අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරී පත්වීම්වලට වුණේ මොකක් ද?

දූෂණ විරෝධී රාජ්‍ය ආයතනික පද්ධතියට වඩා දූෂිත ජාලය ආයතනගත වීම ලංකාව මුහුණ දෙන බරපතළ අභියෝගයකි.
මෙය සැබැවින්ම අභියෝගයක් යැයි කිව හැක්කේ පොදුවේ මහජනයාගේ පැත්තෙන් විනා තට්ටුමාරුවට බලයට පත් වන දේශපාලන පක්ෂ පැත්තෙන් නොවේ.
ඒ නිසාම බූවල්ලකු මෙන් අඬු විහිදා සිටින දූෂිත ජාලය නීතියේ රැහැනට හසු කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී නවීන විමර්ශන යාන්ත්‍රණයක අවශ්‍යතාව දැනෙන්නේ කලක පටන් ය.
සීමාසහිතකම් මැද වුව ද අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මූලික වී එවැනි විමර්ශන කණ්ඩායමක් පිහිටු වීමට මුල් වුණේ එහෙයිනි.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා දූෂණ විමර්ශන නිලධාරීන් 200 දෙනකු බඳවා ගැනීම සඳහා තරග විභාගයක් පැවැත්වීමට අයැදුම් පත් කැඳවනු ලැබුවේ, 2018 ජුනි 8 වැනිදා ගැසට්ටුවෙනි.
විමර්ශන නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය කොළඹ ඇතු`ඵ නගර හයක දී 2018 ඔක්තෝබර් 27දා පවත්වා එයින් සමත් වූ 407 දෙනකුගේ නම් ලැයිස්තුව 2019 මාර්තුවේ දී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරිණි.
සමත් වූවන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ දී අල්ලස් හා දූෂණ විමර්ශනය පිළිබඳ සිද්ධි අධ්‍යයන විභාගයක් 2019 ජූලි 4 වැනිදා පවත්වා තනතුරට අදාළ සම්මුඛ පරීක්ෂණ කටයුතු ද ඊට පසු දිනම සිට ආරම්භ කළේය.
එකී සියලු‍ කටයුතුවලින් අනතුරුව ඔවුන් ලබා ගත් ලකුණු පිළිවෙළ අනුව තනතුරු සඳහා සුදුසුකම් ලැබූ 200 දෙනකුගේ නම් ලැයිස්තුව 2019 සැප්තැම්බර් මාසය වන විට ප්‍රසිද්ධ කර ඔවුන්ට අදාළ පොලිස් වාර්තාද 2019 දෙසැම්බර් මාසය වන විට ගෙන්වාගෙන තිබිණි.
එහෙත්, අද වන තුරු එම පත්වීම් ගැන බලධාරීන්ට වගේවගක් නැත. (අදාළ වැඩේට අතගැසූ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද තනතුර අහිමි විය)
විවෘත තරග විභාගයකින් සිද්ධි අධ්‍යයන විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් ද සමත් වූ දක්ෂ තරුණ කණ්ඩායමක් මේ තත්ත්වය මත දැන් සිටින්නේ අපේක්ෂාභංගත්වයෙනි.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙවැනි කොටසේ සඳහන් වන්නේ දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක් ඇති කිරීමට කැප වන බව ය.
අනෙක් අතට දූෂණ මර්දනය ගැන අවංක වුවමනාවක් ඇත් නම් මෙය පමා කළ යුතු වැඩක් ද නොවේ.
එසේ නම් අල්ලස් කොමිසමට තටු දෙන කාරිය පැහැර හරින්නෝ කවරහු ද?

Leave A Reply

Your email address will not be published.