හඹා යන්න ඉඩ දෙන්න

චන්ද්‍ර, සූර්ය කියලා යාළුවෝ දෙන්නෙක් දවසක් දුර ගමනක් යන්න කතා වුණා. තමන්ට කැමැති පාරක් තෝරගෙන ගමනාන්තයට ළඟා වෙන්න දෙන්නටම අවසර තිබුණා. මේ දෙන්නගෙන් චන්ද්‍ර තමන්ට හොඳයි කියල හිතුණ පාරක් තෝරගෙන ඒ පාර දිගේ හරි නිශ්ශබ්දව ගමන් කළා. හැබැයි සූර්ය තෝරගත්තෙ වෙන පාරක්.  එයා හරි වේගයෙන් ගමන් කළා. පාර දෙපැත්තෙ මල් පිරිලා තිබුණ ලස්සන පාරක් ඒක. ටික දුරක් යනකොට සූර්යට හිතුණා, මං යන පාරට වඩා යාළුවා යන පාර ලස්සන ඇති, ඒක කෙටි පාරක් වෙන්න ඇති කියලා. මෙහෙම හිතපු සූර්ය තමන් යන පාර වෙනස් කරලා චන්ද්‍ර තෝර ගත්තු පාර දිගේ ගමන් කරන්න පටන් ගත්තා.

මේ පාර දිගේ බොහෝ දුර ගියත් සූර්යට කිසිම සුන්දර දෙයක් හම්බ වුණේ නෑ. හරිම කටුක පාරක්. කලින් ගමන් කරපු පාර තරම් ලස්සනත් නෑ. එයා දැක්කා චන්ද්‍ර වැඩි දුරක් ගිහින් නැති බව. මහන්සිය නොබලා සූර්ය තමන්ගේ යාළුවා හඹා යන්න පටන් ගත්තා. දැන් දෙන්නම ගමන් කරන්නේ එක ළඟින්. චන්ද්‍ර තමන්ගේ ගමනේ වේගවත් දිශාවවත් වෙනස් නොකර පුරුදු විදිහටම ගමන් කළා. සූර්ය එක්වරම චන්ද්‍රව පසුකරන් ගියා. කිසිම කලබලයක් නැතුව ගමන් කරපු චන්ද්‍ර දැක්කා තමාව පහුකරන් ගිය යාළුවා මඩ ගොහොරුවක එරිලා ඉන්නවා. සූර්යට බේරීමට අත දුන් ඔහු එම මඩගොහොරුව මඟහැර තමන් යන ගමන ඉදිරියටම ගියා. යළිත් වරක් සූර්ය චන්ද්‍රව පසුකර ඉදිරියට කියා. එවර ඔහු කටු අකුලක පැටළී සිටිනු දුටු චන්ද්‍ර ඔහුගේ පැටලු‍ම ලිහා කටු අකුල මඟහැර ඉදිරියට ගියා. කටු පඳුරු, වගුරු බිම්වල වැටි වැටී හෙම්බත් වුණු සූර්ය ගමන අතරමඟ නවතා යළිත් පෙර පාරේම ගමන් කිරීමට තීරණය කළා. තමාව හඹා ආ, තමාව පසුකර ගිය සූර්ය නිසා සියලු‍ බාධක මඟහැර ගමන පහසුවෙන් යාමට චන්ද්‍රට හැකි වුණා. කොයි තරම් දුෂ්කර වුණත් ගමන අතරමඟ නොනැවැතී ඉදිරියට ම ගිය චන්ද්‍රට සුන්දර දේවල්වලින් පිරුණ ලස්සන මල් පිරිලා තිබුණ ගමනාන්තයට ළඟා වෙන්න හැකි වුණා.

ඉතින්, ඔබව හඹා යාමට, ඔබව පසුකර යාමට උත්සාහ කරන සමීපතමයන්ට ඉඩ දෙන්න. ඔබේ අඩි පාරේ ඔවුන්ටත් ගමන් කිරීමට ඉඩ දෙන්න. එවිට ලෝකයා තේරුම් ගනීවි ඔබ යන ගමන කොතරම් කටුක ද යන වග. සෑම පාරක්ම සෑම කෙනෙකුට ම නොගැළපෙන බව. ඒ ඒ අයට සුදුසු පරිදි මාර්ග විවර වී ඇති බව. ඔබ අලු‍ත් පුද්ගලයෙක් වන්න. එවිට බොහෝ දෙනා ඔබව අනුගමනය කරාවි. ඉලක්කයට යන තුරු සෙමින් නිශ්ශබ්දව ගමන් කරන්න. මොක ද? සාර්ථකත්වයට අවශ්‍ය වන්නේ වේගය නොව දිශාවයි.  වසන්තය දුරයි. හැබැයි දවසක මල් පිපෙනවා මයි.

චමෝදි පෙරේරා
Leave A Reply

Your email address will not be published.