“ඔබව සිප ගැනීමට හැකියාවක් නොමැති වීම පිලිබඳ ලතැවෙමි”

වසංගත රෝ බිය ක්‍රම ක්‍රමයෙන් වේදනාවේ උල්පතක් බවට පෙරළමින් ගයාන් දන්තනාරායන නම් අතිශය ජන ප්‍රසාදයට ලක් වූ තරුණ වෛද්‍යවරයා ද මෙලොව හැරගියේ ය. තවත් ආලෝකමත් තාරකාවක් ජීවිතය කුමක්ද හරිහැටි දකින්නටත් පෙර වයසක දී ආලෝකය නිවා දමා මුහුදේ සැඟව ගිය පුවත පසු ගිය හෝරා කිහිපය ම සංවේගයේ ගිල්වා තැබීමට සමත් විය.
මෙයට වසරකට පමණ පෙර අප අතරින් සමුගත් ගයාන් ඉන්දුල කොඩිතුවක්කු නම් තරුණ කවියා වෙනුවෙන් මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ලියූ කවිය යළි යළිත් කියවන මම එහි අවසාන භාගය වෛද්‍ය ගයාන් දන්තනාරායන වෙනුවෙන් ප්‍රතිරාව නැංවිය නොහැකිදැයි කල්පනා කරමි. මන්ද යත් ඔහු ද වචනයේ පරිසමාප්ත අරුතින් ම සුර දූතයෙක් වූ බැවිනි. සුර දූත ජීවිතයක් ගත කර සුර දූතයෙක් ලෙස නික්ම ගිය බැවිනි.
දරා හිඳ දරා හිඳ
සුරදූතයෙක් නික්මුණි
අතුරා මටසිළිටි සිහින
රළු මහපොළොව මතු පිට
කිරිකැටි දරුවන් තුරුළු කර හද පත්ලෙන් හිනැහෙන ප්‍රසන්න පෙනුමැති තරුණයාගේ සේයාරුව සමඟ හුවමාරු වන අතිශය කණගාටුදායක පුවත සීතල හිමිදිරියක පවා ඔබගේ නෙතට කඳුළු ගෙනෙන්නට සමත් විය හැකි ය. ප්‍රියංකා කහවණුගොඩ විසින් ‘රිදී තරු වියන යට’ යන නමින් සිංහලට නැගූ The Wind is Silver ළමා කතාවේ ජෙනිෆර්, සඳ එළිය ගලන රැයක දිග අගල සමීපයේ කණුවක් උඩ වාඩි වී කල්පනා කළ කාරණය සිහියට නැගේ.
‘මට පර්පල්ගෙ සීනි කූරු තුන අඬන එක නතර කරන්න පුළුවන් වුණා. එයාලට නැති වුණේ නත්තල් පුඩිම විතරයි. මට මගේ මුළු අනාගතයම නැති වුණා.’
ළමා ළපටි ජීවිත බේරාගන්නට නම් දරා සිටි තරුණ වෛද්‍යවරයා අහම්බයෙන් හෝ මේ පොත කියවා තිබේදැයි අසන්නට දැන් මා ප්‍රමාද වැඩි බව දනිමි. එබැවින් ගයාන් දන්තනාරායනගේ ඡායාරූපයේ අව්‍යාජ සිනහව දකිමින් ම ජෙනිෆර්ගේ ඒ වචන සිහියට නගමි. අන්ධකාරය සහ හිස්බව ! කඳුළු නොතකා ඔබ තරයේ වැළඳගනු ඇත.
අවසාන වශයෙන් ගයාන් දන්තනාරායනටත් , මේ ලෝකය වඩාත් යහපත් තැනක් කරනු පිණිස වෙහෙස වන සහ ජීවිත පරිත්‍යාගයෙන් කැප වන සුවහසක් ආදරණීය මිනිසුන් වෙනුවෙන් ආදරය ද ගෞරවය ද පුදන්නට ද මෙය අවස්ථාවක් කර ගනිමි. ගයාන් මෙන් ම විශාල හිස්තැනක් ඉතිරි කර හදිසියේ අතුරුදන් වූ එවන් උදාර සුරදූතයින් වෙනුවෙන් V for Vandetta චිත්‍රපටයේ ‘වැලරි’ නම් සිරකාරිය මිය යන්නට ප්‍රථමව රහසිගතව ලියා තබා සිරකුටිය තුළ සැඟවූ ලිපියේ අවසාන ඡේදය උපුටා පල කරමි.
‘මම ඔබේ නම නොදනිමි. අඩුම තරමේ ඔබ ගැහැණියෙක් ද පිරිමියෙක් ද කියා හෝ නොදනිමි. ඔබේ මුහුණ දැක ගැනීමට මෙන් ම ඔබත් සමඟ එක් වී කඳුළු සැලීමට හෝ බීම වීදුරුවක් තොල ගාමින් ඔබ හා දොඩමලු වීමට මට කිසිදා අවකාශයක් නොලැබෙනු ඇත. නමුත් මම ඔබට ආදරය කරමි. මෙම අපායෙන් ගැලවීමට ඔබට හැකියාව ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. කෙදිනක හෝ ලෝකය මීට වඩා යහපත් ස්ථානයක් වනු ඇති බවත් එදිනට අර කියූ රෝස මල් වල සුවඳ විඳීමට ඔබ සැමට හැකියාව ලැබෙනු ඇති බවත් මම උදක්ම බලාපොරොත්තු වෙමි. ඔබව සිප ගැනීමට හැකියාවක් නොමැති වීම පිලිබඳ ලතැවෙමි’
-සහන් කසීර වික්‍රමසිංහ (fb)

Leave A Reply

Your email address will not be published.