මියගිය දියාගෝ මැරඩෝනා සහ ජීවත්වන පෝලා දපෙනා

මෙම ඡායාරූපය අප උපුටා ගන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරිය සහෘදයාගේ ෆේස්බුක් පිටුවෙනි. මෙතන සිදුවීම් දෙකකි. පළමුවැන්න ශෝකය ප්‍රකාශ කිරීමක් වන අතර, එසේ සොව පළ කෙරෙන්නේ පසුගිය දිනෙක මෙලොවින් සමු ගත් සුප්‍රකට ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා වෙනුවෙනි. දෙපයින් නැඟී සිටින ක්‍රීඩිකාවෝ දස දෙනෙක් ඔහු වෙනුවෙන් විනාඩියක නිහඬතාවකින් සිය ශෝකය පළ කරති. දෙවැන්න විරෝධය ප්‍රකාශය කිරීමකි; අර ශෝක ප්‍රකාශයට එදිරි විරෝධ ප්‍රකාශනයකි. අනෙක් පස හැරී බිම හිඳගෙන සිටින ගැහැනිය එසේ සිය විරෝධතාව ප්‍රකාශ කරන්නී ය. ඒ ඇයි ? ඇය මෙසේ කියයි:
“‍එයාව මේ විදියට සමරන්න යනව කියල දැනගත්ත ගමන් මං තීරණය කෙරුවා, ස්ත්‍රී දූෂකයෙක්, ළමා අපචාරකයෙක්, අපයෝජකයෙක් වෙනුවෙන් මං විනාඩියක නිශ්ශබ්දතාවක් රකින්නේ නෑ කියලා… මැරඩෝනා විස්මිත ක්‍රීඩකයෙක්. ඒත් පුද්ගලයෙක් හැටියට එයා එහෙම හොඳ කෙනෙක් නෙවෙයි… වින්දිතයා වෙනුවට අපචාරකයා තෝරාගැනීමත්, ඔහුට ගෞරව ප්‍රණාම දැක්වීමත් මගේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ඉතින් ඒක කරන්න මට බැරිවුණා.”‍

වෘත්තියෙන් ගුරුවරියක වන විසිහතර හැවිරිදි පෝලා දපෙනා ස්පාඤ්ඤයේ පාපන්දු ක්‍රීඩිකාවක ලෙස ද කටයුතු කරන්නී ය. පසුගියදිනෙක එරට, ඇය ද සහභාගී වූ අන්තර් සමාජ පාපන්දු තරගයක් ආරම්භයේ දී මේ දෙසිදුවීම් සිදු විය. සිය කණ්ඩායමේත්, ප්‍රතිවාදී කණ්ඩායමේත් ක්‍රීඩිකාවන් මැරඩෝනා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවකට පෙළගැසෙද්දී පෝලා දපෙනා ඊට එරෙහිව යමින් අනෙක් පස හැරී බිම ඉඳ ගත්තා ය. එහි ප්‍රතිඵලය නාමික සහ නිර්නාමික මරණ තර්ජන බව දැන් දැනගන්නට ලැබෙයි. නමුත්, ඇය නොබියව සිය මතය සහ ක්‍රියාව වෙනුවෙන් පෙනී සිටින්නී ය.

නේක වර්ණ තරු එළි යට සැඟවුණ කළු‍ කුහර ගැන බොහෝ දෙනා නොදන්නවා නොවේ. නමුත්, එවැනි කළු කුහර පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීමටත්, ඊට එරෙහිව හඬක් නැඟීමටත් තරම් සමාජ නිර්භීතභාවයක් ඇත්තේ, කීයෙන් කී දෙනාට ද? එබැවින්, මේ තරුණ ගැහැනිය සිය ක්‍රීඩා දිවිය පමණක් නොව සාමාන්‍ය එදිනෙදා ජීවිතය ද අනතුරේ හෙළා ගනිමින් දැක් වූ විරෝධතාවටත්, ඇයගේ නිර්භීතභාවයටත් අපේ නිසැක ආචාරය හිමි විය යුතු ය. එකී ආචාරය මේ කුඩා දූපතේ සිට යුරෝපා මහාද්වීපය වෙත පා කර හරිමින් අපි නැවතත් මේ ඡායාරූපය දෙස අපේ අවධානය යොමු කරමු.

එහි ප්‍රශ්න කීපයකි. මෙතැන පෝලා දපෙනා දෙපස සිටින ඇගේ සහෝදර ක්‍රීඩිකාවන් දෙදෙනා සිනාසෙන්නේ ඇයට ද? නැතිනම් පෙරදා එක්ව නැරඹූ විකට චිත්‍රපටයක ජවනිකා සිහි වී ඔවුහු සිනාසෙන්නෝ ද? තවත් ක්‍රීඩිකාවක් දෑතින් මුහුණ වසා සිටින්නේ ඇයි ? අව් රශ්මියෙන් ආරක්ෂා වීමට ද? නැතිනම් මේ කාචගත වන නිමේෂයෙන් ගැලවෙන්නට ද? කීප දෙනෙක් බිම බලාගෙන සිටිති. ඔවුන් සැබැවින් ම මැරඩෝනා ගැන ශෝක වනවා වන්නට පුළුවන. තවත් සමහරු අහක බලාගෙන සිටිති. තුෂ්නිම්භූත මුහුණු ය; හැඟීම් විරහිත ලකුණු ය. මේ ක්ෂණික නිමේෂයේ අපට සිතා ගත හැකි-නොහැකි හේතූන් කීපයක් හෝ බොහොමයක් නිසා ඔවුහු විවිධ ඉරියවුවලින් පසුවෙති. නමුත්, සංකේතාත්මකව ගෙන බැලූ විට මේ ඡායාරූපය අපේ රට ද ඇතුළත් සමස්ත ලෝකයේ බහුතරය සහ සුළුතරය අතර වෙනස කදිමට ප්‍රතිබිම්බනය කරන අපූරු කැඩපතක් නොවේ ද?
අනුපාතය දහයට එකකි. දහය අපට මතුපිටින් පෙන්වන ජයප්‍රිය, හුදු, පහසු මතය වෙනුවෙනි. එසේ ජීවත් වීම ඉතා පහසු ය. ප්‍රශ්න අවම ය. එක, ඒ ජනප්‍රිය මතය විනිවිද දකින යටිපෙළ ඇත්ත වෙනුවෙනි. එසේ ජීවත් වීම අපහසු ය. අතිශය දුෂ්කර ය. දෙපස හිඳිනා උන් අර තනි එකාට සිනාසෙති. ඉන් මෙල්ල කර ගත නොහැකි වුවහොත්, පසුව බැණවදිති. තව සමහරු මුහුණු වසාගෙන හෝ බිම බලාගෙන නොදැක්කා සේ හිඳිති. තවත් උන් ඇත්තට ම අහක බලාගෙන ය. උපහාසයෙන් පිරුණ හෝ කෝපයෙන් රතු වුණ හෝ ඇත්තට ම තුෂ්නිම්භූත වූ මුහුණු ය; ඉතින් හැඟීම් විරහිත ලකුණු ය. එනයින් ගෙන බලන විට මේ වෛවර්ණ ලෙස කාචගත වී තිබෙන්නේ අප මේ ගත කරන නරුම මොහොතෙහි ම අඳුරු හරස්කඩක් බව නිගමනය කිරීම වරදක් ද?

පෝලා දපෙනාගේ අනාගතය කුමක් වනු ඇද්දැයි අපි දැනට නොදනිමු. නමුත්, මුළු මහත් ලෝකයක අනාගතය මේ ගෙවී යන නිශ්චිත – තීරණාත්මක මොහොතේ අප ඉදිරියේ ගල්ගැසී ඇත. ඇතැම් විටෙක මනුෂ්‍යත්වය වෙනුවෙන් නිර්භයව පෙනී සිටීම වසංගතයක් සුව කළ හැකි එන්නතක් සොයා ගන්නවාටත් වඩා අපහසු විය හැකි ය. නමුත්, අප එය කළ යුතු ය; කළ හැකි ය. ඇස් නිලංකාර කරවන ආලෝකයට දැපනෙ නොවැටී සත්‍යය, සොබාදහම සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින පෝලා දපෙනෙලා රටට, අපට සහ හෙටට වැඩිපුර අවැසි වන්නේ එබැවිනි●
(ඡායාරූපය, තොරතුරු මූලාශ්‍ර සහ පෝලා දපෙනාගේ ප්‍රකාශ උපුටා ගැනීම: මාධ්‍යවේදී සනත් බාලසූරියගේ ෆේස්බුක් ගිණුමෙන් සහ අන්තර්ජාලයෙන්)

-කසුන්  සමරතුංග

Leave A Reply

Your email address will not be published.