කතරගම වල්ලි අම්මා දේවාලය වසයි – මුඛ ආවරණ නොපැළඳි ප්‍රධාන කපු මහතාට කොරෝනා !

කතරගම පූජා භූමියේ පිහිටි වල්ලි අම්මා කෝවිලේ ප්‍රධාන කපු මහතාට හා ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (26) සවස තහවුරු වූ බව මොණරාගල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.
ඒ අනුව විෂබීජහරණය කිරීමෙන් පසු බැතිමතුන්ට දේවාලය විවෘත කරන තෙක් ඊයේ (26) සිට දේවාලය තාවකාලිකව වසා තැබීමට කටයුතු කර තිබේ. ගෙවුණු සති දෙකක කාලය තුළදි පමණක් කතරගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 18 දෙනෙකුම කතරගම ප්‍රදේශයේ අවමගුලකට සහභාගි වීම හේතුවෙන් ආසාදිතයන් බවට පත්වූවන් බවද සමන් දිසානායක මහතා සඳහන් කළේය.
පුද පූජා කටයුතු සිදුකරන අවස්ථා තුළදී කපු මහතා මුඛ ආවරණ පැළඳ නොසිටීම හේතුවෙන් ඉකුත් සති දෙකක කාලය තුළදී වල්ලි අම්මා කෝවිලේ පුද පූජා සඳහා පැමිණි බැතිමතුන් සහ කපු මහතා හා ඔහුගේ බිරිඳ සමග සමීප සබඳතා පැවැත්වූ යම් අයෙකු වේ නම්, ඔවුන් ළඟම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් දැනුම් දෙන ලෙසද කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉල්ලා සිටී.

Leave A Reply

Your email address will not be published.