වරාය රැකගන්න අද පටන් අකුරට වැඩ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරමින් අද (29) සිට අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයට එළඹීමට වරාය වෘත්තිය සමිති තීරණය කර තිබේ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව වරාය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙම අරගලය මෙහෙයවයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ (28) දිනයේදී මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් හමුවී ඇත. මෙරට සම්පත් විදේශයන්ට විකිණීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස අතිශය කණගාටුවට පත්වන බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක හිමි පවසති.

වරාය වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ (28) පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ බැහැදැක වරාය නැගෙනහිර පර්යන්තය ගොඩනැගීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ  “රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ පාලකයන්ට මේ රටේ සුබ සිද්ධිය සඳහා වැඩකරන්න මිස මේ තියෙන මොනවා හෝ කරලා තියෙන දෙයක් විකුණගෙන ඒ කාලෙට ආණ්ඩුව පවත්වාගෙන යන්න නෙමෙයි. ඇත්තටම ජාතියක් රටක් හැටියට අපිට අතිශය කණගාටුවක් තියෙනවා මේ සම්බන්ධයෙන්. අපිත් ඒ ස්ථාවරයේ ඉන්නේ” යනුවෙනි.

මෙම කරුණු පැහැදිලි කිරීමෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩිකිරීමට සැලසුම්කර තිබේ. මේ අතර ඊයේ දින ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් සහ මන්ත්‍රීවරුන් සමග ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. ලබන සඳුඳා (01) මෙම විකිණීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ආණ්ඩුව ක්‍රියාත්මක කරන සැලසුමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකාවට හිමිවන 51% කොටස, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට ආණ්ඩු පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් වරාය අධිකාරිය මගින් සකස් කරමින් පවතී. එය සඳුදා (01) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර ඇත.

මේ තීරණය සම්බන්ධයෙන් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් විමසීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද, එය අසාර්ථක විය. එහෙත්, වරාය විෂය භාර හිටපු ඇමතිවරයා වන, වත්මන් මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

“නැගෙනහිර පර්යන්තය කොටස් වෙළෙඳපොළට විවෘත කරනවා නම් ඒක හොඳ දෙයක්. ඇයි මොකක්ද ඒකෙ තියෙන වරද. අනෙක් සියයට 49, සියයට 51 යෝජනාවෙ තියෙන වැරැද්ද මොකක්ද. නමුත් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න තවම තීරණයක් අරගෙන නැහැ”

නැගෙනහිර පර්යන්තය ඉන්දියාණු සමාගමකට හෝ වෙනත් ඕනෑම අයෙකුට පැවරීමට එරෙහිව වරාය සේවකයන් ප්‍රමුඛ රටපුරා විරෝධයක් එල්ලවී තිබේ. එම පිරිස් සඳහන් කරන්නේනැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට සම්පූර්ණයෙන්ම හිමිවිය යුතු බවයි.

ආණ්ඩුවේ මෙම තීරණය සම්බන්ධයෙන් කළ විමසීමකදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසා ඇත්තේ කොළඹ වරායේ අයිතිය රජය යටතේ තබාගෙන ආයෝජකයන්ට ඉඩදෙන බවයි. ඔහු පවසන්නේ එම ක්‍රියාමාර්ගයේ වැරද්දක් තමා නොදකින බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක පවසන්නේ වෘත්තීය සමිති කුමක් කීවද, කරන්නේ කුමක්ද යන්න ජනාධිපතිවරයා පැහැදිලිව අවධාරණය කර ඇති බවයි. ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය කිරීමට ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමේ තීරණයේ වෙනසක් නැති බවයි.

මේ අතර නැගෙනහිර පර්යන්තය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා රජයේ අමාත්‍යවරුන් පිරිසක් අද (29) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට සූදානමින් සිටින බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.