කතුවරියගේ වෙනත් කෘතීන්වලට වඩා ඉවසිලිවන්ත කියවීමක් ඉල්ලා සිටින ‘බාණ කුසුම්’

බාණ කුසුම් කියන්නේ මල්සරාගේ හීය එහෙමත් නැත්නම් මල් හීය . මල්සරා ඉන්නවානම් අනිවාර්‍යයෙන් ප්‍රේම කතාවක් වෙන්න පුළුවන් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මටත් හිතුණා . මිනිස්සුන්ගේ ප්‍රේමය ගැන කියවන්න මම කැමතියි. ඔව් බාණ කුසුම් කෘතිය පුරාවට අපිට ප්‍රේම කරන මිනිස්සු මුණගැහෙනවා. ඒ එක පාරටම අපිට හිතෙන ගෑනු පිරිමි දෙපාර්ශවය විතරක් නොවෙයි. අපි දැකලා තියෙන ගොඩක් නිර්මාණවල, පින්තූරවල මල්සරා මල් හී සර විදින්නේ විෂම ලිංගිකයන් දෙදෙනෙක් එක් කරන්න. හැබැයි අපි වැඩිහිටි වෙනකොට අත්දැකීම්වලින් වයසින් පරිණත වෙනකොට තේරුම් යන්න ගන්නවා ඒ පින්තූර , නිර්මාණ අලංකාර කරන්න යොදා නොගත් සුළුතරයක් ඉන්නවා බහුතරයෙන් වැහිලා ගිය. ඔවුන් සුළුතරය වීම කියන එකේ තේරුම බහුතරයට දැනෙන හැඟීම් දැනීම් ඔවුන්ට දැනෙන්නේ නැහැ කියන එක නොවෙයි. නමුත් මේ සුළුතරය බහුතරයේම කොටසක් කියලා පිළිගන්න ශ්‍රී ලාංකික සමාජය ලෑස්තිද ?

මේ නවකතාව ලියවෙන්නේ යුග දෙකක් හරහා. එහි ප්‍රථම භාගය නිබ්බුතා නමැති සිත්තර පරම්පාරාවට අයිති තරුණිය වටා ගෙතෙනවා. 18 වැනි සියවසේ ජීවත්වන නිබ්බුතා ඉතාම ලස්සන අනුරාගී ගැහැනියක් . ගොවිගම කුලයට වඩා පහත් යැයි සැලකුණු ආචාරි කුලයට අයිති . ඔවුන්ගේ කුලය හීන කුලයක් කියා සලකපු ගොවිගම කුලයේ අයගෙන් ඈ නින්දා විඳින්නේ ගොවිගම කුලයට අයත් රන් බණ්ඩේ ඇගේ සැමියා වන නිසා. ඒ අතරේ දරුවන් නැති කමිනුත් ඈ නින්දා විඳිනවා. මේ තරුණිය ඉතාම සංවේදී ලිංගික ගැටලුවකින් පෙලෙන්නියක්. එය ඉතාම දුර්ලභ ගැටලුකාරී තත්ත්වයක්. එයින් ඇය මහත් සේ පීඩා විඳිනවා. ඒ හේතුව නිසාම ඇගේ විවාහ ජීවිතය බිඳ වැටෙනවා. ලංකාවේ නවකතාවක මේ වගේ ගැටළුවක් ගැන මම කියවන්නේ පළවෙනි වතාවට. මේක බහුතරයකට අදාළ ගැටලුකාරී තත්ත්වයක් නොවෙන්න පුළුවන්. ඒත් බහුතරය වගේ නොවුණා කියලා අපිට මේ සුළුතරය තලා පෙලන්න තියෙන අයිතිය බලපුළුවන්කාරකම බහුතරයට අයිති වීමද?
” යකැදුරන් කළ ශාන්තිකර්ම අවසානයේදී සියල්ල යහපත් අතට හැරී ඇතැයි මහත් බලාපොරොත්තු සහිතව රති සුව ලබන්නට ගොස් ඒ වෑයම නිෂ්ඵල බව දැනගත් විට , රන්බන්ඩේ හෙලන ඒ බලාපොරොත්තු කඩවීමේ බරැති දිගු සුසුම් අසනවාට වඩා මිය යෑම දාහකින් සම්පතක් යැයි නිබ්බුතාට නොයෙක්වර සිතී තිබිණි.

කල් යත්ම ඇයට දීගය හිසරදයක් බවට පත්විය. දරු සම්පත් ප්‍රමාද ඇයි දැයි අම්මා අසන විට ඇය නිහඬ වූවාය. රන් බණ්ඩේ ඒ ගැන කිසිවක් නොදෙඩූ නමුත් ඔහු නිතර නිතර ඒ ගැන කනස්සල්ලෙන් පසුවන බව ඇය දැන සිටියාය. ” ( පිටුව 45)
ඒ බිඳවැටීම ඇගේ සිතට ගෙන එන්නේ ශෝකයක් ඒ අතරෙදි තමයි ඇගේ ජීවිතයට පිටගම්කාරයා ඇතුල් වෙන්නේ. පිටගම්කාරයා කියනවා මිසක් ඔහුට නමක් නැහැ. හැබැයි ඈ ඔහුට ආශක්ත වෙනවා. සමහර වෙලාවට ගෑනු එහෙම තමයි. නොහිතන වෙලාවක නොහිතන කෙනෙක්ට ආකර්ෂණය වෙන අවස්ථා තියෙනවා. ගෑනු විතරක් නොවෙයි පිරිමිත් එහෙම තමයි.

සාහිත්‍ය ඇතුලේ වගේම ඉන් පිටතත් එහෙම පිරිමි ඉන්නකොට පිරිමි එහෙම තමයි කියලා හරිම පහසුවෙන් සාධාරණීකරණය වෙද්දී ඒ කතන්දරේම ඒ ආකාරයට කාන්තාවක් ගැන ලියවුනාම සමහර වෙලාවට ඒක දරා ගන්න අමාරුයි. ගොඩක් වෙලාවට ලාංකේය සාහිත්‍යයේ එන කතන්දරවල ඉන්න යහපත් ගැහැණු එහෙමත් නැත්නම් නියම ගැහැණුන්ට පුරුදු හෙළ කුල සිරිතට තමා හැරගිය සැමියා වෙනුවෙන් පවා පතිවත රැකගෙන සීතාවන් මෙන් අග්නි පූජාවට ලැහැස්ති වෙන හිමියනි මම ඔබ වෙනුවෙන් පමණි කියන ගැහැනු ගැන. කිංකර භාර්යාවන් ගැන . එහෙම කාන්තාවෝ ගැන ලියන එක වරදක් නැහැ. කොටසක් එහෙම කාන්තාවෝ ගැන ලියද්දි එහෙම නොවෙන අය ගැනත් ලියවෙන්න ඕනේ කියලයි මම හිතන්නේ. සාම්ප්‍රදායික රාමුවක තමන්ගේ සිතිවිලි සිර නොකරට තමන්ගෙම මතයක් අනන්‍යතාවයක් තියෙන ගෑනුත් නරක ගෑනු නොවෙයි. කොහොම වුණත් තමන්ගේ සිතැඟි අනුව කටයුතු කරපු කාන්තාවෝ ගැන ලියැවුණු නිර්මාණ අපි කියවලා තියෙනවා.හැබැයි ලේඛිකාවෝ එහෙම චරිත ගැන ලියපුවෙලාට ලේඛකයන්ට වඩා වැඩිපුර බැනුම් අහනවා. . විශේෂයෙන්ම ගෑනු කෙනෙක්ගේ නිර්මාණයක ඒ වගේ චරිතයක් කතාවේ වීරවරිය වුණොත් ටිකක් අවුල්. මෑතකදී බාණ කුසුම් නිර්දය ලෙස විවේචනයට ලක්වෙන්න ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. නිබ්බුතා තාන්යා බිම්සරා කවුරුත් සාම්ප්‍රදායික කොටුවක තමන්ව හිරකරන්න ඉඩදෙන්නේ නැතිව කඩාගෙන බිඳගෙන යන චරිත. හැබැයි එහෙම වුණා කියලා මේ කවුරුත් නරක මිනිස්සු නොවෙයි.

නිබ්බුතා ජීවිතය හොයනවා. තමන් මුහුණ පාලා ඉන්න ගැටලුව ගැන ඈට තියෙන්නේ දැඩි චිත්ත පීඩාවක් වගේම කුතුහලයක්. නිලමේගේ යෝජනාවට එකඟ වීම හරහා නිබ්බුතාව මම කියවන්නේ එහෙම. ඒ ගැන ඇගේ පස්චත්තාපයක් නැහැ..කොහොම නමුත් ඇගේ හිත ගත්තු පිරිමියා වෙන්නේ පිටගම්කාරයා. මේ ලෝකේ හරි විශාලයි. ඒ වගේම තමයි ගෑනු පිරිමි , ගෑනු ගෑනු, පිරිමි පිරිමි මේ හැමෝම එකිනෙකා සමග ඇති කරගන්න , ඔවුන් අතර ඇති වෙන බැඳීම් විවිධාකාරයි. ඒක පොඩි කොටුවක් ඇඳලා රාමුවක කොටු කරන්න බැහැ .

දකුණු ආසියානු සමාජයේ තාමත් පිරිමි කරන වැඩ ගැහැණු කරන වැඩ කියලා වැඩ දෙවර්ගයක් තියෙනවා. ඒක එහෙම නොවෙන තැනට ඒ කියන්නේ අද තියෙන තැනට එන්න සියවස් ගණනාවක් ගිහිල්ලා. ඒ සියවස් ගණනාවක් ගියත් සමාජය තවමත් තමන්ගේ වාසියට පහසුවට සමහර කොටු අස්සේ රාමුගත වෙන්න කැමතියි. ඉතිහාසයේ කර්මාන්තවල නියැලුණු ගැහැණු ගැන අපිට කියවන්න තියෙන්නේ හරිම අඩුවෙන්. මොන තරම් මතක් කරත් නමක් මතකෙට එන්නේ නැති තරම්. එතකොට ඒ කාලේ ගෑනුන්ට උරුම වෙලා තිබුණේ බිතු සිතුවම් වෙන්න විතරද? බිතු සිතුවම් අඳින්න බැරි වුණාද කියන එක මට හැමදාම තිබුණු ප්‍රශ්නයක්. බාණ කුසුම් ඒ මාතෘකාව නිබ්බුතා හරහා ඉතාම සංවේදී ආකාරයට පාඨකයාට කියනවා. නිබ්බුතා විශාල හදවතක් තියෙන ගැහැනියක්. සමහර ගෑනු මහා පොළොව වගේ. නම ගැන හිතන්නේ නැතිව ඈ තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න ලැබුණු අවස්ථාවෙන් තමන්ගේ දක්ෂතාවයන් විහාරගෙයි බිත්තිවල සිත්තම් කරනවා. ඒ වගේ චිත්‍ර අපි අදටත් දකිනවා ඇති. අයිතිකාරයෙක් නැති රජවරුන් විසින් අන්දවන ලදැයි කියන චිත්‍ර.. ප්‍රථම භාගය තව දිගට තව දිගට තිබුණා නම් හොඳයි කියලා හිතෙන පාඨකයාගේ බලාපොරොත්තු බිඳලා දෙවෙනි භාගයේ අපිට සම්මුඛ වෙන්නේ තාන්යා. පිටගම්කාරයා කවුද? තෙරුන්නාන්සේ කවුද ? නිබ්බුතා කොයින් මැණිකාගේ දුවට හොඳට සැලකුවද? නිළමේ ඊට පස්සෙන්පහුත් නිබ්බුතාව සැරින් සැරේ ගෙන්න ගත්තද? පාඨකයාට ප්‍රශ්න ගොඩක් ඉතුරු කරගෙන තමයි 18 වෙනි සියවසෙන් 21 වෙනි සියවසට එන්නේ. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතිව කතුවරිය සියවස් දෙකක සංසන්දනාත්මක සිත්තම් දෙකක් එකම තලයක ඇඳලා අපිට පෙන්නවා. ඉතිහාසය ගැන අපිට තියෙන හැම ප්‍රශ්නෙකටම උත්තර ලැබෙන්නේ නැහැ කියන එක සංඛේතාත්මකව ඉදිරිපත් කිරීමක් තමයි මේ සියවස් හරහා ඇවිද යාම. මේ සියවස් දෙක යා කරන පුරුක එහෙමත් නැත්නම් පාලම තමයි පිටගම්කාරයා නිබ්බුතාට ඉතිරි කරලා ගිය දැව ප්‍රතිමාව. දැව ප්‍රතිමාව යුග දෙක එකිනෙකට සම්බන්ධ කරන දැවැන්ත සංඛේතයක්.

දෙවෙනි භාගයේ අනුලා මැණිකෙලගේ පරම්පාරව වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු. බිම්සරා තාන්යා වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු වුණු පරම්පරාවක ගොදුරු වීමෙන් බේරෙන්න සටන්කරන ගැහැනු විදිහටයි මම දැක්කේ. තාන්යා පාඨකයාට ආයෙ ආයෙමත් නිබ්බුතාව මුණගස්සවනවා. නිබ්බුතාට වඩා තාන්යා වාසනාවන්ත වෙන්නේ 18 වෙනි සියවසේ ඇගේ පරම්පරාවෙම ගැහැනියක් ඉතාම බයකින් එළිදක්වපු සිතුවම්කරණයෙහි වූ නිසඟ හැකියාව 21 වන සියවසේදී අගනුවර සමාජය තුළ තාන්යා විසින් එලි දැක්වීමේදී තාන්යාට ලැබෙන පිළිගැනීම නිසා. නිබ්බුතාට තිබුණු සංවේදී ලිංගික ගැටලුවටම තාන්යාත් මුහුණ පාද්දී ඇයට ඒ ගැටලුව එක්ක ජීවිතය විඳින්න උදව් කරන්න ලෝකේ ගැන දැනුම් තේරුම් තියෙන යාළුවො මුණගැහෙනවා. අපි කැමතියි නව කතා ඇතුලේදී අපිට මුණගැහෙන චරිත ඊට වඩා හැපනින් වෙනවට. නිශ්චල දිය ගැඹුරුයි කියනවා වගේම ප්‍රශ්න මුකුත් නැහැ කියලා අපි හිතාගෙන ඉන්න මිනිස්සුන්ගේ ජීවිතවලත් අපිට තේරුම් ගන්න පුළුවන් සහ බැරි විදිහේ ප්‍රශ්න තියෙන්න පුළුවන් කියලා බාණ කුසුම් අපිට කියන්නේ හරිම සියුම් විදිහට. ඒ එක්කම යුග දෙකක සමාජ දේශපාලන සංස්කෘතික වෙනස්කම් ගැන වගේම සමානතා ගැනත් පුළුල් කතිකාවතක් මේ කෘතියෙහි එන චරිත සහ සිද්දි හරහා ගොඩනැගෙන්නේ ඉතාම ක්‍රමානුකූලව. අමිශ්‍ර ජාන ගැන පුරසාරම් දොඩන මිනිස්සු පිරිසක් අතරේ මිශ්‍ර ජාන හරහා සිදුවන සංස්කෘතික සමාජයීය සහ දේශපාලනමය පෝෂණය ගැනත් ඉඟි බොහොමයක් බාණ කුසුම් පාඨකයාට ලබාදෙනවා.

මම මුලින්ම සමලිංගික සම්බන්ධතාවයක් ගැන කියවන්නේ මීට අවුරුදු 12කට කලින් ඒ ශ්‍යාම් සෙල්වදොරෙයි ලියපු Funny Boy නව කතාවේ සිංහල පරිවර්තනය වන අමුතු ඉලන්දාරියා හරහා. එදා මට ඔවුන්ගේ සම්බන්ධතාවය ගැන ඇති වුණේ අපුලක්. ලෝකය දකිද්දී, ලෝකය ගැන කියවද්දී, අත්දැකීම්වලින් පරිණත වෙද්දී එදා ඒ ඇති වුණු අපුල ගැන මට තියෙන්නේ ලැජ්ජාවක්. ඔවුන් හැමෝටම තමන්ගේ සම්බන්ධතාවලදී බහුතරයට ලැබෙන නිදහසම ලැබෙනවා නම් මොන තරම් හොඳද? මේ ලෝකේ LGBTQ (වෙනස් ලිංගික දිශානතීන් සහිත ප්‍රජාව) ප්‍රජාව බහුතරය වෙලා විෂම රිසි ප්‍රජාව සුළුතරය වුණානම් සමහර විට එයාලටත් අපි ගැන එහෙම දැනෙන්න තිබුණා නේද?මිනිසෙක් යහපත් හෝ අයහපත් පුද්ගලයෙක් වෙන්න මිනිහෙක්ගේ ලිංගික දිශානතිය කොහෙත්ම වැදගත් නැහැ කියලා බාණ කුසුම් නව කතාවේ එන ඉවාන් ඩැනියල් පාඨකයාට නැවත නැවත මතක් කරනවා. LGBTQ ප්‍රජාවට අයත් වීම සමාජයෙන් ගැරහුම් ලබන්න කාරණාවක් හේතුවක් නොවිය යුතුයි කියන පණිවිඩය කතුවරිය දෙවන භාගය හරහා අපට කියනවා.

කතුවරියගේ අනිත් නවකතාවල වගේම මේ නවකතාවෙත් සුබෝධතාව( Lucidity ) ඒ කියන්නේ නිරවුල් සහ පැහැදිලි භාෂා භාවිතය ප්‍රශංසනීයයි. ඒ වගේම තමයි සංකේත භාවිතය. මහා නීල ගොයා , සඳ කිඳුරු ජාතකයේ සිතුවම්, සුදු වර්ණය වගේම ප්‍රතිමාව කෘතිය පුරා වරින්වර දක්නට ලැබෙන සංඛේතයන්ගෙන් කිහිපයක්. මහ නීල ගොයා හරහා නිබ්බුතා තුළ සරල ජීවිතයකට තිබුණු ලැදියාවත් පිළිබිඹු වෙද්දී සඳ කිඳුරු ජාතකය හරහා මම කියෙව්වේ ප්‍රේමයෙන් වෙළුණු යුවලක් කියන එකමත් නොවෙයි. කිඳුරන්ගෙන් පිළිඹිබු වෙන්නේ ශරීරයේ උඩු කොටස මිනිසුන් සහ යටි කොටස පක්ෂීන් ලෙස නිරූපණය වන මනඃකල්පිත ජීවින්. මේ ජාතක කතාව දන්නා ගොඩක් අය ඒ කතාවට කැමති වුණාට ඇත්තටම ඒ වගේ කිඳුරන්ව දැක්කොත් අපිට සඳ කිඳුරු ජාතකය භාරගන්නවා හා සමානව ඒ වෙනස් ජීවින්ව භාර ගන්න පුළුවන්ද ? නිබ්බුතා වගේම තාන්යාත් සඳ කිඳුරන්ට කැමතියි. ඒ හරහා මේ ගැහැණුන්ට ඕනෑම කෙනෙකුව මනුෂ්‍යයෙකු සේ භාරගැනීමට ඇති හැකියාව පිළිඹිබු කරනවා. කොයින් මැණිකාගේ මරණින් පසු නිබ්බුතා ඇගේ දියණියව තමන්ගේ දියණියක් සේ බලා කියා ගැනීම වගේම තාන්යාට තමාවත් අනුන්වත් එකසේ පිළිගැනීමට හැකි වීම සඳ කිඳුරන් කෙරෙහි ඔවුන්ගේ ඇති ලැදියාව තුළ පිළිඹිබු වෙනවා. මිනිසා විසින් ප්‍රේම කළ යුත්තේ තෝරාගත් කොටසකට පමණක් නොව මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටමය. කතුවරියගේ සංකල්පරූප භාවිතයත් ඉතාම ඉහළයි . ඒ හරහා පාඨක මනස තුළ සිතුවම් කරන වාග් චිත්‍රය පාඨකයාව නිර්මාණය කෙරෙහි රඳවා තබාගන්නට සමත් වෙනවා.
“බැලූ බැල්මට ඒ රූපයට තිබුණේ රෝම රජෙකුගේ හරි ග්‍රීක දෙවියෙකුගේ හරි පෙනුමක්. දකුණු කකුල මත වම කකුල දමාගෙන දකුණු අත දණ මත තබාගෙන වාඩි වූ ඉරියව්වකින් ඉන්න ඒ රූපයේ හිස වම්පසට හැරිලා.” (පිටුව 157)

කෘතියෙහි ප්‍රථම භාගය සහ දෙවන භාගය යන කොටස්දෙකම ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ( omniscient central intelligence ) ඉදිරිපත් කිරීම හරහා නවකතාවේ විශ්වාසනීයත්වය රැකගැනීමට කතුවරිය සමත් වී ඇති අතර නව කතාවේ එන චරිතයන් පිළිබඳ වඩාත් සවිස්තරාත්මක කියවීමකට පිවිසීම සඳහා ඇය ( allusion) තුල්‍යයෝගයන් භාවිතා කර තිබෙනවා. ( උදාහරණ ලස්සන වසිලිස්සා , ඉවාන් කුමාරයා, රතු හැට්ටකාරී, වෘකයා.. )
කත්‍යානා අමරසිංහ කියන ලේඛිකාව මම දකින්නේ එකිනෙකට එකක් වෙනස් ශෛලියකින් නිර්මාණකරණයේ යෙදින්නියක් විදිහට. . නිලි වැස්සට වඩා වෙනස්ම ආකාරයේ කතාවක් ඈ වණ්නදාසි හරහා අරගෙන එනවා. ඒ දෙකටම වඩා වෙනස්ම නව කතාවක් තමයි ධරණි . ඒ තුනටම වඩා වෙනස් කතාවක් බාණ කුසුම්. ලේඛිකාවකගේ හෝ ලේඛකයෙකුගේ නිර්මාණවලට මාව ඇබ්බැහිකරන ප්‍රධානම සාධකයක් තමයි අසීමිත නිර්මාණශීලිත්වය. රාමුවකට කොටු නොවීම. පුළුල් මනසකින් ලෝකය දැකීම. සාහිත්‍ය ලෝකයේ මම කැමතිම ලේඛක ලේඛිකාවන් අතරේ කත්‍යානා අමරසිංහට ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ ඇගේ නිර්මාණවල තියෙන මේ නිර්මානශීලිත්වය සහ නිර්භීතබව නිසාමයි කියන්නත් මම කැමතියි.
කතුවරියගේ වෙනත් කෘතීන්වලට වඩා ඉවසිලිවන්ත කියවීමක් ඉල්ලා සිටින බාණ කුසුම් කැමති නම් එක හුස්මට කියවලා ඉවර කරන්නත් පුළුවන්. එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන් කෘතීන් හෙමින් හෙමින් කියවද්දී මග ඇරෙන්න පුළුවන් ලස්සන තැන් මග ඇරෙන්න නොදී සවිස්තරාත්මක කියවීමකට ගෙනියනවා කියන එක කියන්නේ නම් අත්දැකීමෙන්.

-කාංචනා ප්‍රියකාන්ත(fb)

Leave A Reply

Your email address will not be published.