තරඟයේ වීරයාගේ සමුගැන්ම

රේල්ලුවේ ගාලු යන තිස්සගේ මුහුණ නොපෙනෙන  මානය තෙක් බලාගෙන සිටි මාතර හාමිනේ ඒ රේල්ලුවෙනම සිංහලේ යන  කරෝලිස්ගේ ශෝකාතුර මූණ දැක්කෙ නැහැ. එහෙම තියෙන්නේ ගම්පෙරළියේ. ට්‍රම්පච්චිගේ හිතුවක්කාර නික්ම යෑම  ගැන ධවල මන්දිරයේ කැමරා අටවාගෙන හිටපු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වලට උප ජනාධිපති මයිකල් පෙන්ස් මහත්තයාව පෙනුනෙ නෑ. අලුතෙන් උප ජනාධිපති පුටුවට ආපු දමිළ සම්භවයක් සහිත කමලා හැරිස්ගෙ කැරිස්මාවට ගිණිකනා වැටුණු ඇස් ඇති සෙසු ඇමෙරිකානුවන්ටත් පෙන්ස්ගේ සංවේදී සමුගැනීම ඒ තරම් දැණුනෙ නෑ.

ඇත්තටම ගෙවී ගිය සති කිහිපයේ පෙන්ස් මහත්තයාගෙ නිවුණු හැසිරීම නොවෙන්නට ගම්පෙරළිය නෙවෙයි ලෝක පෙරළියක් ඇති වෙන්න ඉඩ තිබ්බා. ඇමෙරිකාව තවත් යුගෝස්ලෝවියාවක් වෙන්න ඉඩ තිබ්බා.

ඇත්තටම මට නම් හිතෙන්නේ පසු ගිය කාලයේ වොෂින්ටන් දේශපාලනයේ තිබුණු උණුසුම් බල අරගලයේ ඇත්ත ජයග්‍රාහකයා එහෙමත් නැත්නම් තරඟයේ වීරයා මයික් පෙන්ස් කියලයි. ඔහු විසින් ගොඩ නැගූ ඉවසිලිවන්ත ඉනිම නොවන්නට ඇමෙරිකාව අද යුද පිටියක් වෙලා.

ගහල හරි ගන්න සර් කියමින් Capitol Hill වල නටාපු දහ අට සන්නියෙන්  පස්සේ පෙන්ස් මහත්තයාට රාජ්‍ය බලය අතට ගන්නා ලෙස ඉල්ලීම් ගලා ආවා. ජනාධිපතිවරයා පිස්සු කෙළින වෙලාවක ජනාධිපති බලතල තමා යටතට පවරා ගන්න උප ජනාධිපතිට ව්‍යවස්ථා ප්‍රතිපාදන තිබෙනවා. ඒ ඇමෙරිකානු ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය අනුවයි. ඒකට කොන්ග්‍රසයේ අනුමැතියත් ඒ වෙලාවෙ ලැබී තිබුණා.

ට්‍රම්ප්ව ගෙදර යවලා වැඩ බලන ජනාධිපති වෙන එක ඒ වෙලාවෙ පෙන්ස්ට මහ කජ්ජක් වුණේ නැහැ. ඒත් උන්නැහේ එහෙම ගුණමකුවෙක් වුණේ නැහැ. ට්‍රම්ප්- පෙන්ස් දෙන්නා හිටියේ භාතිය සන්තූෂ් වගේ. ඒත් දින කිහිපයකට හරි ලෝක බලවතා වෙන්න කවුද අකමැති වෙන්නේ. නිකමට හරි ඒ වෙලාවෙ වැඩබලන ජනාධිපති වුණානම්  බයිඩන් යුගයෙන් පස්සෙ ධවල මන්දිරයට පදිංචියට එන්න පෙන්ස්ට ලොකු තල්ලුවක් ලැබෙනවා. ඒත් ලෝකයේ බලවත්ම තනතුර වෙනුවෙන්වත්  තමන්ගෙ නායකයා පාවා දෙන්න උන්නැහේ  කැමති වුණෙ නැහැ.

කැපිටල් කන්දට ට්‍රම්ප් සුළඟ හමාපු ජනවාරි 6 වෙනිදා තමයි කොන්ග්‍රසයේ හා සෙනට් සභාවේ ජෝ බයිඩන්ගේ පත්වීම අනුමත කරන්න නියම කර ගෙන තිබුණේ. සෙනට් සභාපති විදියට පෙන්ස්ට තමයි ඒ ගැන නිවේදනය නිකුත් කරන්න බලය තිබෙන්නේ. ඒ අව්අස්සේ ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිනොගන්නා ලෙස බලකරමින් ට්‍රම්ප් පෙන්ස්ට මුට්ටිය දමා බැලුවා.

ඒත් ඒ වගේ නොහොබිනා අඩව්වක් අල්ලන්න නොගිය  උප ජනාධිපතිවරයා කැපිටල් කන්දේ යකා නැටිල්ල තදින්ම හෙලා දැක්කා. ඒ වගේම සෙනට් සභාවෙදි ජෝ බයිඩන් ඊළඟ ජනාධිපති විදියට පිළිගෙන අවසන් නිවේදනය නිකුත් කළා. ඊට පස්සේ පෙන්ස් කියන්නේ දෙපිට කාට්ටුවෙක් කියමින්  එතුමාව මස් කඩේ කොක්කෙ  එල්ලිය යුතුයි කියමින්  අන්ත දක්ෂිණාංශික උද්ඝෝෂකයන් විසින්මරණ තර්ජන පවා එල්ල කළා.

පෙන්ස්ගෙ මේ නිර්භීත මධ්‍යස්ථ  බව නිසා උන්නැහේට දෙපැත්තෙන්ම ගැහුවා.ඒත් පෙන්ස් ඉන්ද්‍රකීලයක් වගේ ඉවසා ගෙන හිටියා.

කාලෙකට ඉස්සර 2017 ජනවාරි 20 වෙනිදා මයික්පෙන්ස් උප ජනාධිපති විදියට වැඩ භාර ගත්තා. එදා ඔහු තමන්ගේ පූර්වගාමියා වෙච්ච ජෝ බයිඩන්ව වැළඳ ගෙන සමුදුන්නේ වැළඳ  ගනිමිනුයි. ඒ බයිඩන්ම අවුරුදු හතරකට පස්සේ ජනාධිපති පුටුවේ ඉඳගන්නා දවසේ පෙන්ස් මහත්තයා ඒ ළඟින්ම හිටියා. ට්‍රම්ප් මහත්තයා පිට පාරෙම යන්න ගියත් පෙන්ස් තමන්ගෙ යුතුකම් අමතක කළේ නැහැ. පෙන්ස් කියන්නේ ඔහුගේ ජනාධිපති මෙන් කළබලකාරයෙක් නෙවෙයි.  ඇමෙරිකානු දේශපාලනයේ පියවරෙන් පියවර ඉදිරියට ආපු ඉවසිලිවන්ත  දේශපාලකයෙක්.

ගමරට බලා යන අතරතුරදී ට්‍රම්ප් මහත්තයා තමන්ගෙ ගමන් සගයාව අගය කරන්න  අමතක කළේ නැහැ. අවුරුදු හතරක් තිස්සේ ඔහු ලබා දුන් සහයෝගය විශිෂ්ඨ බව ට්‍රම්ප් ෆ්ලොරීඩා බලා යෑමට  Air force One යානයට නැගීමට පෙර ප්‍රකාශ කළා.

ඇමෙරිකානු උප ජනාධිපති වරයෙකුගේ සමු ගැනීම වෙනදානම් එහෙමට කරළියට එන්නේ නැහැ. ඒත් පෙන්ස් යුවල කැපිටල් ගොඩනැගිල්ලේ පැත්තෙන් වූ තරප්පු පෙළින් නිහඬව  බැසගෙන යද්දී ඔවුන්ට සමුදීමට බොහෝ පිරිසක් පෙළගැසී සිටියා. අලුත් උප ජනාධිපතිනී කමලා හැරිස් ඇයගේ මහත්තයත් එක්ක පෙන්ස් යුවලට සමු දෙන්න ඇවිත් හිටියා. කැපිටල් මෝල් තැනිතලාවේ ඈතින්  ඇති වොෂින්ටන් ස්මාරකයට උඩින් ඉර බැසගෙන යද්දී හැමෝටම ආචාර කරමින් එතුමා තමන්ගෙ ගම් පලාත වූ ඉන්දියානා ජනපදය  වෙත පියාසර කළා.

අද කමලා හැරිස්ගෙන් සමු අරන් ගෙදර ගියත් 2024 ජනාධිපති සටනට ඇය සමඟ  මහ පුටුවට තරඟ  කරන්න මයික් පෙන්ස් මහත්තයා වොෂින්ටනයට එන්න බොහෝ දුරට ඉඩ තිබෙන බවත් අවසානයේ කිව යුතුයි.

-ශානක ලියනගම ( ලෝකය එකම යායක්) 

Leave A Reply

Your email address will not be published.