අභාවයට යන ශ්‍රී ලංකාවේ පැරණි පොත් වෙළෙඳාම..!

“මෙතනින් ඕනෑම පොතක් හොයාගන්න පුළුවන්”

“ඉස්සර නම් මේ ව්‍යාපාරය නැගල ගියා. දැන් නම් ඉතින් බිස්නස් අඩුයි, මොකද මිනිස්සු ෆෝන් ඔබ ඔබ අන්තර්ජාලයෙයි ෆේස්බුක් එකෙයි වැඩිපුර ඉන්න නිසා.”

ඒ පීටර් අප්පුහාමිගේ හඬය.

73 හැවිරිදි ඔහු අඩ සියවසක්ම සිය ජීවිකාව කරගත්තේ පැරණි පොත් වෙළඳාමය.

පරණ පොත් ගැන කථා කරන විට බොහෝදෙනාට මතක් වෙන කොළඹ ඩීආර් විජේවර්ධන මාවතේ පොත් සාප්පු පෙළේ ජ්‍යෙෂ්ඨයා ලෙස පීටර් අප්පුහාමි හැඳින්විය හැකිය.

“ඒ කාලේ මේ ෆෝන් නැහැ, ඉන්ටර්නෙට් නැහැ, රුපවාහිනී නැහැ. මිනිස්සුන්ගේ තිබුණු එකම විනෝදාංශය චිත්‍රපට බලන එකයි, පොත් කියවන එකයි,” කොළඹ පැරණි පොත් වෙළඳාමේ ආරම්භය ගැන බීබීසි සිංහල සේවය සමග තම මතකය අවදි කරමින් පීටර් අප්පුහාමි පැවසීය.

“ඒ දවස්වල හිටිය දෙමළ සංචාරක වෙළෙන්දෝ. එයාල බයිසිකල් වලින් බංගලාවලට යනවා, පරණ පොත් ගන්නවා. ඊට පස්සේ තව පොත් දෙනවා කියවන්න. මේක බලන් හිටපු අපේ මාමා මේක එකතැන කරන්න ඕනේ කියලා මරදාන ස්ටේෂම ඉස්සරහ පරණ පොත් වෙළඳාම පටන් ගත්තා.”
1960 දශකයේ පැරණි පොත් විකිණීමට පීටර් අප්පුහාමි සම්බන්ධ වූයේ සිය මාමාට උපකාර වීමටය. එවකට ඔහු අවුරදු 18ක තරුණයෙකි.

“රාත්තලට සත 15ක් වගේ පරණ පොත් අරගෙන අපි පොතක් සත 35යි, සත 50යි, රුපියලයි, දෙකයි කියලා විකුණනවා.”

පීටර් අප්පුහාමි ඇතුළු මෙම පොත් වෙළෙන්දන් ඒ අවධියේ මුහුණ දුන් ප්‍රධානම ප්‍රශ්නයක් වූයේ බහුතරයක් ඉංග්‍රීසි භාෂාවෙන් තිබු පොත් හඳුනාගැනීමට සහ ඒවායේ මිල තීරණය කිරීමට ඔවුන්ට දැනුමක් නොමැති වීමය.

“අපි මුලින්ම ඔක්කොම එකට දාලා විකුණනවා. විකුණන කොට වැඩියෙන්ම විකිණෙන පොත බලලා ඒවා පැත්තක තියලා, පස්සේ ඒවා වැඩි ගාණකට දෙනවා රුපියලකට වගේ,” පොත්වල මිල නියම කිරීම ඒ දිනවල සිදුකළ ආකාරය පීටර් අප්පුහාමි පැවසුවේ මුවේ සිනහවක් ද සමගිනි.

විවිධ ස්ථානවල මෙම පොත් වෙළෙඳාම සිදුකළ මෙම පිරිසට කොළඹ ඩීආර් විජේවර්ධන මාවතට පැමිණීමට සිදුවූයේ 1976 නොබැඳි සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම හේතුවෙනි.

“අපිව සමුළුව නිසා එතනින් අයින් කරලා, මේ ඩීආර් විජේවර්ධන මාවතට ගෙනල්ලා දැම්මා. මුලදී අකමැති වුනත් පස්සේ කට්ටිය මෙතනට පුරුදු වුනා. මෙතන තිබුණු අනිත් කඩත් ඒගොල්ලන්ගේ ව්‍යාපාර නවත්තල දාලා පොත් වෙළඳාමට එක්වුණා, ඊට පස්සේ මෙතන නිකන්ම පොත් බසාර් එක්ක ඇතිවුනා,” ඔහු විස්තර කළේය.

“මෙතනින් ඕනෑම පොතක් හොයාගන්න පුළුවන්. සිංහල වගේම ඉංග්‍රීසි පොත් තියෙනවා, නවකතා ඉඳලා ඉගෙන ගන්න අවශ්‍ය ඕනෑම පොතක් මෙතනින් හොයා ගන්න පුළුවන්,” ඔහු කියා සිටියේ තම පොත් 50,000ක පමණ ඇති පොත් රාක්ක පෙන්වමිනි.

දැනට වෙළඳපොලේ සොයා ගැනීමට අසීරු දුර්ලභ පොත්පත් මෙම ව්‍යාපාරිකයන් සතුය. සාමාන්‍ය පොත් අඩු මිලට ලබාදුන්නත් එවැනි දුර්ලභ පොත් සඳහා ඔවුහු වැඩි මුදලක් අය කරති.

“මේ පොත Birds in Sri Lanka ලංකාවේ කුරුල්ලන් ගැන පොතක්, මේකේ පළමු මුද්‍රණය රුපියල් 50,000ක් විතර වටිනවා, මේ තියෙන පොත දෙවැනි මුද්‍රණය මේක අපි විකුණන්නේ රුපියල් 25,000 කට” තමන් සතුව ඇති වටිනාම පොතක් පෙන්වමින් ඔහු පැවසීය.

“මේ පොත බුද්ධාගම ගැන සිංහලෙන් ලියැවුණු අවුරදු 100කට වඩා පරණ පොතක්, මේක අපි රුපියල් 10,000කට මිල නියම කරලා තියෙනවා.”

විදේශිකයන් මෙන්ම පොත් එකතුකරන පිරිස් මෙවැනි මිල අධික පොත් මිලදී ගන්නා බව ඔහු පැවසීය.

පොත් විකිණීමට අමතරව අතීතයේ සිටම මෙම පොත් සාප්පු මගින් කුලියට ද පොත් නිකුත් කරයි.

“මේක ලොකු ලාභදායක ව්‍යාපාරයක් නෙවෙයි. හැබැයි හොඳින් කාල බීලා සතුටින් ඉන්න පුළුවන් ආදායමක් ලැබෙනවා. ලොකුම සතුට තමයි උගත් බුද්ධිමත් මිනුස්සු ආශ්‍රය කරන්න හම්බවෙනවා. මොකද පොත් කියවන්නේ උගත් අයනේ.”

පීටර් අප්පුහාමිට පොත්පත් ගැන ඇත්තේ අසීමිත දැනුමකි. පොතක් නිසි ලෙස කියවීමට පවා නොහැකිව මෙම ව්‍යාපරයට සම්බන්ධ වූ ඔහු අද ඉංග්‍රීසි – සිංහල පැරණි පොත් රැසක් කියවා දැනුමෙන් සන්නද්ධ වූවෙකි.

“මම ඉංග්‍රීසි ඉගෙන ගත්තෙත් මෙතන තියෙන පොතපත කියවලා. අද මට හොඳට ඉංග්‍රීසි කියවන්නත් ලියන්නත් පුළුවන්.”

“මම අපේ තරුණ ළමයින්ටත් කියන්නේ කියවන්න ශේක්ෂ්පියර්ගේ පොත්. ඒවගේම ලෝක නායකයන්ගේ ජිවිත කතා; ගාන්ධිගේ, චර්චිල්ගේ ඒවායෙන් ජීවිතය ගොඩගන්න ගොඩක් දේවල් ගන්න පුළුවන්. නමුත් දැන් වෙලා තියන්නේ ළමයි ෆෝන් ඔබ ඔබා ඉන්නවා මිසක් මේ දේවල් කියවන්නේ නැහැ.”

තාක්ෂණයේ දියුණුවත් සමග තම පරණ පොත් විකිණීමේ ව්‍යාපාරයේ ගණුදෙනුකරුවන් අඩුවී තිබෙන බව පවසන පීටර් අප්පුහාමි කෙසේ වෙතත් තවමත් සැළකිය යුතු පළපුරුදු ගනුදෙනුකරුවන් පොත් සොයා පැමිණෙන බව ද පවසයි.

අතීතයේදී පොත්වලට තිබු දැඩි ඉල්ලුම හේතුවෙන් මෙම පොත් සාප්පු රාත්‍රී 9.30 දක්වා විවෘතකර තිබුණත් දැන් ඒවා රාත්‍රී 7 වන විට වසා දමන්නේ පොත්වලට ඇති ඉල්ලුම එන්න එන්න අඩුවීමත් සමගය.

“ඒ කාලේ අද වගේ නෙවෙයි මිනිස්‌සු කියවීමට පුදුම උනන්දුවක්‌ තිබුණේ. රාත්‍රියේ වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. නමුත් දැන් කරන්න දේවල් වැඩි නිසා පොත් කියවන්න උනන්දු නැහැ. ගොඩක් අයට ඉස්සර ඉංග්‍රීසි පවා ඉගෙන ගත්තේ අපේ පොත් කියවලා,” පීටර් අප්පුහාමි කණසල්ලෙන් කියා සිටියේය.

වසර 50ක් පමණ නිරතව සිටි මේ වෙළෙඳාමෙන් විශ්‍රාම යාමට දැන් පීටර් අප්පුහාමි සූදානම් වේ. ඔහුගේ නෑදෑ පුත්‍රයකු ඔහුගෙන් පසු ව්‍යාපාරය කරගෙන යාම සඳහා පුරුදු පුහුණු කිරීම ඔහු මේ දිනවල සිදුකරයි.

“මගේ ළමයිනුත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මෙතන එන ආදායම මදි කියලා,” වසර 50ක කාලයක් පවත්වාගෙන ගිය සිය ව්‍යාපාරය ඉදිරියට යනු දැකීම සිය කැමත්ත බව ද ඔහු සිනාසෙමින් කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.