නිල්, කොල ආණ්ඩු අපි දිහා බැලුවෙ නෑ. තවලම් යන මිනිස්සු අද කියන කතාව 

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩුගස්තලාව, පේරපිටිය යන ගම්මානවලට යාමට  පාරක් නොමැති වීමෙන් එම ගම්වාසීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි වාර්තා වේ. අධිවේගී පාරවල් ගැන කතා උදේ සිට මාධ්‍ය තුළින් අසමින්, දකිමින් තවලමක බඩු පටවාගෙන පයින්ම නගරයට යාමට තමන්ට සිදුව ඇතැයි ඔවුහු පවසති.

එම ගම්මානවල පාසල් දරුවන්ට දිනපතා කිලෝමීටර් 8-10ක් පමණ දුරක් දුෂ්කර මාර්ගයක පා ගමනින්ම යාමට සිදුව ඇතැයි දෙමාපියෝ පවසති.

ඒ අනුව පස්සර නගරයේ සිට කිලෝමීටර් නවයක් පමණ බස්රථයකින් මඩුගස්තලාව දක්වා පැමිණ එතැන් පටන් සිය බඩු මලු කර තබාගෙන දියකඳුරු තරණය කරමින් පයින්ම ගමට යාමට පේරපිටිය වැසියන්ට සිදුව ඇත.

“ළමයින් පාසලට යාමේ දී හදිසි ලෙඩක්, දුකක් වුණු වෙලාවක අපි පුදුම දුකක් විඳින්නේ. පාන්දරම පාසල් යන ළමයි ආපසු එනකොට හැන්දෑ වෙනවා. හදිසි අසනීපයක් වුණොත්, මරාපු සතෙක් ගෙනියනවා වගේ කදක බැඳගෙනයි මඩුගස්තලාවට යනකම් අරන් යන්නේ. පස්සරට කිලෝමීටර් 15ක විතර දුරින් හිටියත් තාමත් කැලෑ ගමක වගේ අපි දුක්විඳිනවා. කාලෙන් කාලෙට අපිව රවට්ටලා බලය ගන්න නිල්පාට, කොලපාට ආණ්ඩු කවදාවත් අපි දිහා හැරිලා බැලුවෙ නම් නෑ” යනුවෙන් එම ගම්මානවල ජනතාව පවසති.

පස්සර – විජිත කාරියවසම්
Leave A Reply

Your email address will not be published.