“අපේ රට ලෝකයේ ණයකාරයෝ බවට පත්කරල එදා මෙදා තුර පාලන බලය හිමිවු දේශපාලකයින් වගකිව යුතුයි”

නිදහසින් පසු රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත් කරල, මේ අපේ ලස්සන දිවයිනේ අද දිවයිනවල් කිහිපයක්ම තියෙනවා, රටේ ජනතාව බේදබින්න වෙලා, රටේ ජනතාව බේදබින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවු දේශපාලකයින් වගකිව යුතුබව 73වන නිදහස් දිනය වෙනුවෙන් කතෝලික දේව මෙහෙයට එක්වෙමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී අද (04) පෙරවරුවේ පැවති 73වන නිදහස් දිනය වෙනුවෙන් කතෝලික දේව මෙහෙයට සහබාගී වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේද පැවසීය.

“මේ රටේ පොදු ජනතාවගේ සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්නට උත්සහ කරන්නට අපට බැහැ. ගෙවුණු වසර 20ක 30ක කාලයක සිට මේ දේවල් විකිණීමේ තත්ත්වයකට අපේ රට පත්ව තිබෙනවා. අපට ඔරොත්තු නොදෙන අපට බැරි ආර්ථික ක්‍රම මේ රටට හඳුන්වා දෙන්නට ගිහිල්ලා මේ රට ලෝකයේ නොයෙකුත් රටවල්වල ණය කාරයෙක් බවට පත්කරලා. මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ අපේ රට පාලනය කළ නායකයෝ ගමන්කළ වැරැදි මාර්ග නිසා. මේ අපේ ලස්සන දිවයිනේ අද දිවයිනවල් කිහිපයක්ම තියෙනවා. එක එක භාෂා කථාකරන අයට වෙන වෙනම කොටස් තියෙනවා. මේ රට ජාතිය, ආගම, භාෂාව යන පදනම මත බෙදිලා ඉවරයි. මේ බෙදීම් ඇති කළේ අපේම නායකයෝයි.”

“පාස්කු කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට බාරදීලයි තියෙන්නෙ. අපි බලාපොරොත්තු වෙනවා රජය, කොමිසමේ නිර්දේශ රටට හෙළිකරයි, ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරයි කියල. එහෙම නැතුව ඒක රතු පලස යට හංගල වෙනදා වගේ අපේ නායකයෝ කටයුතු කලොත්, අපේ රටේ අපිට ජීවත්වෙන්නට බැරි පරිසරයක් ඇතිවෙයි”. යැයිද කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්පැවසීය.

Leave A Reply

Your email address will not be published.