් ය.

මේ සියලු බලයන් සහිතව ආණ්ඩුවේ මැති ඇමතිවරු ද, සමීප ජාවාරම්කරුවෝ ද නීතිය අවභාවිත කරමින් සිටිති. මූල්‍ය වංචාවල ප්‍රසිද්ධියේ නිරත වෙමින් සිටිති. පරිසරය ඩෝසර් කරමින් තිබේ. මේ සියල්ල පිළිබඳ අදාළ පාර්ශ්වවලින් විරෝධයන් එල්ල වුව ද, එම ක්‍රියාකාරකම් නතර කිරීමට ප්‍රවේශයක් ආණ්ඩුව පැත්තෙන් පෙනෙන්නට නැත.

ඒ අතර ඉන්දියාව කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය අත්පත් කර ගැනීමට උත්සාහ දරන්නේ, ආර්ථිකමය කරුණක් නිසා නොවන බව භූ දේශපාලන ප්‍රතිවිරෝධතා අනුව පැහැදිලි කරුණකි. කොළඹ වරාය සමීපයේ ඉදි වන චීනයේ ‘පෝට් සිටි’ ව්‍යාපෘතිය මෙහි තීරණාත්මක සාධකයයි. මෙහි ඉන්දියානු පාර්ශ්වය පිටුපස ඇමෙරිකානු හස්තය ඇති බවට සැකයක් නැත. ඒ නිසා නැඟෙනහිර පර්යන්තය ඩැහැ ගැනීම බලගතු ජාත්‍යන්තර දේශපාලන හස්තයකින් සිදු වන්නකි.

විරෝධතා මතුවෙද් දී ඉන්දියාවට පැවරීමේ තීන්දුව කිසිදු අයුරකින් වෙනස් කළ නොහැකි බව ජනාධිපතිවරයා පැවසුවේ මේ සියලු හේතු නිසා ය. “බල්ලො බිරුවට මේක නවත්වන්නේ නැතැ”යි ආණ්ඩුවේ මුරබල්ලන් ඝෝෂා කළේ ඒ නිසා ය.
එහෙත්, ප්‍රගතිශීලි ජන බලවේග සමඟ අත්වැල් බැඳ ගත් සංවිධානය වූ කම්කරුවන්ගේ බලය හමුවේ මේ සියලු අධිරාජ්‍යවාදී මෙන්ම අත්තනෝමතික විධායක බලයට ද රිවස් ගියර් දාන්නට සිදු වූයේ ය. එය ඔවුන්ගේ පැහැදිලි පරාජයකි. වරාය රැකගැනීමේ අරගලය වැඩ කරන හා ප්‍රගතිශීලි ජනයාගේ පැහැදිලි ජයග්‍රහණයක් බව කියන්නට අප පසුබට නොවන්නේ ඒ නිසා ය.

ආණ්ඩුව ඇති තරම් තව තවත් කුමන්ත්‍රණ කරනු ඇත. සටකපටකම් කරනු ඇත. ඒ පසුපස ම තවමත් ඉදි නොවුණු බටහිර පර්යන්තය විකිණීමේ කුමන්ත්‍රණයේ කස හඬ ඇසෙමින් තිබේ. ඒ අතර, ජන බලය හමුවේ යන එන මං නැති වූ දේශපාලන අවස්ථාවාදීන් “රාජපක්‍ෂවරුන් වරාය විකුණන්නේ නැතැ”යි කියමින්, යළිත් ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ දරන බව පෙනේ.
පවතින විෂම සමාජ ක්‍රමය රකින කවර ආණ්ඩුවක් වුව ද මෙයින් වෙනස් වන්නේ නැත. වැදගත් වන්නේ, රටේ සම්පත් පාවා දෙන, පරිසරය වනසන, නීතිය අවභාවිත කරන, මූල්‍ය ජාවාරම් කරන මෙම ක්‍රියාකාරීත්වයන් පරදවන්නේ කෙසේ ද යන්නයි. පීඩාවෙන් පීඩාවට පත්ව සිටින ජනතා බලවේග ඉගෙන ගත යුතු වැදගත් පාඩම එයයි.

බහුජන අරගලයකින් තොරව පාලකයන් ජනතාවට රැක දී හෝ දිනා දී ඇති දෙයක් නැත යන්න සදාකාලික සත්‍යයකි. සංවිධානය වූ ජනතා බලයකට ඕනෑ ම ප්‍රබල පාලකයකුගේ මානව විරෝධී, ජනතා විරෝධී ක්‍රියාවන් පරාජය කළ හැකි බව මෙම සටනින් ද ඔප්පු කොට ඇත්තේ ය. අවදියෙන් සිටින ජනතාවක් මුළා කළ නොහැකි ය. එය හෙට දවසේ ජනතා අරගලවලට ද අත්දැකීමක් මෙන්ම පෙරහුරුවක් ද වනු ඇත.

පවතින අත්තනෝමතික, දූෂිත, ජරාජීර්ණ සමාජය වෙනුවට සැබෑ මානව සමාජයක් ගොඩනැඟිය හැකි බලය පවතින්නේ, වැඩ කරන ජනතාව තුළ ම ය. ප්‍රශ්නය වන්නේ බහුතර ජනයා එය නොදැන සිටීමය●

Leave A Reply

Your email address will not be published.