ජනතා අධිකරණයක් අවැසිව තිබේ !

සමාජයට පාලක පංතියක් බිහි වූ දා සිට ම නීතිය ද පවතී. සැමදා නීතිය සකස් කරනු ලැබුවේ පාලකයන් විසින් ය. එහෙත් ඔවුන් පවසන්නේ, එය ජනතාව උදෙසා බව ය. කෙසේ වෙතත් නීතිය එය සකසන ‘පාලකයන්ගේ කැමැත්ත’ මිස අන් යමක් නොවේ. සමාජ විෂමතාව මත පාලක හා පාලිත යැයි සමාජය බෙදී යන විට මෙම පංතීන් දෙකටම සාධාරණ නීතියක් එකවර පැවැතිය නොහැකි ය. නීතියේ උපත විසින් ම ආරෝපණය කළ එහි පීඩක ස්වභාවය සහ සාධාරණ නොවන බව ‘නීතිය උත්තරීතර ය’ යන වදනින් තවත් තීව්‍ර කර තිබේ. යුක්තිය පසිඳලන්නන් විවේචනය කිරීම හෝ ප්‍රශ්න කිරීම යන්නට පවා බාධා කර පවතින්නේ නීතියෙහි වන මෙම ගුණය නිසා ය.

රෝමය තුළ නීති කෘත්‍යයේ මැදිහත්කරුවන් වශයෙන් නීතිඥයා යන චරිතය බිහි වන්නේ නීතියේ මෙම සාධාරණ නොවන බව විසින් පීඩාවට පත් වන ජනතාව නිසා සමාජයේ ඇති වන නොසන්සුන්කම වළකාලන්නට ය. නීතියේ මෙම ස්වාභාවය ජනකතා, ජනප්‍රවාද තුළින් ව්‍යංගයෙන් උපහාසයට ලක් කිරීමට ගත් උත්සාහයක් ලෙස කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු ගත හැකි ය. කැකිල්ලේ ආකාරයේ ජනකතා ලොව පුරාම පවතී.

ජනතාව විශ්වාසය තැබිය යුත්තේ, පාලකයාගේ බලය හා හැකියාව පිළිබඳව නොවේ. තමන් සතු වන ජනතා බලය හා ශක්තිය පිළිබඳව ය. පාලකයා ආරෝපණය කොටගෙන ජනතාව පෙළන්නට යොදා ගන්නේ ද, ජනතාව මුළා කොට, වංචා කොට පැහැර ගන්නා ලද එම ජනතා බලයයි.

ජනතා අරගල තුළින් නීතියේ යම් ජනතාවාදී ප්‍රවණතාවන් දිනා ගැනීමට ප්‍රගතිශීලි ජනතාව සමත්ව සිටින බව ද පැවසිය යුතු ය. ඒවා කිසි විටක පාලකයාගේ කරුණාව මත පහළ වූ දේවල් නොවේ. ඒවා ද යළි පැහැර ගැනීම පාලකයාගේ කැමැත්ත ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත්  කොට විධායක ජනාධිපතිගේ තනි කැමැත්තට ස්වාධීන කොමිසම් යට කළ 20 වැනි සංශෝධනය එයට හොඳ ම උදාහරණයකි.

අප මෙවර කර්තෘ සටහන තුළින් නීතිය පිළිබඳව ශාස්ත්‍රීය සාකච්ඡාවක් ගෙන එනවා නොවේ. මෙම නීතියේ න්‍යායික පැත්ත ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟීම මේ වන විටත් රටේ මොනවට අත්දකිමින් සිටින බව පෙන්වා දීමට උත්සාහ කිරීමකි. වත්මන් පාලනයේ නායකත්වය වන රාජපක්ෂ පවුලේ අයට ද, ඔවුන්ගේ  හිතවතුන්ට ද, ඔවුන්ගේ පක්ෂයේ දේශපාලකයන්ට මෙන් ම ඔවුන්ට පක්ෂපාතී නිලධාරීන් ගණනාවකට ද මහජන මුදල් සහ ජාතික සම්පත් අවභාවිතයන්, වංචා සහ සොරකම් පිළිබඳව අධිකරණවල පවරා ඇති නඩු සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක වන රාජපක්ෂ පන්නයේ නීති ක්‍රියාවලිය එයට ප්‍රබලතම උදාහරණයයි.

අධිකරණය තුළින් කෙරෙන නඩු විමසීම්වලට මුහුණ දී තමන් නිදොස් වී අවංක බව පෙන්වනවා වෙනුවට දේශපාලන පළිගැනීම් සම්බන්ධ විමර්ශනයට යැයි ජනාධිපති කොමිසමක් පත් කොට කෙටි පාරකින් නඩු ඉවත් කරන නීතියේ අපූරු මාවතක් ඔවුහු කපමින් සිටිති. අපූරු කොමිසමෙන් අපූරු නිර්දේශ මාලාවක් ඉදිරිපත් කොට තිබේ. ඒ අනුව සොරුන්, වංචනිකයන් නිදොස් කොට නිදහස් කර සමහරුන්ට කොමිසම පවසන රැකියා ද ලබා දී පැමිණිලිකරුවන්, විමර්ශකයන් සියල්ලන්ට දඬුවම් කළ යුතු ය. කොමිසමේ බලතල ද ඉක්මවමින් මේ දක්වා තිබෙන නිර්දේශවලින් පැවසෙන්නේ, යුක්තිය පසිඳලීමේ දී පාලකයාට වන පක්ෂපාතීත්වය නොවේ ද? මෙම අවනඩුව ජනතා අධිකරණයකින් මිස අන් අධිකරණයකින් විසඳිය හැකි ද යන්න පිළිබඳව ජනතාව සිතාබැලිය යුතු මොහොතකි මේ. එසේ නොවේ නම්, මින් ඉදිරියට මහජන මුදල් හා දේපළ, සම්පත් හොරාකන දේශපාලකයන්ට එය නීතියෙන්ම පැවරෙන බලයක තත්ත්වයක් බවට පත් වේ. ඒ අනුව මින් ඉදිරියට හොරකමට එරෙහි වීම ජාතික අපරාධයක් වනු ඇත.

ජනතාව විශ්වාසය තැබිය යුත්තේ, පාලකයාගේ බලය හා හැකියාව පිළිබඳව නොවේ. තමන් සතු වන ජනතා බලය හා ශක්තිය පිළිබඳව ය. පාලකයා ආරෝපණය කොටගෙන ජනතාව පෙළන්නට යොදා ගන්නේ ද, ජනතාව මුළා කොට, වංචා කොට පැහැර ගන්නා ලද එම ජනතා බලයයි. පීඩාවට පත් වන ජනතාව පාලකයන් විසින් තමන් සමාජයේ ස්ථානගත කොට තිබෙන්නේ කොතැනක ද යන්නත් සැබැවින්ම තමන්ට හිමි විය යුතු ස්ථානය කුමක් ද යන්නත් වටහා ගන්නා තෙක් කැකිල්ලේලා තව තවත් බිහි වනු ඇත. නීතිය පාලක පංතියේ අතකොළුවක් පමණක් වනු ඇත●

Leave A Reply

Your email address will not be published.