අධිකරණයට කළ ලොකු ම අපහාසය

දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා පත් කළ ‘2015 ජනවාරි මස 08 වැනි දින සිට 2019 නොවැම්බර් මස 16 වන දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවල සහ පොලිස් සේවයෙහි සාමාජිකයන්ට සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව’ විසින් සකස් කර ඇති පිටු 2,000කට වැඩි වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කර ඇත. එයට කැබිනට් අනුමැතිය හිමි වූ බවත්, ඒ අනුව එහි නිර්දේශ ක්‍රියාත්මක කරන බවත් මාධ්‍ය මඟින් ප්‍රචාරය විය. මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඇමුණුම් 3ක් ඇත.

නඩු 79ක් ඉවත් කර ගැනීම

පළමුවැනි ඇමුණුම දූෂණ විරෝධී කමිටුව සහ ලේකම් කාර්යාලය පොදු දේපොළ අවභාවිත කළ බව සඳහන් කරමින් ඉදිරිපත් කර තිබේ. මෙයට අදාළව චූදිතයන් 22දෙනකු නම් කර තිබේ. ඇමුණුම් 02 සහ ඇමුණුම් 03 තුළ විශාල නඩු ප්‍රමාණයක් ඉවත් කිරීමේ නිර්දේශ ඇතුළත් කර ඇත. දෙවැනි ඇමුණුමෙන් මහාධිකරණයේ විභාගයට ලක් වන නඩු 61ක් ඉවත් කර ගැනීමට නිර්දේශ කර තිබේ. තුන්වන ඇමුණුමෙන් නඩු 18ක් ඉවත්කර ගැනීමට නිර්දේශ කර තිබේ. ඒ අනුව නඩු 79ක් ඉවත් කර ගැනීමට කොමිසම විසින් නිර්දේශ කර තිබේ. එපමණක් නොව මේ නඩුවලින් චූදිතයන් කර ඇති අයට සහන සැලසීමත්, ඔවුන්ට නඩු පැවරූ අයට දඬුවම් දීමත් නිර්දේශ කර ඇත.

තම බලයට මුවා වී පිහිටු වූ කොමිෂන් සභා හරහා නිදහස් වීම තුළින් පෙන්නුම් කරනුයේ, මොවුන් සැබෑම වංචාකරුවන් හා අපරාධකරුවන් බව නොවේ ද? මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් පමණක් නොව අධිකරණයට අපහාස කිරීමක් නොවන්නේ ද? අධිකරණයට සැබෑ ලෙසම අපහාස කිරීමක් සිද්ධ වෙන්නේ මෙයින් බව තවත් පැහැදිලි කළ යුතු නැත.

2015 දක්වා පැවැති රාජපක්ෂ ආණ්ඩුවත්, ඉන් පසුව පැවැති රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුවත්, ඊට පෙර පැවැති ආණ්ඩුත් වංචා, දූෂණ හා අපරාධ ඇති තරම් සිදු කළ බවත්, එම ආණ්ඩු පලවාහරින්නට ඒවා ද ප්‍රබල  හේතුකාරක වූ බවත් බොහෝ දෙනා දනිති. 2015 දක්වා පැවැති රාජපක්ෂ පාලන සමයේ සිදු වූ මෙවැනි අපරාධ, මූල්‍ය වංචා පිළිබඳව විශාල විරෝධයක් එල්ල වී තිබිණි. ඒ නිසාම රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමෙන් පසු දූෂණ විරෝධී සංවිධානවලින් ඒවාට අදාළ පැමිණිලි විශාල ලෙස ඉදිරිපත් විය. රනිල් – මෛත්‍රී පාලන යුගයේ සිදු කරනු ලැබූ බැඳුම්කර වංචාව ඇතුළු දූෂණයන්ට එරෙහිව කෝප් කමිටුව හරහාත්, ඉන් පිටතත් හඬ නැඟූ ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂවරුන්ගේ දූෂණවලට ද එරෙහිව විශාල හඬක් නැඟී ය.

මෙසේ ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳව විමර්ශන කොට නඩු පැවරීමට තරම් සාක්ෂි තහවුරු වූ සිද්ධීන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු ගොනු කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ඉහත කොමිසමෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති නඩු අතර දැනට විභාග වෙමින් පවතින එවැනි නඩු ද විශාල ප්‍රමාණයක් පවතී.

ඒ නිසා ‘දේශපාලන පළිගැනීම් නිවැරැදි කිරීම’ යන්නට මුවා වී  අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු ඉවත් කර ගැනීමේ උත්සාහයක් මෙහි ක්‍රියාත්මක වන බව අතිශයින් පැහැදිලි ය. ඒ අනුව රාජපක්‍ෂ පවුලේ අයට සහ සමීපතමයන්ට තිබෙන නඩුවලින් ඔවුන් නිදහස් කර ගැනීමට මේ කොමිසම පත් කරන ලද බව තේරුම් ගැනීම අපහසු නැත. විභාගවෙමින් පවතින නඩු 79ක් ඉවත් කර ගැනීමට තීරණ ගැනීමත්, එම නඩු පැවරූ අයට පෙරළා දඬුවම් කිරීමට නිර්දේශ කිරීමත් අතිශය බරපතළ තත්ත්වයකි.

මොනවද මේ නඩු

කොමිසම විසින් දේශපාලන පළිගැනීම් ලෙස නම් කරනු ලැබුවත්, මේ නඩු එවැනි ඒවා නොවන බව පැහැදිලි ය. පවතින ආණ්ඩුවක් දේශපාලන හේතූන් මත රාජ්‍ය නිලධාරීන් මාරු කිරීම, උසස් වීම් අත්හිටුවීම, වැඩ තහනම් කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නා අතර, දේශපාලන පළිගැනීම් ලෙස සැලකෙන්නේ ඒවා ය. නමුත්, මේ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ රහස් පොලිසිය, පොලිසිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වැනි පිළිගත් ආයතන පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු නීතිපතිවරයාගේ නිර්දේශ මත ය. එසේ නැතහොත්,  අල්ලස් කොමිසම විසින්ම මහාධිකරණවල පැවරූ නෛතික ක්‍රියාමාර්ග ය. මෙසේ පවරන ලද නඩු මහාධිකරණය විසින් භාරගෙන ඇත්තේ, ඒවා විභාගයට ගත යුතු බවට අධිකරණය සැලැකූ නිසා ය. නඩු නිමිත්තක් නොතිබුණේ නම්, මහාධිකරණය ඒවා භාර ගන්නේ නැත. එසේ භාර ගත් නඩු  මේ වන විට වසර කිහිපයක් විභාග වෙමින් පවතී. එවැනි නඩු ඉවත් කර ගැනීමට කොමිසමකින් නිර්දේශ කිරීම හාස්‍යජනක කරුණකි. අධිකරණයේ ස්වාධීනත්වය, පිළිගත් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කිසිවක්  මේ ආණ්ඩුවට අදාළ නොවන බවට මෙය කදිම සාක්ෂියකි.

ඇමති මණ්ඩලයෙන් මෙම කැබිනට් පත්‍රිකාව සම්මත කර ගන්නා අවස්ථාවේ  මහාධිකරණයෙන්  විභාග වන නඩුවක  චූදිතයකු වන උදය ගම්මන්පිල තමාගේ නිදහස් වීම වෙනුවෙන් එයට අත එසැවීම කෙතරම් සදාචාරසම්පන්න ද යන්න විමසා බැලීම වටී. එවැනි තවත් අය මේ කැබිනට් මණ්ඩලයේ සිටිති. තම තමන්ගේ නඩු ඉවත් කර ගැනීමට තමන්ම කැමැත්ත දී ඇත. එය නම් ඉතා අපූරු යුක්තිය පසිඳලීමකි.

මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය බරපතළ වැරැදි පූර්වාදර්ශයක් බවට පත් වීම වැළැක්විය නොහැකි ය. මේ තත්ත්වය තුළ මහජනතාවගේ මුදල් වංචා කළ ජාවාරම්කාර දේශපාලනඥයන් බුරුතු පිටින් නිදහස් විය හැකි ය. තමන් නිර්දෝෂී නම්, මේ අය කළ යුත්තේ අධිකරණ ක්‍රියාවලියට  ඉදිරිපත් වී ඒ බව ඔප්පු කිරීම ය. ඒ වෙනුවට තම බලයට මුවා වී පිහිටු වූ කොමිෂන් සභා හරහා නිදහස් වීම තුළින් පෙන්නුම් කරනුයේ, මොවුන් සැබෑම වංචාකරුවන් හා අපරාධකරුවන් බව නොවේ ද? මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් පමණක් නොව අධිකරණයට අපහාස කිරීමක් නොවන්නේ ද? අධිකරණයට සැබෑ ලෙසම අපහාස කිරීමක් සිද්ධ වෙන්නේ මෙයින් බව තවත් පැහැදිලි කළ යුතු නැත.

අධිකරණය පිළිබඳව බොහෝ අයට විවේචන ඇති බව සත්‍යයකි. දේශපාලන ඇඟිලි ගැසීම් ඇති බවට චෝදනා එල්ල වන අවස්ථා නැතිවා නොවේ. නමුත්, ඒ තුළ පවා ගත යුතු ක්‍රියාමාර්ග ඇත්තේ අධිකරණය හරහාම ය. එසේ නොමැතිව කොමිෂන් සභාවක් මැදිහත් වී නඩු ඉවත් කර ගන්නේ නම්, එයින් අධිකරණයේ කාර්යභාරය අහෝසි වෙයි. එසේම නීතිපති ලවා අධිකරණ ක්‍රියාමාර්ග ඉවත් කර ගන්නේ නම්, එය එක අධිකරණය අක්‍රිය කිරීමක් මිස අන් යමක් නොවේ.

මහේස්ත්‍රාත් අධිකරණය, මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය යන ආයතනික පිළිවෙළක් පවතී. යම් අධිකරණයක දී දෙන තීන්දුවක් සම්බන්ධයෙන් ඊට ඉහළ අධිකරණයකට පැමිණිලි කිරීමේ හැකියාව පවතී. මේ සියල්ල පසෙකට දමා කැකිල්ලේ අධිකරණය වැනි කොමිසමකින් ගත් තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට යාම අත්තනෝමතිකත්වය ලෙස මිස විස්තර කළ හැකි අන් ක්‍රමයක් නැත.

නීතිපති විරෝධය

අධිකරණයේ ඇති නඩු පවරා ඇත්තේ, අල්ලස් කොමිසම නැතහොත් නීතිපතිවරයා ය. කොමිසමේ වාර්තාව අනුව මේ නඩු ඉවත් කර ගත යුත්තේ නීතිපතිවරයා ය. නීතිපති නඩු දාලා, ඒ නීතිපතිම  නඩු ඉවත් කර ගන්නේ නම්, එය විග්‍රහ කරන්නේ කෙසේ ද? අල්ලස් කොමිසමට ද අත් වන්නේ ඊට සමාන තත්ත්වයකි. එවැනි නීතිපති දෙපාර්තමේන්තුවකින්, අල්ලස් කොමිසමකින් ඇති ඵලය කුමක් ද? මේ ක්‍රියාවලියට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ නැති බව අදාළ ක්‍රියාවලියේ දී හොඳින්ම පැහැදිලි විය. මේ කොමිසම හමුවේ සාක්‍ෂි ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා ඊට විරෝධය පළ කළේ ය. මේ කොමිසම ව්‍යවස්ථාවට විරුද්ධ බව ප්‍රකාශ කර නීතිපති දෙපාර්තමේන්තුව එය ප්‍රතික්‍ෂේප කළේ ය. ඊට අධිකරණයෙන් ද තහංචි පැනවී ය.

ඇවන්ගාඩ් වංචාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඇති නඩුව ඉවත් කර ගැනීමට අදාළ චූදිතයන්  මේ කොමිසම  හමුවට ගිය අවස්ථාවේ දී අධිකරණය ඊට විරුද්ධව තීන්දුවක් දුන්නේ ය. එසේ තිබිය දීත්, ඇවන්ගාඩ් චූදිතයන් නිදොස් කොට නිදහස් කරන්නැයි කොමිසම නිර්දේශ කර ඇත. ඒ නිසා මේ කොමිසම කර ඇත්තේ වංචා, දූෂණ නැවැත්වීමට ඇති සියලු ආයතන හෑල්ලුවට ලක් කිරීම ය.

රජයේ ආයතනවලටත්, මහජනතාවටත්, ආණ්ඩුවලටත් සම්බන්ධ වංචාකරුවන්  වංචා කිරීමට ඇති බිය නැති වන්නේ ය. අල්ලස් කොමිසම්වලට කළ හැකි දෙයක් නැති වන්නේ ය. එසේම දූෂණයට එරෙහිව කටයුතු කරන ආයතන සහ නිලධාරීන් බියටත්, අකර්මණ්‍යභාවයටත් පත් වන්නේ ය. ජනතාව හා දූෂණ විරෝධීන් ආණ්ඩුවේ දූෂණ සෙවීම අත් හරින්නේ ය.

රටක මෙවැනි දේ සිදු වන්නේ නම්, එය ම්ලේච්ඡත්වයට ගමන් කිරීමක් මිස අන් යමක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නැති, සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් නැති, විනිවිදභාවයක් නැති රටකට සිදු වන්නේ කුමක් ද? මේ ක්‍රියාවලිය තුළ අපේ රටත්, ජනතාවත් ලෝකය ඉදිරියේ අවමානයට ලක් වීම වැළැක්විය නොහැකි ය.

පසුගිය ජනාධිපතිවරණයෙන් වත්මන්  ජනාධිපතිව පත් කර ගත් බොහෝ දෙනා බලාපොරොත්තු වූ ප්‍රධාන අරමුණක් වූයේ සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි; රට ආරක්ෂා කර ගත යුතු බවයි; දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.  එහෙත් වත්මන් ජනාධිපති දැන් ඒ සියල්ල පසෙක තබා ඇත. ඒ වෙනුවට මහජන ධනය හොරකම් කළ වංචනිකයන්,  දූෂිතයන් බේරීමට කොමිෂන් පත් කර ඒ හරහා දූෂිතයන්ව නිදහස් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පුරවැසියන් මේ තත්ත්වය ඉතාම බැරෑරුම්ව සිතාබැලිය යුතු තත්ත්වයකි; වහ වහා අවදි විය යුතු තත්ත්වයකි●

 

ජගදාක්‍ෂි

Leave A Reply

Your email address will not be published.