මැද පෙරදිග උණුසුම් කළ ඉරාන ඉන්ධන නෞකාව

16

ඉරානයට අයත් ඉන්ධන නෞකාවක් නීතිවිරෝධී ලෙස ග්‍රහණයට ගෙන සිටින බවට පැමිණිලි කිරීම සඳහා ඉරාන රජය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඊට හේතුව වී ඇත්තේ යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංඝණය කරමින් සිරියාව වෙත යාත්‍රා කරමින් පැවති බවට ලැබී තිබූ තොරතුරු මත අදාළ ඉන්ධන නෞකාව ග්‍රහණයට ගැනීම සඳහා ජිබ්‍රාල්ටර් දූපත්හි (Gibraltar) බලධාරීන්ට සහය වී ඇත්තේ, බ්‍රිතාන්‍ය රාජකීය මරීන් භටයින් වීමයි.

ස්පාඤ්ඤයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, ග්‍රේස් 1 (Grace 1) නමැති අදාළ නෞකාව ඇමෙරිකාවේ ඉල්ලීම මත රඳවා ගත් බවය. මේ අතර, ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, මෙම ක්‍රියාව “එක්තරා ආකාරයක මුහුදු කොල්ලයක්” බවය.

ජිබ්‍රාල්ටර් වරාය සහ නීති බලගැන්වීමේ ආයතන මගින් අදාළ සුවිසල් නෞකාව සිය ග්‍රහණයට ගනු ලැබුවේ, බ්‍රහස්පතින්දා (ජූලි 04) පෙරවරුවේය. විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට ජිබ්‍රල්ටාර් ආණ්ඩුවේ ඉල්ලීම මත, අදාළ නෞකාව ග්‍රහණයට ගැනීම සඳහා සහය වීමට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා මරීන් බලකායේ ෆොර්-ටූ කමාන්ඩෝ (42 Commando) ඒකකයේ භටයින් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එක්සත් රාජධානියෙන් පිටත් කර හැර තිබේ.

පළමු මරීන් භට කණ්ඩායම පැනමා ධජය සහිත අදාළ නෞකාවට ගොඩ බැස ඇත්තේ හෙලිකොප්ටර් යානයක සිට කඹයක ආධාරයෙනි. සෙසු භටයින් අධිවේගී යාත්‍රාවලින් නෞකාව වෙත ළඟා වී තිබිණි. මෙහිදී කිසිදු වෙඩි තැබීමක් සිදුවී නොමැත. ආරක්ෂක ආරංචි මාර්ග පවසන්නේ, මෙය බරපතල සිද්ධියකින් තොර “සාපේක්ෂව නිරුපද්‍රිත මෙහෙයුමක්” බවය.

පසුගිය සති කිහිපය පුරාම මැදපෙරදික මුහුදු කලාපය තුළ උණුසුම් තත්ත්වයක් වර්ධනය වූ අතර මැද පෙරදිග මුහුදු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් යයි කියමින් අතිරේක භටයින් 1000ක් පිටත් කර හැරීමට ඇමෙරිකාව පියවර ගත්තේය.

BBC

Previous articleමරණීය දණ්ඩනය කල් දාන්න අධිකරණයෙන් නියෝගයක්
Next articleමාධ්‍ය අයිතිකාරයෝ කැමතියි සේවකයෝ වන අපිත් ජනතාවත් මෝඩයෝ වගේ තියගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here