“පුරාවෘත්තයේ එන විභීෂණ වගේ අද ගෝටාබය රට ඉන්දියාවට පාවාදී කෙළවර කරුනු ඇත”

-පූජ්‍ය මැදගොඩ අභයතිස්ස

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට රජය ඉදිරියේදී කටයුතු කළහොත් ආණ්ඩුව බරපතළ අර්බුදයකට යා හැකි බවත් මේක හරියට රාම – රාවණා ඓතිහාසික පුරාවෘත්තයේ එන විභීෂණ මෙන් වර්තමාන මහින්ද – ගෝටාබය දෙදෙනාගෙන් මල්ලී රට ඉන්දියාවට පාවාදී කෙළවර කරුනු ඇතැයි ද මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

ඊයේ (25) දිනයේ වරාය වෘත්තිය සමිති ඔවුන්ගේ යෝජනා මැදගොඩ අභයතිස්ස හිමියන්ට පිළිගැන්වූ අවස්ථාවේ දී මෙම අදහස් මාධ්‍යට ඉදිරිපත් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් 49%ක් ඉන්දිය සමාගමකට ලබාදීම සඳහා යෝජනාවක් රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත්ව ඇති අතර ඊට මේ වනවිට වරාය වෘත්තිය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් විරෝධය පළකරති.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අභයතිස්ස හිමියන්,
“මේක ඉන්දියානු ආක්‍රමණයේ තව එක කොටසක්. අවුරුදු දහස් ගණනක් ස්වෛරීව පැවතුණු මේ රාජ්‍යය ක්‍රමානුකූලව ඉන්දියාවේ තවත් එක ප්‍රාන්තයකට අරගෙන එන වැඩපිළිවෙලක් දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වෙනවා. මෝදි අග්‍රාමාත්‍යතුමා යම් විදියකින් මේ වරායෙන් ජයග්‍රහණය කළොත් අර රාම – රාවණා කතාවෙ රාවණා පරද්දලා රාම ජයගන්නවා වගේ සිද්ධියක් වෙනවා. ඒ කියන්නෙ හෙට දවසේ ලංකාව දෙවැනි වතාවටත් භාරතය විසින් පරාජයට පත් කරනවා.

ඉන්දියාව මොනම හේතුවක් නිසාවත් අපේ රට දියුණු වෙනවාට, සෞභාග්‍ය කරා යනවාට කැමති නැහැ. අපි ඒ සෞභාග්‍ය අත්පත් කරගන්නකොට තමයි රාම එන්නේ. රාම එන්න කලින් එවනවානෙ හනුමන්තා. හනුමන්තා කියන්නෙ ගිනි තියන්න එන එක්කෙනෙක්නෙ. වල්ගෙ ගිනි තියාගෙන රටවටේ ගිනි තිබ්බා කියලානෙ කියන්නෙ. වල්ගෙට ගිනි තියාගෙන වඳුරෙක්ට පුළුවන්ද කොච්චරක් රටවටේ ගිනි තියන්න ?

ඒ කියන්නෙ ඇතුළෙ කතාව තමයි ඔත්තුකාරයො ලංකාවට එනවා, ඇවිල්ලා තැන තැන ගිනි තියනවා. එහෙම ගිනි තියතියා ගිහිල්ලා අන්තිමට ලංකාව අවුල් තත්වයකට පත්වෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ. මේ ගින්නෙ ප්‍රබලම තැනට එනවා. අයියයි මල්ලියි තරහා වෙනවා. අයියයි මල්ලියි කියන්නෙ කවුද. රාවණායි විභීෂණයි. අන්තිමට විභීෂණ, ඒ කියන්නෙ මල්ලි පාවා දෙනවා. අන්තිමට අර අයියා ගොඩනඟපු මහා රාජ්‍ය විනාශවෙලා ගිහිල්ලා අවසාන වශයෙන් විභීෂණට සිද්ධ වෙනවා තමන්ගෙ රාජ්‍යයත් නැතිකරලා ඒ තරම් මේ රට පාවාදුන්නු කෙනෙක් බවට පත්වෙන්න.

මේක රාම රාවණා කතාවෙ තියෙන සැබෑ කතන්දරේ. එතකොට අද ඉන්දියාව එන්නේ මේකටමයි. අපි මේ ආක්‍රමණයට අහුවෙලා ඉන්නවා කියන එක දැනගන්න ඕනෙ”.

 

Leave A Reply

Your email address will not be published.