රුහුණේ අලි ඇත්තුන්ට අවසානයේ උරුම දේ

පසුගිය වසර 20 ක කාලය කියන්නෙ ලංකාවේ පරිසර පද්ධති ඉවක් බවක් නැතුව සංහාරයට ලක් උනු යුගයක්. ලංකාවේ දැවැන්තම පරිසර හානිය කියල විල්පත්තු ප්‍රේරණ හානිය සරලව හැඳින්වුවත් , ඇත්තටම සබරගමුව , දකුණු , ඌව , නැගෙනහිර පළාත්වල විනාශ වුනු වනාන්තර ප්‍රමාණය අක්කර දහස් ගණනක්. ඒක විල්පත්තු හානිය වගේ සිය ගුණයක් . අවුරුදු සිය ගණනක් පුරාවට යාල ජාතික උද්‍යානයේ හා ආශ්‍රිත පරිවාර වනාන්තර ඇතුලෙ හිටපු අලි ඇතුන්ගෙ සංචරණ මාර්ග හා ගොදුරුබිම් බවට පත් වෙලා තිබුණු බුන්දල , වීරවිල, හම්බන්තොට , මත්තල , මීගහජඳුර , සූරියවැව , මඳුනාගල වගේ ප්‍රදේශ අද සීග්‍රයෙන් එළිපෙහෙළි වෙලා . කර්මාන්ත හා කෘෂිකාර්මික වගාබිම් වනාන්තර හා ජලමුලාශ්‍ර මූලික කරගෙන නිර්මාණය වෙලා . අලි ඇතුන් සිය ගණනක් ජීවත් උන බිම් වසර කිහිපයක් ඇතුලත එළි පෙහෙළි වීමත් , ස්භාවික ආහාර හා ජල ප්‍රභව වන අලි ඇතුන්ට අහිමි වීමත් , කෘෂිකාර්මික වගා බිම් ව්‍යාප්ත වීම හරහා අලි ඇතුන් වගා බිම් තුලම රැඳී සිටීමත් හම්බන්තොට , වීරවිල , මත්තල වැනි ප්‍රදේශ වල අලි මිනිස් අර්බුදය විසඳිය නොහැකි ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා .

අභයභූමි හා රක්ෂිත ප්‍රදේශ කළමනාකරණය නොවීමත් , ජාලගතව පැවති වනාන්තර පැසේජ කුඩා කොටස් වලට වෙන්වීමත් නිසා උග්‍ර ජල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා . කෘෂිකර්මාන්තය සඳහා වනාන්තර ප්‍රදේශ තුල ඇති ජල මූලාශ්‍ර එලි පෙහෙළි වීම ඉතිරිව ඇති කුඩා වනගහනය තුලත් අලි ඇතුන්ට වාසය කිරීමේ අර්බුද නිර්මාණය කරනවා. මෙම ගැටලුව විසඳීම සඳහා 2011 වසරේ දී යෝජනා උනු හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ලෙස , උඩවළව ජාතික උද්‍යානය , බූන්දල ජාතික උද්‍යානය හා ලුණුගම්වෙහෙර ජාතික උද්‍යාන යා කරමින් හෙක්ටයාර 12’000 කට ආසන්න භූමි ප්‍රමාණයක් අලි ඇතුන් වෙනුවෙන් හා අලි මිනිස් ගැටුම විසඳීම වෙනුවෙන් යෝජනා උනත් එම යෝජිත රක්ෂිතය තුල පවා දැවැන්ත ඉඩම් සංහාරයක් සිදුවී අවසන්. හම්බන්තොට සිට මීගහජදුර දක්වා මත්තල හරහා දිවෙන එම වන කොරිඩෝව අධිවේගී මාර්ග , ගල් කොරි , පස් කැපීම් හා අවශේෂ සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන අවසන් . හම්බන්තොට අලි මිනිස් ගැටළුව විසඳීමට හැකිව තිබූ එකම විසඳුමත් මෙසේ කුණු කූඩයට විසිවීමෙන් සත්‍ය ලෙසම හානියට පත්වන්නේ මෙම ප්‍රදේශ වල ජීවත්වෙන මිනිස්සු . අලි ඇතුන්ට වෙන් කල මෙම යෝජිත රක්ෂිතය තුලින් භූගත ජල මට්ටම හා පාංශු ජල මට්‍ටමත් , කුඩා හා මධ්‍ය පරිමාණ වැව් වල ජල ධාරිතාව ප්‍රශස්තව පවත්වා ගැනීමට විශාල සේවයක් සිදුකරනු ලැබුවා .

ඉදිරි වසර 10 ක කාලයක් තුල නිසැකවම මෙම ජාතික උද්‍යාන නොවන වනාන්තර හා වන කොරිඩෝ සම්පූර්ණයෙන්ම එළි පෙහෙළි වීම තුල හම්බන්තොට හා ආශ්‍රිතව ජීවත්වෙන සියලුම අලි අතුන් ක්‍රමිකව මරණයට පත්වී අලි මිනිස් ගැටුම අවසන් වනු ඇත. ඒත් උඩවළව ජාතික උද්‍යානය , ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය , බූන්දල හා රුහුණු ජාතික උද්‍යාන වලට මෙම ප්‍රදේශය ජල මූලාශ්‍ර සුරැකීමට කිසිසේත් නොහැකි වනු ඇත. උඩවළව ජාතික උද්‍යානයේ උතුරු මායිමේ සිදුවන වන සංහාරය නිසා සබරගමුව කඳුවැටියේ නොයිඳුල් උල්පත් වලින් පණ ලබන වළවේ ගඟේ , උඩවළව ජලාශයෙන් මුදාහරින ජල ධාරිතාව තව දුරටත් කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් නොකරනු ඇත . ඇල්ල , ඔක්කම්පිටිය , ඇතිමළේ වනසංහාරයන් වෙහෙරගල පෝෂිතය තවත් අවම කරනු ඇත . දැනටත් දූවිලි වන්නට වියැලෙන යාල , උඩවළව , හම්බන්තොට තවදුරටත් කිසිදු බාධාවකින් තොරව කාන්තාරීකරණය වනු ඇත .එවිට අලි මංකඩ හෝ යෝජිත රක්ෂිතයේ ඉඩම් බෙදාදුන් කිසිවෙක් ජල අර්බුදයට විසඳුම් නොදෙනු ඇත .

හම්බෙගමුව , සිංහලයාගම , අලුත්වෙල , දහයියාගල අලි මං ඔස්සේ වසර කිහියක් පුරා සැරිසරන මම , එහි මහ ගස් වැටෙනවා දුටිමි . දමිණ පඳුරු ගැලවී එක රැයින් කුඹුරු හැදෙනවා දුටිමි . ගල්කොටුකන්ද කොරිඩෝවේ තනි දළයා ද උණ කන්දේ දුටු නීලගේ පිරිවරත් දිනෙන් දින කෘෂවී එකිනෙකා අඩු උනා මිස ගැබ්බර ඇතින්නන් නොදුටුවෙමි . වසර තුනකට ඉහත දී මව් කිරිබොන පැටවෙකු සහිතව ආ ඇතින්න ගිය වසරේ පැටවා නැතුව දුටුවෙමි . වෙඩි වැදී සුව වූ පාදයක් හිමි නීල නම් පිරිමි අලියාගේ මූණිස්සම් කැට තව තවත් වැඩි උනා මිස අඩු උනා නොදුටුවෙමි .

අලි මංකඩක් , අභයභූමියක් , ජාතික උද්‍යානයක් , ජල මූලාශ්‍ර පෝෂිතයක් , යෝජිත රක්ෂිතයක් යනු තව දුරටත් මිනිසාගේ වගාබිම් හෝ වනසතුන් රඳවා තබා ගන්නා අවශේෂ බිම් නොව , සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අනාගත හුස්ම ගබඩා කරගත් අනාගතය ය .


✍ සටහන.. ගයාන් කහදමෝදර..

Leave A Reply

Your email address will not be published.