“විකුනපුව ගන්නවා කියල ආපු ආණ්ඩුව අලුතින් විකුනනවා”

දේශය සුරැකීමේ ජාතික
ව්‍යාපාරයේ සභාපති -ඇල්ලේ ගුණවංශ හිමි
නැඟෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මම දැඩි වේදනාවකින් ඉන්නේ. ඉන්දියාව, චීනය හා ඇමෙරිකාව ගහන මැච් එකක පිච් එක බවට අපේ රට පත්වෙලා. වරාය විකුණන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඊට එරෙහිව වෘත්තීය සමිති සමඟ එකාවන්ව දැඩි සටනක මම පෙනී සිටිනවා. මේ ගැන කැබිනට් මණ්ඩලයේදී විරුද්ධ නොවුණොත්, ඒ විරුද්ධ නොවන බොරු දේශප්‍රේමීන් ගැන අපි රටට හෙළි කරනවා. ජිවිතය ගියත් මේ සටන පාවා දෙන්නේ නෑ

මවුලවි – මුනීර් මුනෆ්ෆර්
මගේ ප්‍රතිපත්තිය හා විශ්වාස කරන දේ නම්, රටේ ජාතික සම්පත් කිසිවක් කිසිම හේතුවක් මත විකුණන්න හොඳ නෑ කියන එකයි. මේ ආණ්ඩුව ආවේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා වගේම ගිය ආණ්ඩුව දීපු දේවලු‍ත් ගන්නවා කියලායි. විකුණපුවා ගන්න එක කෙසේ වෙතත්, තියෙන ඒවත් විකුණන්නයි මේ අය හදන්නේ. කිරි දෙන මවගේ තනය කපාගෙන යනවා වගේ වැඩක් තමයි නැඟෙනහිර ජැටිය ඉන්දියාවට විකුණනවා කියන්නේ. එම නිසා ආණ්ඩුව කරන මේ අධම ක්‍රියාව නවත්වන්න රටේ සියලු‍ දෙනා එකතුවිය යුතුයි.

ලංකා ගුරු සේවා
සංගමයේ ලේකම් – මහින්ද ජයසිංහ
නැඟෙනහිර ජැටිය රැකගන්න ගුරුවරුන් ලෙස ජනතාව දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් අපි දියත් කර තිබෙනවා. ආයෝජනය හෝ වෙන කුමන නමක් දමා ආවත් වරාය විකුණන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ වන විට ගුරු සංගම්සේම විදුහල්පති සංගම්ද වරාය විකුණනවාට විරෝධය පළ කර තිබෙන නිසා අපි අපේ සටන ඉදිරියේදී ඒකාබද්ධව කරන්න කටයුතු කරනවා

සාහිත්‍යවේදී, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
මේ ආණ්ඩුවට ජනවරමක් දීලා තියෙන්නෙ මහජන දේපළ ආරක්ෂා කරන්න සහ එලෙස ජනතාවගෙන් උදුරා ගත් දේපළක් තියෙනවා නම්, ඒවා යළි ජනසතු කරන්නයි. මුලසිටම රාජපක්ෂ ආණ්ඩු විදේශ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නෙ කලාපයේ බලවතුන්ට නතුවෙමින් ඉන්න එක. මේක අපේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පාවා දීමේ තවත් අවස්ථාවක්.

Leave A Reply

Your email address will not be published.