“මා වඩාත්ම කැමති කෘතිය චාලි චැප්ලින්ගේ ස්වයං ලිඛිත අපදානය ‘මගේ දිවිසැරිය‘”

තමන් විසින් පරිවර්තනය කරන ලද කෘති අතරින් වඩාත්ම කැමති කෘතිය කුමක්දැයි කවුරුන් හෝ මගෙන් ඇසුවහොත් මා එක්වරම දෙන පිළිතුර එය දරුවන් අතරින් වඩාත්ම ආදරේ කවර දරුවාටදැයි අසනවා වැනි අසාධාරණ පැණයක් බවයි. එවන් තත්වයක් යටතේ වුව  මවිසින් පරිවර්තිත ‘මගේ දිවිසැරිය‘ කෘතිය දෙවන වර මුද්‍රණය වන බව විදර්ශන ප්‍රකාශන ආයතනයේ ජනක සහෝදරයා පැවසූ කළ මා අත්විඳි සතුට ඉතා විශාලය. ක්ෂණිකව වේගයෙන් අලෙවි නොවන එහෙත් මුද්රණ වියදම වැඩි මේ කෘතිය නැවතත් පාඨකයා අතට පත් කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මම ජනකට කෘතඥවිය යුතු යයි සිතමි. ඒ මෙය නැවත වෙළඳ පලට එන්නේ කවදාදැයි මගෙන් නිතර විමසූ පාඨකයන් වෙනුවෙනි.
සැබැවින්ම මේ කෘතිය යනු මා ඉතාම දැඩි වෙහෙසක් මෙන්ම විශාල කාලයක්ද දරා පරිවර්තනය කරන ලද කෘති කිහිපයෙන් එකකි. මේ හා සමානම වෙහෙසක් මවිසින් දරන ලද අනෙක් කෘතිය මගේ දිවි සැරිය හා සසඳන කළ පිටු සංඛ්යායවෙන් ඉතා අඩු මස් මඩුව අංක පහ කෘතියයි.

චැප්ලින් චරිතය යනු කලා භාවිතාවන්හී නිරත අය පමණක් නොව ඉන් බැහැර සාමාන්ය පාඨකයන් පවා නොවරදවාම කියවිය යුතු අපදානයක් බව මගේ විශ්වාසයයි. ඔහු ලලනාලෝලියෙකි යන විවේචනය- එය අසත්යවයක් නොවේ- සමගම ගත්තද නිර්මාණකරුවකු ලෙස ඔහු සිනමාවට කළ සේවය අදටත් අවිවාදිතය. එසේම දිළිඳු දරුවකු ලෙසින් දිවි ගමන අරඹා ඔහු ආ ගමනද සැබැවින්ම අභියෝග පිරි වීර කාව්යායක් වැනිය. ඔහුගේ ජීවිතය යනු ලෝක ඉතිහාසයේ මෙන්ම සිනමා ඉතිහාසයෙහිද එක් පරිච්ඡේදයක් කියවීමකි.
චැප්ලින් චරිතය පරිවර්තනය කිරීම යනු දැඩිව අවධානය ඉල්ලා සිටි එසේම වෙහෙසකර නොවූ ව්යාකයාමයකි. ඊට එක් හේතුවක් වූවේ මේ පරිවර්තනයට අතගැසූ මොහොතේ පටන් මා ලද දිරිගැන්වීම්ය.

එහිදී ෂෙල්ටන් පයාගල සහෝදරයා ඉදිරියෙන්ම සිටී. මා චැප්ලින් අපදානය සිංහලට පරිවර්තනය කරන්නට යන බව ඇසූ පළමු මොහොතේ පටන් ඔහු චැප්ලින් පිලිබඳව රචිත, තමන්ට සොයාගත හැකි සෑම කෘතියක්ම මට ගෙනත් දෙමින් මා දිරිගැන්වීය. චැප්ලින් ගේ සමකාලීනයෙක් මෙන්ම දේශපාලන දැක්ම අතින් චැප්ලින්ට වඩා ඉදිරියෙන් සිටි බස්ටර් කීට්න් සමග චැප්ලින් සසඳමින් ඔහු කළ විවිධ විචාරයන් මගේ දැනුම වර්ධනය කළේය. වරෙක ඔහු චිත්රපට සංස්ථාවේ සිනමා පාඨමාලාවක දේශන කිරීමෙන් ලද රුපියල් හත්දහස් පන්සියයක් මිටමොලවාගෙන මා සමග බම්බලපිටියෙහි සීඩී අලෙවිසැලකට ගොඩවැදුනේ ඒ මුළු මුදලම වියදම් කර බස්ටර් කීට්න්ගේ සිනමා පට එකතුවක් මිලට ගෙන මා අත තැබීය. ඉන්පසු තේ කෝප්පයක් බීමට වත් ඔහු අත මුදල් තිබුණේ නැත. ඒ අතරවාරයේ සාමූහිකව මෙන්ම අප දෙදෙනා පමණක් එක්වද අප නිවසෙහි චැප්ලින් සිනමා පට නරඹමින් කළ සාකච්ඡා මට අතිශය වැදගත් වීය. ගෝර්කි සහ චැප්ලින් යන් චරිතද්වයම කෙරේ තදින් බැ‍ඳුන ෂෙල්ටන් පයාගල මේ කෘතිය පරිවර්තනයෙන් එළි දකින දවස අපේක්ෂාවෙන් සිටියේ එය පාඨකයන් අතරට ගෙනයාම සඳහා විවිධ සැලසුම් මහත් උද්යෝගයෙන් ඉදිරිපත් කරමිනි. එහෙත් ඔහු නොසිතූ මොහොතක අපෙන් වෙන්ව ගියේ මෙහි පිටපතක් දකින්නට අවස්ථාව නොලැබය.

මේ අතර පීබී ජයසේකර සහෘදයා තමන් සුරැකගෙන සිටි පරණ ටයිම්ස් සඟරාවක් මට දිනෙක එවීය. ඒ චැප්ලින් වෙනුවෙන් මුද්රණය කරන ලද කලාපයකි. මේ සියළු දැයින් පෝෂණය වූවේ මගේ දිවිසැරියෙහි එන ඡායාරූප එකතුවයි. ඒ සියල්ල සකසන්නට මගේ වදකිරීම් මැද දිනිඳු සිරිවර්ධන සහෝදරයා දැරූ වෙහෙසද යළි මට සිහිපත් වෙයි. පරිවර්තනය පිණිස මා වෙත වූවේ විජිත යාපා පොත හලින් ගත් සාමාන්යි බැම්මෙන් යුත් පිටපතකි. ඒ අතර ජනක දිනක් මට එහි ගන බැම්මෙන් යුත් පිටපතක්ද දුන්නේය. මම එය කෑදරකමින් ගෙන ගොස් රාක්කයේ තැන්පත් කළෙමි. ඔහුට එය ආපසු නොදුන්නෙමි. ඉතා හොඳ මතකයක් ඇති ඔහු එය මා වෙත බව නොදන්නවා නොවේ. එහෙත් ඔහු එය මගෙන් ආපසු ඉල්ලුවේ නැති. එසේම ඉල්ලුවද එය ඔහුගෙන් ලද ත්යානගයක් ලෙස මා සන්තක කරගන්නවා හැර ආපසු දෙන අපේක්ෂාවක්ද නැති. මා අද මේ සටහන ලියන්නේ පරිවර්තන කාර්යය යනු හුදෙකලා ව්යානයමයකට වඩා ඔබ්බෙන් ඇති කටයුත්තකැයි මා විශ්වාස කරන හෙයිනි. එය කෙසේවත් වචන මත නැතිනම් පිටු ගණන මත ලංසු තබනා ඉපයුම් කාර්යයක් නොවේ. එය දේශපාලනික කාර්යයකැයි රාග රිද්ම කෘතිය අපට තිළිණ කරමින් පසක් කළ ගාමිණි වියන්ගොඩ සහෝදරාත්මකව සිහිපත් කරමින් සඳහන් කළ යුතුමය.

ඉදින් මගේ දිවිසැරියෙහි දෙවන මුද්රණය පිටවන දින මමද ඒ අපකේෂාවෙන් සිටි පාඨකයන් හා සමානම සතුටකින් එහි පිටපතක් අතට ගන්නට බලා සිටිමි. මෙය හුදෙක් රාක්කවල සිරගතවන කෘතියක් නොවී පුළුල් පාඨක පිරිසකට යන්නේ නම්, පාසල් වියෙහි පසුවන දරුවන්ට මෙය කියවන්නට කාලයක් වෙන් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නම් ඉතා වටී. දේශපාලකයන් මතු නොව හාස්යෝලත්පාදක ශීල්පීන් බොහෝ දෙනකු පවා මිනිසුන්ට හාස්යනය මවන්නට ගොස් භීතියම දනවන වර්තමානයක චැප්ලින් අද්විතීය චරිතයකි. අද අප සිටිනුයේ ඔහුගේ මොඩර්න් ටයිම්ස් සිනමා පටයෙහි එන ආහාර කැවීමේ යන්ත්රය යථාර්තයක් බවට පත්වන සමාජයකය.
හිට්ලර්ලා ඉල්ලන සමාජයක නොව චැප්ලින්ලා පෙලහර පාන සමාජයක ජීවත් වන්නට අපේ අනාගත පරපුරට ඉඩ සලසන්නට අපට හැකි නම් අවම තරමින් අප අපෙ ජීවිත අර්ථවත්ව ගෙවූයේ යිය සතුටින් නික්ම යන්නට අපට හැකිවනු ඇත.
-චුලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.