“කැලෑ උසාවිවලින් අපිව නවත්තන්න බැහැ”

- අනුර කුමාර දිසානායක

“මීට අවුරුද්දකට විතර කලින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමක දී බැසිල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරමින් “අධිකරණ ක්‍රියාවලිය හරහා මේ අයව කොටු කර ගන්න දරන ප්‍රයත්නය නිෂ්ඵලයි. ඒ නිසා අධිකරණයෙන් එළියේ ක්‍රියාදාමයක් ආරම්භ කරන්න ඕනෑ යැ”යි පවසා ඇති අතර එවැනි කැලෑ උසාවිවලින් අපේ ක්‍රියාකාරීත්වය නතර කළ නොහැකි” යැයි ජවිපෙ නායක අනුර දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ ය.

ඒ ‘ජනාධිපතිගේ කැකිල්ලේ කොමිසම මොකද කළේ ?’ යනුවෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැති සම්මන්ත්‍රණයේ දී ය. ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය’ විසින් එම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.
2020 ජනවාරි 29 දින පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිශ්චිත නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ක් පත් කර තිබේ.
මෙම සම්මන්ත්‍රණයේ  දී වැඩි දුරටත් සිය අදහස් පළ කළ ජවිපෙ නායක අනුර දිසානායක, “අධිකරණයක් තුළ අපිව කොටු කර ගැනීම සඳහා කුමන ප්‍රයත්න දැරුවත් නොහැකි බව ඔවුන් දන්නවා. ඒ නිසා අධිකරණ ක්‍රියාවලියෙන් එළියේ අපිව කොටු කරන රාමුවක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව ඒ රාමුවේ එකක්.
“2020 ජනවාරි මාසයේ පත් කළ කොමිසමේ කවුද උන්නේ ? ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙක් වූ උපාලි අබේරත්න මහතා මේ කොමිසමේ සභාපති. වික්ටර් අයිවන් මහත්මයාගේ ‘නොනිමි අරගලය’ කියන ග්‍රන්ථයේ ඔහු ගැන ලියැවිලා තිබෙන අතර, වාක්‍ය ඛණ්ඩ දෙකක් පමණක් මම උපුටා දක්වන්නම්. ‘දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව එල්ල වී තිබුණු චෝදනා පරීක්ෂා කිරීමට පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව’ ඉදිරියේ ජයසේකර නමැති මහත්මයකුගේ පැමිණිල්ලක් විභාග කරන්න අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් නියම කරනවා. මේ ජයසේකර මහත්මයාගේ බිරිඳ, පසුව අතින’ත ගත්තේ සරත් එන්. සිල්වා සමගයි. අපේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් තිබුණා නම්, ඒ විශ්වාසය කාබාසිනියා කිරීම සඳහා මැදිහත් වුණු වළල්ලක් තිබෙනවා.
“උපාලි අබේරත්න පිළිබඳව විමර්ශනය කරන්නත් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා. අමීර් ස්මයිල්, හෙක්ටර් යාපා, සහ සී. එදිරිසූරිය යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඒ කමිටුවේ සාමාජිකයන්. ‘දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව එල්ල වී තිබෙන සියලු‍ චෝදනාවලට ඔහු වරදකරු කළේ ය’ අපිව ප්‍රශ්න කරන්න උපාලි අබේරත්න කවුද? අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුන් සමන්විත කමිටුව ඔහු වරදකරු කර වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය විශ්‍රාම ගන්වා ඒ පිළිබඳව තහවුරු කළා. ඊට පස්සේ නැවතත් අභියාචනාධිකරණයකින් ඔහුව මොනරාගල දිසා විනිසුරු කර යවනවා. වික්ටර් අයිවන් මහත්තයා ඒ පොතේ අවසානයේ දී කියනවා, ‘මෙසේ නීතිපති සරත් එන්. සිල්වාගේ බලපෑම මත මෙම දූෂිත විනිසුරුවන් දෙදෙනා තව දුරටත් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළා’ කියලා. මේ කියන දූෂිත විනිසුරුවන් දෙදෙනා උපාලි අබේරත්න සහ ලෙනින් රත්නායක. අපිව ප්‍රශ්න කරන්න පත් කළ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා දූෂිතයෙක් බවට පොත් ලියැවුණා.
“කොමිසමේ සාමාජිකයකු හැටියට හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු පත් කර සිටියා. එතුමා වයසයි. එතුමාට දරුවෝ, දරුවන්ගෙත් දරුවෝ ඉන්න නිසා මම ගොඩක් දේවල් කියන්නේ නැහැ. හැබැයි එතුමාට එරෙහිව විගණන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ පරීක්ෂණය මොකක්ද කියලා හොයලා බලන්න. දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට තමන්ගේ සීයා කවර වර්ගයේ කෙනෙක්ද කියලා මේ පරීක්ෂණ වාර්තාවෙන් සොයා ගත හැකියි. හිටපු පොලිස්පතිවරයා නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ වැඩ කරපු කෙනෙක් කියලා සමහර අය වාර්තා කර තිබුණා. බැසිල් රාජපක්ෂගේ මල්වානේ නඩුව එනකොට, ගම්පහ අධිකරණයේ නඩුව එනකොට, ඉදිකට්ටයි, නූලයි වගේ පස්සෙන් ගිය කෙනා චන්ද්‍රා ප්‍රනාන්දු. මේ කොමිසමේ සාමාජිකයන් දූෂිතභාවයට ලක් වී සිටි කණ්ඩායමක්. මේ අය තමයි, අපිව ප්‍රශ්න කරන්න දාලා තිබුණේ. දැන් පොලිස් කොමිසමේ සභාපති හැටියට පත් කරලා.
“චෝදනා පත්‍ර ඉල්ලා අස් කර ගැනීම මඟින් එහි දැක්වෙන සියලු‍ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම’ දැන් අවුරුදු 03ක් විතර අධිකරණය අහන නඩුවක් ගැන දවස් දෙකක් ගත කරලා සියලු‍ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්න නිර්දේශ කරනවා. ඒ වගේම නඩු දාන්න මැදිහත් වුණු අය, ඒ ගැන පරීක්ෂා කළ එෆ්.සී.අයි.ඩී. හෝ සී.අයි.ඩී. නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යන අයට එරෙහිව චෝදනා ගොනු කර අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යවන්න කියලත් තියෙනවා. සියලු‍ වර්ගයේ මහා පරිමාණයේ අපරාධකරුවන්ට දඬුවම් කිරීමට අධිකරණයට හැකි වන්නේ නැහැ. ආණ්ඩුවක් ඇවිත් යන කොට කොමිසම් එකක් දාලා ඒ අපරාධකරුවන්ව නිදහස් කරනවා.
අධිකරණය ඉදිරියේ විභාග වෙමින් තිබෙන නඩුවක් ඉන් බාහිරව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසමකින්, එළියේ කොමිසමකින් ඉවත් කර ගැනීමට දෙනු ලබන තීරණය නීතිඥ සංගම්වලින් අනුමත කරනවා දැයි ඔහු විමසා සිටියේ ය.
පසුගිය ජනවාරි 29 දිනැති අංක 2212/53 දරන ගැසට් පත්‍රය මඟින් මෙම කොමිෂන් සභාව පිහිටුවා ඇත. මේ කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන පත් කර ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදිනී වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති. 1978 අංක 4 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 02 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මේ කොමිෂන් සභාව පිහිටුවන බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් ය. ගැසට් පත්‍රයට අනුව කොමිසමට පවරා ඇති වගකීම වන්නේ, 2020 ජනවාරියේ පත් කරනු ලැබූ ‘දේශපාලන පළිගැනීම් කොමිසමේ’ නිශ්චිත නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විමර්ශන සහ ඊට අදාළ දඬුවම් නිර්දේශ කිරීම වේ.

Leave A Reply

Your email address will not be published.