මියන්මාරය යළිත් හමුදා පාලනය පටන් ගනියි

හමුදාපති මින් අවුන්ග් හේලින්ග්

මියන්මාර හමුදාව අද (01) උදැසන අවුන් සාන් සූ කී අත්අඩංගුවට ගැනීමෙන් පසුව කියා  සිටියේ තම අණ දෙන නිලධාරී මින් අවුන්ග් හේලින්ග්ට බලය පැවරූ බවයි. මියන්මාර හමුදා සොල්දාදුවෝ ගිනි අවි අතැතිව එරට අගනුවර වන නයි පයි තව් සහ ප්‍රධාන නගරය වන යැන්ගොන්හි වීදිවල ආරක්ෂක කටයුතු වල නිරතව සිටිති. සූ කී අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසු හමුදාවට අයත් රුපවාහිනී නාලිකාවක් මගින් වසරක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව නිවේදනය කර තිබේ.

2011 දී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ආරම්භ වන තෙක් බුරුමය ලෙස හැඳින්වූ මියන්මාරය වරින් වර දිගු කලක් පුරා හමුදාව විසින් පාලනය කරන ලදී.

පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණයේදී, සූ කී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන ගණනක් දිනාගෙන තිබුණි. එහෙත් හමුදාව පවසන්නේ එම ඡන්දය සහ ප්‍රතිඵලය වංචනික බවයි. එනිසා, අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සඳුදා පළමු වරට රැස්වීමට නියමිතව තිබුණද හමුදාව එය කල්දැමීමට ඉල්ලා සිටියේය.

සූ කී ගේ ආණ්ඩුව පිළිබඳ ජනමත විචාරණයක් ලෙස බොහෝ දෙනා දුටු නොවැම්බර් 8 මැතිවරණයෙන් NLD ය ආසනවලින් 83% ක් දිනා ගත්තේය. සූ කී ගේ පක්ෂය එරට ආසන 476 න් 396 ක් දිනාගත්තේය. එය 2011 මිලිටරි පාලනය අවසන් වීමෙන් පසු පැවත් වූ දෙවන මැතිවරණය යි. එම මැතිවරණයේදී රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම නිසා අවුන් සාන් සූ කීගේ පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කරනු ඇතැයි පූර්ව විශ්වාසයක් විය. එහෙත් එහි ප්‍රතිඵලය හමුදාව විසින් ප්‍රශ්න කළ අතර, ජනාධිපතිවරයාට සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර තිබුණි. මැතිවරණ කොමිසම එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත් මෑතකදී සිදු වූ වංචා සම්බන්ධයෙන් ‘පියවර ගන්නා’ බවට නොවැම්බරයේ සිට  හමුදාව තර්ජනය කිරීමෙන් පසුව කුමන්ත්‍රණයක් පිළිබඳ භීතිය රටතුළ ඇතිවිය.

ජනාධිපති වින් මයින්ට්

NLD ප්‍රකාශක මයෝ නියුන්ට් විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේ සු කී, ජනාධිපති වින් මයින්ට් සහ අනෙකුත් නායකයින් උදේ පාන්දර හමුදා කාණ්ඩයන් විසින් “රැගෙන” ගොස් ඇති බවයි.

“මට අපේ ජනතාවට කියන්න ඕනෑ මිට එරෙහිව ඉක්මන් ප්‍රතිචාර දක්වන්න එපා. ඔවුන් නීතියට අනුව කටයුතු කරනවාට මම කැමතියි” යනුවෙන් ඔහු පවසා තිබේ. ඔහුගේ අදහස වූයේ  තවදුරටත් ‘රඳවා තබා ගැනීම්’ තමන් අපේක්ෂා කරන බවයි. අද උදෑසන එක්වරම හමුදා සොල්දාදුවන් කලාප කිහිපයක මහඇමතිවරුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් රැගෙන ගිය බව අදාළ අයගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.

සූ කී වැනි දේශපාලන නායකයින් රඳවා තබා ගැනීම ප්‍රකෝපකාරී හා ඉතා අවදානම් සහගත පියවරක් වන අතර එයට දැඩි ලෙස විරුද්ධ විය හැකි බව එහි සිටින BBC වාර්තාකරු පවසයි.

“දශක ගණනාවක් තිස්සේ මියන්මාරය පාලනය කළ මිලිටරි ජුන්ටාව කිසි විටෙකත් බලයෙන් ඉවත් වූයේ නැත” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් හි ජෝන් සිෆ්ටන් උද්ගතව ඇති තත්වය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත. “ඔවුන් කිසි විටෙකත් සිවිල් අධිකාරියට මුලින් ම යටත් නොවීය. එබැවින් අද සිදුවීම් කිසියම් අර්ථයකින් හුදෙක් දැනටමත් පවතින දේශපාලන යථාර්ථයක් හෙළි කරයි.” යනුවෙන් ජෝන් සිෆ්ටන් වැඩිදුරටත් සඳහන් කරයි.

“ දැන් මියන්මාරයේ දොරටු විවෘතව ඇත්තේ වෙනස් අනාගතයකට. ඊළඟට එන දේ පාලනය කිරීමට කිසිවෙකුට සැබවින්ම නොහැකි වනු ඇතැයි මට හැඟේ. මියන්මාරයේ ආයුධවලින් සැරිසැරූ, වාර්ගික හා ආගමික වශයෙන් ගැඹුරු බෙදීම් ඇති, මිලියන ගණනකට යන්තම් පෝෂණය කළ හැකි රටක් බව මතක තබා ගන්න” යනුවෙන්  යැන්ගොන් වාසී මියන්මාර හි ඉතිහාසඥ යෙකු හා කතුවරයකු වන තන්ට් මයින්ට් – යූ BBC කළ විමසීමකදී පවසා ඇත.

මේ වන විටත් ප්‍රධාන නගරවල ජංගම අන්තර්ජාල දත්ත සම්බන්ධතා සහ සමහර දුරකථන සේවාවන් බිඳ වැටි තිබේ. රාජ්‍ය රුපවාහිනී විකාශය වන MRTV ආයතනය පවසන්නේ එහි තාක්ෂණික ගැටලු ඇති බවත් එය දැනට අක්‍රිය බවත් ය.

නයි පයි තව් අගනුවර සමඟ බාහිර සන්නිවේදනය අඩුවී ඇති අතර එහි තත්වය තක්සේරු කිරීම දුෂ්කර බවයි විදෙස් පුවත් ඒජන්සි පවසන්නේ. රටේ විශාලතම නගරය සහ පැරණි අගනුවර වන යැන්ගොන් හි දුරකථන මාර්ග සහ අන්තර්ජාලය සීමාවී ඇති බවත්  බොහෝ සන්නිවේදන සැපයුම්කරුවන් ඔවුන්ගේ සේවාවන් කපා හැර තිබෙන බවත් වාර්තා වේ.

මේ ඇතිව තිබෙන තත්වය මත ඉදිරි දිනවලදී මුදල් අර්බුදයක් අපේක්ෂා කරමින් යැන්ගොන් හි පදිංචිකරුවන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමට ඉක්මන් වන බව පැවසේ. තදබදය හේතුවෙන් සමහර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර දැනටමත් ක්‍රියාත්මක නොවන බව පෙනෙන්නට ඇති අතර බැංකු විවෘතව පවතීද යන්න අපැහැදිලි බවයි වාර්තා වන්නේ.

අවුන් සාන් සූ කී

අවුන් සාන් සූ කී යනු මියන්මාරයේ නිදහස් වීරයා වන ජෙනරාල් අවුන් සාන්ගේ දියණියයි. 1948 දී මියන්මාරය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලැබීමට මොහොතකට පෙර ජෙනරාල් අවුන් සාන් ඝාතනය කළේ ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු දෙකකි. සූ කී කලෙක මානව හිමිකම් සඳහා ආලෝකයක් ලෙස සලකනු ලැබීය. එකළ ලෝකයා අය හැඳින්වුයේ දශක ගණනාවක් තිස්සේ මියන්මාරය පාලනය කළ කුරිරු හමුදා ජෙනරාල්වරුන්ට අභියෝග කිරීමට තම නිදහස අතහැර දැමූ ප්‍රතිපත්තිගරුක ක්‍රියාකාරිනියක ලෙසිනි.

1991 දී ඇය නිවාස අඩස්සියේ සිටියදී නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලද අතර, එහිදී ඇයව හඳුන්වන ලද්දේ ‘බල රහිතයන්ගේ බලය පිළිබඳ විශිෂ්ට උදාහරණයක්’ ලෙසයි. සූ කී 1989 සිට 2010 දක්වා වසර 15 කට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ ගත කළාය. වසර 25 ක් තිස්සේ මියන්මාරයේ නිදහස් පළමු මැතිවරණයෙන් 2015 නොවැම්බරයේදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා සූ කි මෙහෙයවූවාය. එහෙත් මියන්මාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇයට ජනාධිපති වීම තහනම් කර ඇත. ඒ ඈ විදේශීය ජාතිකයෙකු හා විවාහ වී දරුවන් සිටින බැවිනි. එහෙත්  75 හැවිරිදි වියේ පසුවන සූ කී එරට නායකයා ලෙසයි පිලිබනු ලැබුවේ.

කෙසේ වෙතත් සිය රටේ ජිවත් වූ මුස්ලිම් රෝහින්ග්‍යා සුළුතරයට සැලකීම නිසා අවුන් සාන් සූ කි මිනිස් අයිතිවාසිකම් ගරුකරන බොහෝ දෙනාගේ විවේචනයට බඳුන් වූවය.

රෝහින්ග්‍යා වැසියන් මියන්මාරයෙන් පළායාම

2017 රාඛයින් ප්‍රාන්තයේ පොලිස් ස්ථානවලට එල්ල වූ මාරාන්තික ප්‍රහාර හේතුවෙන් ඇති වූ හමුදා මර්දනයේදී ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා වැසියෝ අසල්වැසි බංග්ලාදේශයට පලා ගියහ.

ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් සහ සිදුවිය හැකි ජන සංහාරයන් නැවැත්වීමට කිසිවක් නොකරන බවට සූ කී වෙත චෝදනා එල්ල විය. ජාත්‍යන්තර වශයෙන් එම අපරාධ සම්බන්ධව මියන්මාර හමුදාවට චෝදනා එල්ල වුවත් සූ කි හැම විටෙකම ඒවා ප්‍රතික්ෂේප කරමින් හමුදාව ආරක්ෂා කළාය. එහෙත් සූ කී පාලනයේ මුල් කාලයේදී ඇතැමෙක් තර්ක කළේ ඇය ප්‍රායෝගික දේශපාලනඥ ලෙස සංකීර්ණ ඉතිහාසයක් ඇති බහු වාර්ගික රටක් පාලනය කිරීමට උත්සාහ කරන බවයි.

එහෙත් 2019 දී රෝහින්ග්‍යා සංහාර පිළිබඳව හේග් හි පැවති ජාත්‍යන්තර අධිකරණ නඩු විභාගයේදී ඇය මියන්මාර හමුදාව ගත් ක්‍රියාමාර්ගයන් රාජතාන්ත්‍රිකව මෙන්ම පෞද්ගලිකව ආරක්ෂා කළා ය. එය අවුන් සාන් සූ කී නොබෙල් සාම සම්මානලාභිනියගේ නව සන්ධිස්ථානයක් ලෙස සලකනු  ලැබීය.  එම අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ ඇගේ පිළිවෙත හේතුවෙන් ඇගේ ජාත්‍යන්තර කීර්තියේ ඉතිරිව තිබූ දේ මකා දැමිය.

අවුන් සාන් සූ කී සහ මින් අවුන්ග් හේලින්ග් භික්ෂුන්ගේ ආශිර්වාදය ලබමින්

කෙසේ වෙතත්, රෝහින්ග්‍යා වැසියන් කෙරෙහි අනුකම්පා විරහිත සූ කී  එරට බෞද්ධ බහුතරය අතර ජනප්‍රිය වූවාය.

දැන් ඇය විසින්ම ආරක්ෂා කරනු ලැබූ මියන්මාර හමුදාව ඇයත් ඇතුළු දේශපාලනඥයන් ගණනාවක් රඳවා තබා ගැනීමෙන් වසරක් තිස්සේ රට පාලනය කරන බව ප්‍රකාශ කර තිබේ.

ඇතිව තිබෙන තත්වය පිළිබඳව ධවල මන්දිර ප්‍රකාශක ජෙන් සාකි පැවසුවේ ‘මෑත මැතිවරණවල ප්‍රතිඵල වෙනස් කිරීමට හෝ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රමණයට බාධා කිරීමට දරන ඕනෑම උත්සාහයකට එක්සත් ජනපදය විරුද්ධ වන අතර මෙම පියවර ආපසු හැරවිය නොහැකි නම් වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගනු ඇත’ යනුවෙනි.

ඕස්ට්‍රේලියානු රජය තත්වය ගැන තමන් ‘දැඩි කනස්සල්ලට පත්ව සිටින” බව පැවසූ අතර නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින දේශපාලන නායකයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

ජපානය කියා සිටියේ තමන් තත්වය දෙස සමීපව බලා සිටින නමුත් ජපාන ජාතිකයන් මියන්මාරයෙන් ආපසු ගෙන්වා ගැනීමට මෙවන් විට සැලසුමක් නොමැති බවයි.

Leave A Reply

Your email address will not be published.