රශ්මිකගේ ‘ශුක්රාන් කටාර් කුල්ලු කලාස්’

ශුක්රාන් කටාර්හි පරිච්ඡ්ද සියල්ලම කියවා අවසන්ය. කුල්ලු කලාස් යනු අරාබි භාෂාවෙන් සියල්ල අවසන්ය යන්නය. ශුක්රාන් කටාර් යනු කටාරයේ රැකියාවෙි අත්දැකීම් පාදක කරගෙන රශ්මික මණ්ඩාවල විසින් ලියන ලද කෘතියකි. ලංකාවේ දහස් ගණනක් මැදපෙරදිග රැකියාවල නිරත වුවත් ඒ කිසිවෙකුත් තමන්ගේ අත්දැකීම් මෙසේ ලේඛනගත කොට නොතිබූ පරිසරයක මේ එවැනි අත්දැකීම් පාදක කරගෙන මෙතෙක් ලියවී ඇති එකම කෘතියයි. එහෙයින්ම එය ලංකාවෙි පාඨකයන්ට නවමු පාඨක අත්දැකීමකි. ශුක්රාන් කටාර් කියවූ මට සිතුණේ විදෙස්ගත රැකියා අත්දැකීම් කැටිකර ලියනා මෙබදු ජීවන අත්දැකීම් ද නවත ශානර ප්‍රවේශයක් ලෙසිනි. එය විදෙස්ගතව අනේක විද දුෂ්කරතාවන් දරාගනිමින් මෙරටට විදේශ විනිමය රැගෙන එන මිනිසුන්ගේ වැඩ ලෝකයෙන් බිඳක් අපේ දෝතට පත් කිරීමකි.

රශ්මික මෙම කෘතිය හරහා කටාරයේ සේවා අත්දැකීම් හා එහි වැඩ සංස්ස්කෘතියත් විදෙස්ගත ගෝලීය ශ්‍රමිකයන්ගේත් ඔවුන්ගේ මානව බන්ධුතාත් කදිමට විවරණය කරයි. එය බිම නොතියා එක දිගට කියවාගෙන යා හැකි අපූරු වියමනකි. එය සියලු වාර්ගික විෂමතා ශ්‍රමයේ දහඩියෙන් සෝදාහැර මිත්‍රත්වයෙන් එක්ව බැඳුණු මිනිස් කැලතකගේ කතාවකි. වැලිකතරේ උපන් සහජීවනයේ කතාවකි. මෙවැනිම වු හෝ මෙයට වෙනස් විවිධ සංස්කෘතික හැඩතල ගත් තවත් කොතෙකුත් මිනිස් කතා ලොව නන්දෙස විදෙස්ගතව ශ්‍රමය වගුරන මිනිසුන් සතුව පවතී. ඒවාද මෙලෙස කැටිවන්නේ නම් මැනවයි ශුක්රාන් කටාර් කියවා අවසන් වෙද්දී මට සිතිණ.

ශුක්රාන් කටාර් මා සිත තදින් ඇදබැද ගැනීමට තවත් හේතුවක් ද තිබිණි. ඒ අපගේ රටේ ජීවත් වීමට සුදසු රැකියාවක් නොමැතිව විදෙස්ගතවන ශ්‍රමිකයන් බොහෝ දෙනෙකු විදෙස්ගත වූවාට පසු හුදු දේශප්‍රේමයකින් සිහිමුළා වෙද්දී, රශ්මික සීමාන්තික ජාතිකවාදයේ කැළි කසළ බැහැර කරමින් ගෝලීය මානව සහජීවනයෙන් සිය වියමන හැඩගන්වන බැවිනි. එය හෙට ලෝකය අවැසි ලිවීමකි.
-ප්‍රියන්ත ලියනගේ

Leave A Reply

Your email address will not be published.