වැඩ කරන අපේ දරුවා ‘සැලසුමට’ අනුව කෙරුවා !

ඔළුව කසන සැලසුම්

බහුතරයට අනුව කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය විකිණීමේ උත්සාහය නැතහොත් ජනාධිපතිවරයාට අනුව ඊට ආයෝජන ගෙන ඒමේ ආණ්ඩුවේ තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේම ප්‍රශ්න මතු වෙමින් තිබේ. මේ ආණ්ඩුව බලයට පත් කරන්නට වෙහෙස වූ පාර්ශ්ව ම අදාළ තීරණය ප්‍රශ්න කරමින් සිටී. වරාය ඇතුළේ පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ, එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති සියල්ල මීට එරෙහිව එක්ව සිටී. ඒ එක්වීම නිසා එළියේ පුළුල් මතයක් ඇති වෙමින් තිබේ. මේ පිළිබඳ ජනතා අවධානය වෙනත් පැත්තකට යොමු කරන්නට නියෝග මත වැඩ කරන මහත්වරු ඔළුව කසමින් සැලසුම් සකස් කරමින් සිටිති. මේ හමුදා පුහුණු කතාවත් එයින් එකකි. එහෙත් එය අනෙක් සැලැසුම්වලට වඩා ඇත්ත සමඟ මිශ්‍ර වූ කතාවකි.

විනයවත් නඩුදාරීන්

මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ඇමැති සරත් වීරසේකර පවසා තිබුණේ, අවුරුදු 18ට වැඩි සියලු‍ම තරුණ, තරුණියන්ට හමුදා පුහුණුව අනිවාර්යය කිරීමේ යෝජනාවක් තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවයි.

“අවුරුදු දහඅටෙන් ඉහළ තරුණ, තරුණියන්ට අපි හමුදා පුහුණුවක් දිය යුතුමයි. ඉතිං ඒ යෝජනාව මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මගේ යෝජනාවක්. ඒ යෝජනාව කරන්නෙ වෙන මොකක්වත් හින්දා නෙවෙයි, ඒ යෝජනාව කරන්නෙ රටේම යහපතට.

“හමුදා පුහුණුව කියන එකට කවුරුත් භයවෙන්න ඕනෙ නෑ. මොක ද? හමුදා පුහුණුවකින් තමයි, මිනිහෙකුට කෙළින් හිටගන්න

පුළුවන් වෙන්නෙ. ඇස් දෙක දිහා බලලා කතා කරන්න පුළුවන් වෙන්නෙ. පෞරුෂත්වය නැංවෙන්නෙ. නායකත්වය පිළිබඳ ගුණාංග ඇතිවෙන්නෙ ඒ හමුදාවෙන්. ඒ වගේම තමයි, නීතියට ගරු කරන එක, විනයක් ඇතිවෙනවා, හික්මීමක් ඇතිවෙනවා, ඒ අයට වගකීමක් පැවරෙනවා. මේ දේවල් තමයි, ඒ පුහුණුවෙන් කරන්නෙ.”

ඇමැතිවරයා කියන විදිහට හමුදා පුහුණුවෙන් විනයක් ඇතිවෙන්නේ නැත. එහෙම නම්, ජනාධිපතිවරයා ද ඇතුළත්ව හමුදාවේ සිටි, හමුදා පුහුණුව ලත් පුද්ගලයන්ට එරෙහිව මෙතරම් නඩු තොගයක් ලංකාවේ නීත්‍යනුකූල අධිකරණ පද්ධතියේ විභාග වෙමින් පැවතියේත්, පවතින්නේත් කෙසේ ද? අවශ්‍ය වන්නේ ආකල්පවල දියුණුවකි. අලු‍තින් හිතන මිනිසුන් ය.

පාසලේ සිට 18 දක්වා

පාසල් ගුරුවරුන් ලෙස හමුදා නිලධාරීන් යෙදවීම සහ හමුදාවට උපහාර දැක්වීමේ විවිධ වැඩසටහන් පාසල්වල ක්‍රියාත්මක කිරීම වැනි උපක්‍රමත්, අවුරුදු 18 ඉක්ම වූ තරුණ, තරුණියන්ට හමුදා පුහුණුව අනිවාර්යය කිරීමේ යෝජනාවත් මිලිටරි මානසිකත්වයක් සහිත දරුවකු මෙන්ම තරුණයකු ගොඩනැඟීමේඅරමුණින් සිදු කරන ඒවා බව අධ්‍යාපන මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි.

වව්නියාවේ දුෂ්කර පාසල් කිහිපයක ගුරු හිඟයට විසඳුම් ලෙස ගුවන් හමුදා නිලධාරීන් අදාළ පාසල්වල අධ්‍යාපන කටයුතු සඳහා යෙදවීමට සැලසුම් කර තිබිණි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කළ විමසීමේ දී අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස් මහතා පවසා තිබුණේ, තමන් එවැන්නක් පිළිබඳව නොදන්නා බවයි. කෙසේ වෙතත්, ඇමැතිවරයා නොදැනුම්වත්ව වුව ද, එවැනි සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ගුරු සංගම් පෙන්වා දුන්නේ ය. ගුරු සංගම්වල සහ අධ්‍යාපනඥයන්ගේ දැඩි විරෝධය නිසා එම සැලසුම මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබේ. එසේම විශ්‍රාමික හමුදා නිලධාරීන් විදුහල්පතිවරුන් ලෙස සේවය කරන ඇතැම් පාසල්වල විවිධ උත්සව අතරතුර දී හමුදාවට උපහාර දැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද පසුගිය කාලයේ කැපී පෙනිණි. ඇතැම් පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් විසින් පාසල් සිසුන්ගේ ද සහභාගිත්වයෙන් වාර්ෂික පාගමන් සංවිධානය කිරීමේදී මෙවැනි උපහාර පාගමන් සංවිධානය කිරීම පසුගිය කාලය පුරා සිදු විය.

අධ්‍යාපන මනෝවිද්‍යාඥයන්

මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමසීමේ දී අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ විද්වතකු වන අධ්‍යාපනඥ චාල්ස් දයානන්ද මෙසේ පැවසීය.

“රණවිරු යන මානසිකත්වය ගොඩනැඟුණේ යුද්ධය අවසාන වීමත් සමඟ ය. ඊට පෙර අපේ රටේ ආරක්ෂාව සහ අනෙකුත් කරුණුවලට අදාළව වෘත්තීය හමුදාවක් පවත්වාගෙන යන ලදී. ඔවුන් පූජනීය තත්ත්වයට පත් කිරීම එල්ටීටීඊයේ යුදමය පරාජයත් සමග සිදු වූවකි. සිදු වූවකටත් වඩා එය පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ ආණ්ඩුව මඟින් හිතාමතා කළ දෙයකි. මේ යුද්ධය ඇති කළේ සහ යුද්ධයෙන් පසුව පවා මේ සංකල්පය පවත්වාගෙන යනු ලැබුවේ දේශපාලනඥයන්ගේ පටු අරමුණු සඳහා ය.

“යුද්ධයක් අවසන් වූ වහාම කළ යුත්තේ රට තුළ සාමය ස්ථාපිත කිරීම ය. තවදුරටත් යුද මානසිකත්වය ජනතාවගේ ඔළුවල රැඳවීම නොවේ. විශේෂයෙන්ම දරුවන්ගේ ඔළුවලින් යුද්ධය යන වචනය පවා අතුගා දැමිය යුතු ය. ලෝක මට්ටමේ දී අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් අවධාරණය කරන්නේ යුද්ධයකින් පසු විශේෂයෙන්ම දරුවන්ගේ මනස තුළ ආදරය, මානව දයාව ඇති කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවයි.”

යුද මානසිකත්වය මොකට ද?

සංහිඳියාව, සාමය මහ පොළොවේ ප්‍රායෝගිකව බිහි කිරීම වෙනුවට හමුදා පුහුණුව වැනි උපක්‍රම මඟින් හමුදා මානසිකත්වය තීව්‍ර කිරීමට උත්සාහ දරන්නේ ඇයි ? ඇමෙරිකාව හෝ ඉන්දියාව හෝ චීනය හෝ සමඟ අපට යුද්ධ කරන්නට සිදු වන්නේ නැත. නිරන්තරයෙන් අසල්වැසි රටවල් හෝ අභ්‍යන්තර යුද්ධ පවතින රටවල මෙවැනි හමුදා පුහුණු අනිවාර්යය කර තිබේ.

ලංකාවේ එවැනි තත්ත්වයක් නොමැති නම්, මේ හමුදා මානසිකත්වය තව දුරටත් පවත්වාගෙන යන්නට උත්සාහ කරන්නේ ඇයි ? ඇතැම් පාසල්වල පැවැති පා ගමන්වල නිල ටී-ෂර්ටය ලෙස හමුදා සෙබළකු තුවක්කුවක් අතින් ගත් රූපයක් යොදා ගැනීමේ උත්සාහයන් පවා තිබිණි. එහෙත්, සමාජ විරෝධය නිසා ඒවා වෙනස් විය. කෙසේ හෝ මෙවැනි උත්සාහයන් මඟින් පාසල් දරුවන්ගේ, පාසලින් එළියට එන වයස අවුරුදු 18ක් වන දරුවාගේ ඔළුවට දමන්නේ කුමක් ද? යුද මානසිකත්වය ය; කෲරත්වය ය. එක රටක් ඇතුළේ තවත් ජාතියකට, තවත් වර්ගයකට වෛර කරන්නට ඔවුන්ට වක්‍ර පණිවුඩයක් ලබාදෙයි.

දැනුමේ තරම

මේ සැලසුම් අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන පාර්ශ්ව පවසන්නේ විනය, හික්මීම ඇති කිරීමට මෙවැනි පුහුණු අත්‍යවශ්‍ය බව ය. ඒ ඔවුන්ගේ දැනුමේ තරම බව කනගාටුවෙන් වුව ද කිව යුතු ය. අපට අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් ඇති කිරීමය. ඒ හරහා රට ඉදිරියට ගෙන යාමට ය. එකමුතු රටක් ගොඩනැඟීමට ය. එසේ නැතිව රටක් සංවර්ධනය කළ නොහැකි ය. තාවකාලික භෞතික සංවර්ධනයක් ඇති කළ හැකි ය. එහෙත්, එමඟින් දියුණු මිනිසකු බිහි නොවේ. මේ කරුණු ඔස්සේ ඉදිරියට යා යුතු කාලයක දරුවන්ගේ ඔළුවට යුද මානසිකත්වයක් ඇතුළු කිරීම අපරාධයකි. තුවක්කුවක් අතට ගන්නේ කිසිවකුට හානියක් කරන්නට ය. අවුරුදු තිස්ගණනක් මේ රටේ මිනිස්සු යුද්ධයේ නමින් මැරුණහ. එය උතුරටත්, දකුණටත් පොදු ය. තව දුරටත් ඒ මිනී මානසිකත්වය පෝෂණය කිරීමට දශමයක හෝ මැදිහත් වීමක් කිරීම යනු රටේ ඉදිරි ගමන ආපස්සට හැරවීමකි.

අප කොතරම් කතා කළ ද, මේ රටේ තවමත් සාමය ගොඩනැඟී නැත. තවමත් සැක-සංකා ඕනෑ තරම් තිබේ. ජාතිවාදීහු, ආගම්වාදීහු ඒ සැක-සංකා පෝෂණය කරමින් සිටිති. දේශපාලනඥයෝ ඒ කොන්ත‍්‍රාත් ලබාදෙමින් සිටිති. මීට එරෙහිව රට ඉදිරි මඟකට ගැනීම ආරම්භ කළ යුත්තේ, දරුවන්ගෙන් ය. පාසල්වලින් එළියට එන අවුරුදු 18 තරුණ, තරුණියන්ගෙන් ය. වැඩිහිටියන්ගේ ඔළුවල මේ ජාතිවාදය සහ යුද මානසිකත්වය ජීර්ණය වී තිබේ. දරුවන් තවම එතරම් කුරුවල් වී නැත. ඒ නිසා ඔවුන්ට එකම ජාතියක් යන සංකල්පය ඔළුවට දැමිය යුතු ය. අපි අතර ඇති වන ගැටුම් සාමකාමීව සහ බුද්ධිමත්ව විසඳා ගත යුතුය යන ආකල්පය ලබා දිය යුතු ය. එය කළ හැකි මූලික ම ස්ථානය පාසල ය.

නිහඬව සිටීමේ අපරාධය

දරුවා යොමු කරවන්නේ කොතැනට ද යන්න තීරණය කරන්නේ පාසලයි. මීට හොඳම උදාහරණයක් සිරියාවේ තිබේ. අයි.එස්. සටන්කාමීන් විසින් පාසල් දරුවන්ගේ විෂය නිර්දේශ වෙනස් කරන්නට කටයුතු කර තිබිණි. ඔවුන් දරුවන්ගේ විෂය නිර්දේශවලට ඇතුළත් කර ඇත්තේ ලෝකයේ සිටින ඉස්ලාම් අන්තවාදී කොටස් හැර අනෙකුත් සියල්ලන් මරා දැමිය යුතු බවකි. එසේ නැත්නම් තමන්ගේ ආගමට බැඳිය යුතු බවකි. මේ මතය පැතිරවීම ඔවුන් ආරම්භ කර තිබුණේ පාසල් හරහා ය.

සිරියාවේ ප‍්‍රධාන නගරය සටන්කාමීන්ගෙන් නිදහස්

කර ගැනීමෙන් පසු තවමත් විසඳා ගැනීමට නොහැකි වී තිබෙන බරපතළම ප‍්‍රශ්නය වන්නේ ඒ දරුවන්ගේ ඔළුවලට ඇතුළු කළ විෂබීජ ඉවත් කිරීම ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබුණේ, භෞතික සංවර්ධනයට මුදල් ඕනෑ තරම් යෙදවිය හැකි වුවත්, මේ දරුවන්ගේ මානසික සංවර්ධනය ඉතාම බරපතළ තත්ත්වයක පවතින බවයි.

“විශේෂයෙන්ම මවුපියන්, වැඩිහිටි පරපුර මේ සම්බන්ධයෙන් මීට වඩා සවිඥානික විය යුතු ය. යුද මානසිකත්වය බලහත්කාරයෙන් පොම්ප කිරීමෙන් පසු දරුවා, තරුණයා ඒ මත ජීවත් වන්නට පටන් ගනී. අද රටේ බහුතරයක් මාධ්‍ය මඟින් මෙන්ම විවිධ චිත‍්‍රපට මඟින් ද දරුවාට ඊට අවශ්‍ය උත්තේජනය තව දුරටත් ලබා දෙයි. ඉන් පසු අම්මාට, තාත්තාට ආදරය නොකරන, සමාජයේ විවිධ අපරාධවලට මැදිහත් වන දරුවකු බවට ඔහුට හෝ ඇයට චෝදනා කිරීමෙන් ඵලක් නැත. ඒ මන්ද, මේ අපරාධය සිදු වන බව දැන-දැනම මවුපියන්, වැඩිහිටියන් නිහඬව සිටින නිසා ය; ගුරුවරුන් නිහඬව සිටින නිසා ය; රටේ විද්වතුන් නිහඬව සිටින නිසා ය;”

අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් පවසන මේ ඇත්තට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ඉඩක් වෙන් වන්නේ නැත. ඒ වෙනුවට ඉඩ හිමිවන්නේ සරත් වීරසේකර පන්නයේ නියෝග ක්‍රියාත්මක කරන්නන්ට ය.

සංකේත මඟින් ඔළු හේදීම

බත්තරමුල්ල, පාලම් තුන හන්දියට යුද ටැංකියක් එන්නේත්, තලවතුගොඩ වැවේ නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රාවක් තබන්නේත්, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ කාලතුවක්කු තියන්නේත් මේ මානසිකත්වය ජනතාව තුළ ස්ථාපිත කරන්නට ය. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දිගින්දිගටම උත්සාහ කරන්නේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය ඇතුළු සියල්ල විධිමත්ව පවත්වාගෙන යන්නට නම්, හමුදා නිලධාරීන් ඒ සඳහා යෙදවිය යුතු යැයි යන මතය තහවුරු කරන්නට ය. ඒ වෙනුවෙන් පත්කිරීම් 40කට ආසන්න ප්‍රමාණයක් සිදු කර තිබේ. අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන සභාපතිවරුන් ඇතුළු සිවිල් පරිපාලන ක්ෂේත්‍රයේ පත් කිරීම් රැසක් ඊට ඇතුළත් ය. එසේ කරමින් සිටින්නේ, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ දක්ෂ නිලධාරීන් නිශ්චිත රාජකාරියක් නොමැතිව සිටිය දී ය.

එහෙත්, පාරිභෝගික අධිකාරියේ සභාපති ධුරයට පත් කරන ලද විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහල් මිල අඩු කරන බව කියමින් මාධ්‍ය සංදර්ශන කිහිපයක් කළේ ය. එහෙත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහෝදරයා වන ඩඞ්ලි සිරිසේන ඇතුළු සහල් ව්‍යාපාරිකයන්ගේ ඒකාධිකාරයට කිසිවක් කරන්නට ඔහු අසමත් විය. සිදු වූයේ කුමක් ද? ව්‍යාපාරික ග්‍රහණයට ඔහු ද නතු වීම ය. එතකොට සරත් වීරසේකර ඇමැතිවරයා කියන පෞරුෂත්වය කෝ ?

ඇඟෙන් වෙනුවට ඔළුවෙන් හිතන්න

අවශ්‍ය වන්නේ ඔළුවෙන් හිතන්නන් මිස ඇඟෙන් හිතන්නන් නොවේ. ඇඟෙන් හිතන්නන්ට ඇත්තේ තාවකාලික දිනුම් ය. ඔළුවෙන් හිතන්නන්ට ඇත්තේ දිගුකාලීන ජයග්‍රහණ ය. චරිත දෙකක් තියෙනවා කියමින්, ඇඟෙන් හිතමින්, වැඩ කරන ජනාධිපතිවරයාට ද මේ කතාව සෘජුව ම අදාළ ය. ලක්ෂ 69ක ජනතාවක් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නේ ‘වැඩ කරන අපේ විරුවෙක්’ යන විශ්වාසයෙන් ය. එහෙත් ඒ වෙනුවට ඉන්දියාවේ සැලසුම්වලට, ඉන්දියානු අගමැතිවරයාගේ සමීප ව්‍යාපාරිකයකුට වරාය විකුණන, කෙළින් තීරණයක් ගත නොහැකි, මේ අසමත්කම් වසා ගන්නට හමුදා සැලැසුම් හදන ‘වැඩ කරන දරුවෙක්’ රටට ලැබී තිබේ.

– ශාලික විමලසේන 

Leave A Reply

Your email address will not be published.