**රූමස්සල අඩිපාරක් මහපාරක් කරන්නේ කාගේ උවමනාවටද? **

රූමස්සල දැනට තියෙන අඩිපාරක් රූමස්සල පරිසර සංවේදී කලාපයද ඇතුළත් වන පරිදි අඩි විස්සක පුළුල් මාර්ගයක් බවට පත් කරන්න යන බවට ආරංචි වුණා. ආරංචියෙ හැටියට පසුකාලීනව ඔය අඩි විස්ස තවත් පුළුල් කරන්න නියමිතයි.

මේ කියන විදියට ගල්හේන දිය පහර සහ පීල්ල හන්දිය අතර ඇති මීටර් 180ක් පමණ දිග කොටස තමයි මෙහෙම පුළුල් මාර්ගයක් හදන්න උත්සාහ කරන්නෙ. සරලව කිව්වොත් සාම චෛත්‍යය ළඟින් වමට තියෙන පාරේ කොටසක්. (මා වැරදි නම් නිවැරදි කරන්න)

දැනට ආරංචි වෙන විදියට මේකෙ අවුල මේකයි. මේ මාර්ග කොටස දැනට තියෙන්නෙ ස්විභාවිකව පිහිටපු ගල් සහිත අතුරු මාර්ගයක් නැත්නම් අඩි පාරක් (foot path) විදියට. ඔය කියන මීටර් 180ක පමණ දුර අඩි පාර වැටෙන්නෙ පාරිසරිකව සංවේදී කලාපයක් හරහායි. ඒවගේම ඔය කොටස සත්තු මාරු වෙන මංකඩක් බව කියනවා. ඒ වගේම මේ පාර වැටෙන්නෙම රූමස්සල අභයභූමියේ මායිමට ආසන්නව ඊට සමාන්තරවයි.

දැන් එතකොට මේ පාර හැදෙන්නෙ අඩි විස්සක කාපට් පාරක් විදියට. එතකොට මොකක්ද සිද්ධවෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සිංහරාාජ මැදින් ලංකාගම පාර ලොකු කරන වෙලාවෙ කියපු දේම තමයි කියන්න තියෙන්නෙ. සංවේදී පරිසර පද්ධතියක් විනාශ කරලා මාර්ග තැනීම. සතුන් මාරු වෙන මංකඩක් විනාශ කිරීම සහ ඒ හරහා මාරුවෙන සතුන් වාහනවල ගැටී අනතුරු සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ සහ අවදානම, ඔය පාරෙ යන එන මිනිස්සු වාහනවලින් සහ වෙනත් ආකාරවලින් බැහැර කරන කසළ අභය භුමියට වැටීමෙන් සිද්ධ වෙන හානිය වගේ හානි රාශියක් තිායනවා.

ඒ සියල්ලට වඩා ආපහු මතක් කරගන්න ඔන දේ තමයි, ලෝකෙ බොහෝ මහා පරිමාණ පරිසර විනාශයන් ආරම්භ වුණේම මාර්ග සංවර්ධනය හරහා.. තව විදියකින් කිව්වොත් පරිසරේට කෙලින්න හදන ඕනම එකෙක් මුලින්ම හදාගන්නෙ පාර.. ඒ පාර හදාගනනවා කියන්නෙම එතනින් එහාට මොනවා සිද්ධ වුණත් ඒක නවතින්නෙ නෑ.

විශේෂයෙන්ම රූමස්සල වගේ අධි සංවේදී, ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර පද්ධතියකට හානි සිද්ධ වීම සරලව තකන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසයි මේ ගැන හරි විස්තරයක් හොයලා මේ කරන්න යන විනාශය නවත්තගන්න ඕන.

මේක දැන් කෙරෙනවාය කියන හේතු දෙකක් තියෙනවා. දෙකම සංචාරක කර්මාන්තයට සම්බන්ධයි.

  1. ප්‍රකට ව්‍යාපාරිකයෙකුගෙ අලුතින් ඉදිවෙන හෝටලයක් සහ ඒ ආශ්‍රිත වෙනත් ව්‍යාපාර පහසු කිරිමේ මාර්ගයක් විදියට..

  2. අලුත් කෝවිලක් ඉදි කරලා ඒ ඔස්සේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.

ඔය දෙකෙන් ඇත්ත හේතුව කෝක වුණත් මෙහෙම දෙයක කෙරෙනවා නම ඒක වැරදියි. ඒකට විරුද්ධ වෙන්න ගාල්ලට, රූමස්සලට සහ සරලව පරිසරේට ආදරේ කරන ඕන කෙනෙකට දෙපාරක් හිතන්නඕන වෙන්නෙ නෑ..

දැන් කෙනෙකුට කියන්න පුළුවන් දැන්ඔය හරියෙ ටුවරිසම් කරන අයට මේකෙන් හොඳක් වෙන නිසා පාර කැපුවට කමක් නැත කියලා.. කට්ටියට මතක නම් මේ පරිසර ආක්‍රමණය මෑතක පටන්ගත්තෙම ජංගල් බීච් කියලා ලයින් එකක් බස්සලා වෙනදට ගාල්ල අවට මිනිසසු ගිහින් නිදහසේ නාලා විනෝදවෙලා ආපු තැන කුඩා පරිමාණ හෝටල් හදලා.. ඒකත් දන්නා තරමින් නීති විරෝධීව. මේ වෙන්නෙ ඒකෙ මහ එක.. මේ වැඩේ කෙරුණොත් මුලින්ම කෙලවෙන්නෙ ඔය ආශ්‍රිතව පොඩියට සංචාරක ව්‍යාපාරය ජීවිකාව කරගෙන ඉන්න අයට.. මොකද මහගස් හැදෙන තැන්වල යටි රෝපණයන් නැතිම තරම්. ඒ තිබුණත් අර මහ ගහේ එක්ක පෑහෙන්න පුළුවන් ඒව විතරයි ඉතිරි වෙන්නෙ..

ඒ නිසා මං මේක මෙහෙම ලියලා මේ සිද්ධිය ඔබේ අවධානයට යොමු කරනවා. අපි මේ වැඩේ ගැන පුළුල් සංවාදයක් ගොඩනගමු. ඒ ඔස්සේ අපි කළ යුතු හොඳම දේ කරමු. මොකද අපි පරක්කු වෙන එක තත්ත්පරයක් වුණත් ඒක සෑහෙන පාඩුවක්. විශේෂයෙන්ම අගනාකම් සහ වටිනාකම් වෙනුවට සල්ලි විතරක් කතා කරන සමාජෙක…
පරිසරය ට කුමක් සිදුවේද…..

  • ගයාන් කහදමෝදර *
Leave A Reply

Your email address will not be published.