ආයුබොවන්ඩ චමල්,

රතු ඉන්දියානු නායක සියැටල් මුත්තා අදට සතවරුස එකහමාරකට විතර කලින් ඇමෙරිකන් රටේ පෑන්ක්ලින් ජනපති උන්නැහේට ලියුමක් ලියපු විත්තිය තමුන්නැහැ නොදැන ඉන්ඩ විදිහක් නැහැ. ඒ ලියුමෙන් සියැටල් මුත්තා ජනපති උන්නැහේට දැනුන් දීලා තිබුණේ ඉඩං පලහිලව්වක් විත්තියත් පරම්පරාගත ඉඩං හිමියෙක් වෙන මුන්නැහැට අමුතුවෙන් කියන්ඩ අවස්සිය නැහැ නෙ. කොටින්ම කියනව නං අනාගත පරම්පරාවට අයිති මහපොළොව විකිණීමේ හෝ මිල දී ගැනීමේ අයිතියක් සියැටල් මුත්තාට වගේම පෑන්ක්ලීන් උන්නැහේටත් නැති වගයි ඒ ලියුන් කඩදාසියේ ලියල තිබුණෙ.

මේ දවස්වල අපේ සිරි ලංකාවෙත් එහෙම පුරස්නයක් මතුවෙලා තියෙනව නේ ද ආයිබොවන්ඩ. තමුන්නැහැලගෙම රාජදානියේ අලි රාලහාමිලයි- ගොයි රාලලයි අතර කාලෙක ඉඳල තියෙන අරෝව දැන් බොහොම දුරදිග ගෙහුන් කියලා ආරංචියි. ගොවි රාලලා කියන ආකාරෙට නං ඒ පුරස්නෙට වග කියන්න ඕනා  අලියොවත්, ගොයියොවත් නොව රට කොරවන ඔහෙලමලු… හරිය..? ලෝකෙට පරකාසේ ගෙදෙට්ට මරගාතේ කිව්වා වගේ නැව් තොටවලුයි, ගුවන්තොටවලුයි., සම්මන්තරණ මන්දිරයි මඳිවට සෙල්ලං පිට්ටනිත් හදලා රුහුණු පුරේ සරුසාර ඉඩකඩං ටික කොටු කොර ගත්තෙ අලි-ගොවි හවුල් වියාපාරවලින් හෙම නෙවේ නේ ද බුදු සෑර්.

කල්ප කාලාන්තරේක හිටං සූරියවැව, අන්දරවැව වගේ ගංබිංවල බිම්බරක් සතා සිවුපාවොයි, මනුස්සයොයි බොහොම සමගියෙන්, සමාදනෙන් ජීවත් උනු අන්දම ඔහෙලගෙ අත්තලගෙ, මුත්තලගෙ පරම්පරාවෙ කස්ටිය නං හොඳාකාරව ම දන්නවා ඇති මයෙ හිතේ. ඒ කාලේ ගිරුවාපත්තුවේ හේන්, කුඹුරු කොරපු ගොයියන්ට හයියක් දෙන්ඩ ය කියල නේද මැදමුලනෙ සහෝදර සමාගම කුරහන් සාටක සූස්තරෙන් රාජ සබාවට පැනගත්තෙ. හැබැයි ඉතිං දැන් තමුන්නැහැලා හයියක් වෙලා ඉන්නෙ හතරවරිගේ ඇත්තන්ටයි, රට-නොරට ගජමිතුරන්ටයි  කියලයි ලෝස් නැතුව තුනෙන් දෙකක්ම ඔහෙලට දීපු තුන්හෙළයෙම සිංහ පැටව් මේ දවස්වල දොඩන්නෙ.

අලින්ට අයිති කොටහ උන්ට පවරලා තමන්ට දෙයියනේ කියල ගොයිතැන් බතක් කොරගෙන පණ කෙන්ද ගැටගහ ගන්ඩ පිහිට වෙන්ඩ ය කියල නේද චමල් සෑර් උපවාස කොරන සූරියවැව ගොයියො ඉල්ලා හිටින්නෙ. අනේ ඇත්තට ආයිබොවන්ඩ ඒක මොන තරං මානුසික ඉල්ලීමක් ද? ගොයියො කියන දේ හරි ය කියලා ඔටුන්න හිමි නාමල් කුමාරයත් අබීත පොරකාසයක් කොරනවා අපි අහගෙනයි. රජ පවුලෙ ඇත්තෙක්ම එහෙම පොර ටෝකක් දුන්නේ විසේ බාර ඇමැත්තා වන මුන්නැහැව නිකං කොංඩොන් කොරල දාන්ඩද කියලත් සාදාරණ හැකයක් මතු වෙනවා. මක්ක වුණත් ආයිබොවන්ඩ ඒ කතාව පිටිපස්සෙ ඉන්නෙ චීනෙ ද, ඉන්දියාව ද කියලා හොයල බලන එක නං ඇඟට ගුණයි.

ගොයිරාලලාට කලිං පොරොන්දු වෙච්ච විදිහට ගැසට් පත්තරේ අච්චු ගහන්ඩ තමුන්නැහැට හයියක් නැත්තෙ ආණ්ඩුවෙ අච්චු කන්තෝරුව ඔහේගෙ නියෝග ගණන් ගන්නෙ නැති හංදය කියන කතාව මුසාවක් කියලයි අපි මුලින් නං හිතුවෙ. ඒත් ඉතිං රජ පවුලේ ලොකු අයියලාව දැන් ඒ තරමටම කෑන්සොල් වෙලා තියෙන බව අපි තේරුන් ගත්තේ රාවණ අයියා ගොඩනඟපු මහා රාජ්ජේ විබීසන මලයණ්ඩි පාවා දුන්න ය කියල අපේ මැදගොඩ උන්නාන්සෙ දෙසපු අලුත්ම බණ කතාවට ඇහුංකං දුන්නට පස්සෙයි●

විශ්වමිත්‍ර
Leave A Reply

Your email address will not be published.