“රට බේරගන්න ආපු ජනාධිපති කොමිෂන් දාලා හොරු බේරගන්නවා”

දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා පත්කළ කොමිෂම රාජපක්‍ෂ පවුලේ අයට සහ සමීපතමයන්ට තිබෙන නඩුවලින් ඔවුන් නිදහස් කරගැනීමට මේ කොමිසම පත්කළ බවත් අපි ඒ කාලයේදීම ජනතාවට කිවූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී  අද (26) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා,
“දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා පත්කළ කොමිෂන් සභාවේ පිටු 2,000කට වැඩි වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ අරමුණ දේශපාලන පලිගැනීම් කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගන්න නියමිතයි. ඉදිරිපත්කර තිබෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඇමුණුම් 3ක් තිබෙනවා.”

“පළවැනි ඇමුණුම දූෂණ විරෝධී කමිටුව සහ ලේකම් කාර්යාලය සිදුකළ පොදු දේපොළ අවභාවිතය සම්බන්ධයෙන්. මෙයට අදාළව චූදිතයන් 22ක් නම්කර තිබෙනවා. ඇමුණුම් 02 සහ ඇමුණුම් 03 තුළ විශාල නඩු ප්‍රමාණයක් ඉවත් කිරීමේ නිර්දේශ ඇතුළත්. දෙවැනි ඇමුණුමෙන් මහාධිකරණයේ විභාගයට ලක්වන නඩු 61ක් ඉවත් කරගන්න නිර්දේශ කර තිබෙනවා. තුන්වන ඇමුණුමෙන් නඩු 18ක් ඉවත්කර ගන්න නිර්දේශ කරනවා. නඩු 79ක් ඉවත් කරගන්න කොමිසම නිර්දේශ කරන අතර මේ නඩුවලින් චූදිතයන් කර ඇති අයට සහන සැලසීමත් ඔවුන්ට නඩු පැවරූ අයට දඬුවම් දීමත් නිර්දේශ කර තිබෙනවා. ගැටළුව තිබෙන්නේ මෙතැනයි.”

“හැම ආණ්ඩුවක්ම විශාල වශයෙන් වංචා දූෂණ සිදුකළා. ඊට විරුද්ධව විශාල ජන මතයක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ දූෂණ විරෝධී හඬ පිහිටුවාගෙන මහජන මුදල් වංචා කළ අයට එරෙහිව විශාල පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත්කර තිබෙනවා. මහාධිකරණයේ නඩු විභාග කරමින් තිබියෙදී ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත්කර දේශපාලන පලිගැනීම් නිවැරදි කරන නාමයෙන් අධිකරණයේ නඩු ඉවත් කරගන්න කරන උත්සාහයක් මේක. රාජපක්‍ෂ පවුලේ අයට සහ සමීපතමයන්ට තිබෙන නඩුවලින් ඔවුන් නිදහස් කරගැනීමට මේ කොමිසම පත්කළ බවත් අපි ඒ කාලයේදීම ජනතාවට කිව්වා. ඇමුණුම් දෙකක තිබෙන නඩු 79ක් ඉවත් කර ගෙන නඩු පවරපු අයට දඬුවම් කරන්න සූදානම් වෙන්නේ මේ නිර්දේශ අනුවයි. මෙය ඉතා බරපතල තත්වයක්. ඇමති මණ්ඩලයෙන් මෙම කැබිනට් පත්‍රිකාව සම්මත කරගන්නකොට මහාධිකරණයෙන් නඩුවක් පැවරී තිබෙන උදය ගම්මන්පිල මහත්තයා ඒ වෙනුවෙන් අත උස්සනවා. එයා නඩුවක් තියෙන කෙනෙක්. තමන්ගේ නඩුව ඉවත් කරගන්න තමන්ම අත උස්සනවා. ”

මෙම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ද සහබාගි විය.

 

Leave A Reply

Your email address will not be published.