“අපරාදෙ, ඒ නොවැම්බර්” – හෘදය සංවේදී, නව දෘෂ්ටිවාදී කෙටිකතා අහුරක්

කෙටිකතාව වූ කලී මේ යැයි නිශ්චිතව හඳුන්වාදිය නොහැකි සාහිත්‍ය අංගයකි. ලංකාවේ මෙන්ම ලෝකයේද කෙටිකතාවට වඩා වැඩි අවධානයක් යොමු වන්නේ නවකතාවටය. කෙසේ වුවද කෙටි කතාව ද දීර්ඝ කාලයක් පුරා  විවිධ විශිෂ්ඨ ලේඛකයන් අත පරිශීලනය වූ වැදගත් සාහිත්‍ය අංගයකි. කෙටිකතාව ගැන පළවන විවිධ අදහස් අතර ඇමරිකානු ලේඛකයෙකු සහ ප්‍රහසන ශිල්පියෙකු වන ඩේවිඩ් සුඩාරෙස් පවසා ඇති මේ අදහසට මගේ වැඩි අවධානය යොමු වෙයි. එනම්,

“A good short story takes me out of my self and then stuff me back in, outsized and uneasy with the fit.”

යන්නයි. එ අනුව හොඳ කෙටිකතාවක් අප සැඟවී සිටින මේ ශරීරය නැමැති රූපකායෙන් අපව පිටතට රැගෙන, හිටියාට වඩා වෙනස් ප්‍රමාණයකින් අපව නැවත ශරීරයට බහාලයි. එවිට අපට ඒ ශරීරය තුළ ඇඳීමේ අපහසුවක් දැනෙයි. අපරාදේ ඒ නොවැම්බර් කෙටි කතා මාලාව කියවාගෙන යන විට මට පෞද්ගලිකව දැනුණු හැඟීම මේ ප්‍රකාශයෙන් වඩාත් තීව්‍ර ව සඳහන් කර තිබේ.

කෙටිකතාව වනාහි සීමිත චරිත කිහිපයක් සමඟ ගමන් කරන සීමිත සිදුවීම් මාලාවකින් සමන්විත රචනයකි. එහි බලපෑම අප තුල ක්ෂණිකව පැන නැගී ශරීරයම පුරවා දමයි. මේ කෘතියේ එන එවැනි දෘෂ්ටිවාදීමය  කෙටි කතා ලෙස ‘අපරාදේ ඒ නොවැම්බර්’ සහ ‘ජීතේන්ද්‍ර නම් වූ විගාමිකයා’ සඳහන් කල හැකිය. මේ කතා ද්විත්වයම කතුවරයාගේ දේශපාලනමය දේහයෙන් පැන නගිණ ඒවා බැව් පෙනේ. වර්ථමානය තුළ අපේ පැවැත්ම සහ ධනවාදය හා නව ලිබරල් පරිභෝජනවාදය හරහා අපට අප අමතක වීම කෙටිකතා කිහිපයකම කතුවරයා ප්‍රශ්න කරයි.

මා වඩාත් සිත් ගන්නේ ඔහුගේ හෘදය සංවේදී කතා කීමේ කලාවයි. ඒ වචන හරහා බොහෝ සෞම්‍ය ලෙස ගොඩනගන චරිත සහ පරිසර වැනුම් හෘදය සංවේදී කරමින් පාඨකයා තුළ නව සිතුවිලි සහ චින්තනයක් ඇති කිරීම සඳහා දායක වන බව කිව හැකිය. ‘නර්මදා නදියෙහි දෙ ඉවුර මත’,  ‘සර්ග තුන හතරක්’, ‘ඉවර වෙන්නට කලින්’ වැනි කෙටි කතා තුළ ඔහු භාෂාව ගොඩනගන ඒ සංවේදි භාවය කියවීමේ භාවයන් සංවේදනය කරයි.

“වෙරළේ ඈත කොනක මේසයක් වාසනාවට ඉතිරි වෙලා තිබුණා. ඝෝසාව අස්සේ ජීවිතය විදින හැටි මට ඉස්කෝලෙන්වත්, විශ්ව විද්‍යාලයෙන්වත් උගන්නලා තිබුණේ නැහැ. ඒක මට ඉගැන්නුවේ මහ මුහුද” පිටුව 25

යම් පමණකට ජපන් කෙටිකතා ආභාෂය මේ කෙටිකතා අතරින් කිහිපයක මට දැනෙයි. විශේෂයෙන්ම රූපක සහ සංකේත භාවිත කිරීම, අතීතයට හා වර්ථමානය අතර දේලනය වන ස්වභාවය ඒ අතරින් ප්‍රමුඛ වෙයි. කෙටිකතාව මගේ ප්‍රියතම සාහිත්‍ය අංගයක් බැවින් මේ සියල්ල සමඟ මගේ බද්ධවිම ආත්මීයයි. මේ කෙටි කතා හත අතරින් යම්‍ අඩුවක් මට දැනේනේ නම් ඒ ‘වසුමති පූජාව’ යන අවසන් කෙටිකතාවේ පමණය. එහි ප්‍රබන්ධමය ගතියේ අඩුවීමක් සහ අවිඥානිකව ලේඛකයා වෙනුවට කපිල.එම්. ගමගේ මතුවීමක් පෙනෙයි. මේ සියල්ල හුදෙක් මගේ අත්දැකීම පමණය. ඔබට මේ සියල්ලම වෙනස් මානයකින් කියවා ගත හැකිය. ඒ සඳහා අපරාදේ නොසිතා ‘අපරාදෙ, ඒ නොවැම්බර්’ කියවන මෙන් මම ඔබට ආරාධනය කර සිටිමි.

-රශ්මික මණ්ඩාවල (fb)

Leave A Reply

Your email address will not be published.