“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” අද එනවා

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” කොවිඩ් එන්නත් තොගය අද (28) මෙරටට ලැබීමට නියමිතව ඇත. “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” එන්නත ලොව විශාලත ම එන්නත් නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබයි.

මෙරට තුළ හදිසි භාවිතය සඳහා “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” කොවිඩ් එන්නත යොදා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගියදා අනුමැතිය ලබාදී තිබුණි.

එන්නතෙන් මාත්‍රා ලක්ෂ 5ක් ඉන්දියාවේ සිට විශේෂ ගුවන්යානයකින් මෙරටට ලැබීමට නියමිතයි. අද උදෑසන 11 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටුනායක ගුවන්තොටුපොළේදී එම තොගය නිල වශයෙන් භාරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එම එන්නත් නිල වශයෙන් ලබාදෙන බව පැවසේ. ඒ බව සඳහන් වන්නේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක යි. එන්නත් මාත්‍රා ලක්ෂ 5 ලැබුණු පසු කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සිකුරාදා (29) සිට ආරම්භ කරන බව “කෝවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන් කමිටුව” සභාපති ලලිත් වීරතුංග පැවසීය.

එය රජයේ එන්නත්කරණ මධ්‍යස්ථානවලදී පමණක් සිදුකිරීමටයි මේ වන විට සැලසුම්කර ඇත්තේ. ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පළමුවත් කොවිඩ් මර්දන කටයුතු හා සම්බන්ධ ව සිටින ආරක්ෂක අංශ සහ පොලිස් සාමාජිකයන්ට දෙවනුවත්, වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට තුන්වෙනුවත් එන්නත් ලබාදීමට යෝජිතය. එන්නත ලබාගන්නා පුද්ගලයන් ඒ සඳහා තම ලිඛිත කැමැත්ත පළ කළ යුතු වේ. එන්නත්කරණ වැඩපිළිවෙළට අනුයුක්ත සියලුදෙනාට නොමිළේ ලද කොවිඩ් එන්නත නොමිලේ ලබාදීමට නියමිතව තිබේ.

එහෙත් ඉදිරියේදී පෞද්ගලික ආයතන තම සේවකයන් සඳහා ලබාදීමට සිදුකරන ඉල්ලිම් මත එන්නත් ගෙන්වා ගැනිම සඳහා අවශ්‍ය පසුබිමක සකස් කිරිම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇතැයි ලලිත් වීරතුංග සඳහන් කළේය.

මේ වන විටත් මියන්මාරය තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබේ. ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණු “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා” එන්නත මියන්මාරයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගන්නා බව සඳහන් වේ.

ඒ සඳහා පසුගිය සතියේ ඉන්දියාවෙන් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් මියන්මාරයට ලැබී තිබුණි.

Leave A Reply

Your email address will not be published.