රාජ්‍ය නිලධාරීන් අල්ලේ නටවන බෙලිපොළ ‘ඕඅයිසීගේ ගල්කොරිය!

වසර 22කට වැඩි කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතින වැලිමඩ, මිරහවත්ත, බෙලිපොළ ගල්වළ මේ වන විට පවුල් දහස් ගණනක් හා ගම්මාන කිහිපයක් අවදානමට ලක් කර තිබේ. නාය යාමේ
අවදානම ඉදිරියේ බියෙන් පසු වන ගොවීහු සිය ජීවනෝපාය වන ගොවිතැන අත්හරිමින් සිටිති. ගල්කොරිය හේතුවෙන් මතු වූ පීඩා හා උග්‍ර ජල හිඟය ඊට හේතුවයි.

උමා ඔය ව්‍යාපෘතිය පෝෂණය කරන මාතැටිල්ල ඔයේ වම් ඉවුරේ කැණීම් කටයුතු සිදු කරන මෙම විශාල ගල්වළ පවත්වාගෙන යන්නේ නීතියේ ආධිපත්‍යයට අභියෝගයක් එල්ල කරමින් ය. පරිසර අමාත්‍යාංශයේ පරිසර නිලධාරියකු විසින් ඔහුගේ සහෝදරයා වෙනුවෙන් මීට අදාළ බලපත්‍රය නිකුත් කිරීමට මැදිහත් වී තිබේ. ඒ යන්ත්‍රසූත්‍ර භාවිතයකින් තොරව අතින් කැණීම් කටයුතු කිරීමට ය. භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් විධිමත් පරීක්ෂණයකින් පසුව අදාළ කොන්දේසිය මත මේ බලපත්‍රය නිකුත් කිරීමට හේතු වූයේ ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වයයි.

පැවති නීති හමුවේ මෙම බලපත්‍රය හරහා අදාළ පරිසර නිලධාරියා විසින් තවත් පාර්ශ්ව දෙකකට කොටස් ලබා දෙන ලදී. ඒ අනුව මේ ස්ථානයට කැණීම් බලපත්‍ර තුනක් නිකුත් කිරීමට අදාළ ආයතන ක්‍රියා කර ඇත්තේ, මූලික විධිමත් පරීක්ෂණ නීති උල්ලංඝනය කරමිනි. කැණීම් පුළුල් වන විට ගල් කොරියේ පිපිරවීම් සඳහා එහි හිමිකරුවෝ විශාල යන්ත්‍රසූත්‍ර භාවිත කළහ. මේ අවට නිවාසවලට ගල් විසි වීම, නිවාස වහළ බිඳීම, බිත්ති පිපිරීම, වගා ඉඩම්වලට නිරන්තරයෙන් ගල් විසි වීම, අයන දුමාරය සහිත වෙඩි බෙහෙත් දුගඳ ප්‍රදේශයේ පැතිරීම, දිනකට පැමිණෙන අධික වාහන සංඛ්‍යාවෙන් පිටකරන කළු දුමාරය ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට ගැටලු ඇති කිරීම ආදී ප්‍රශ්න රැසක් මතු විය. ඒවා දිනෙන් දින වැඩි වන විට මේ පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය ඇතුළු අදාළ වගකිව යුතු ආයතන සියල්ල දැනුම්වත් කළ ද කිසිදු ඵලක් වී නැත.

ප්‍රදේශවාසීන් පවසන ආකාරයට මීට ප්‍රධාන හේතුව වන්නේ ගල්වළෙහි ප්‍රධාන හා විශාල වශයෙන් කැණීම් කටයුතු සිදු කරනු ලබන බලපත්‍රලාභියකු ලෙස පොලිස් ස්ථානාධිපතිවරයකු කටයුතු කිරීමයි. අදාළ නිලධාරියාගේ නැන්දම්මාට හා බිරිඳට මේ ගල් වළෙහි අයිතිය ඇත. මේ ප්‍රදේශය අවට ගුරුතලාව, දෙමෝදර ආදී ප්‍රදේශවල ක්‍රියාත්මක වූ ගල් වළවල් රැසක් ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මත තහනමට ලක් වී ඇතත්, මෙම ගල් වළට එම නීති අදාළ වී නැත.

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ එක් ලේකම්වයෙකු විසින් ගල් වළ නිසා ජීවිත දහස් ගණනකට සිදුව ඇති පීඩාව සැලකිල්ලට ගනිමින් එය තහනම් කිරීමට කටයුතු කරන ලදී. එහෙත්, ඔහුට වහාම ස්ථාන මාරුවීමක් ලැබිණි. ඒ අතර, වැලිමඩට පත්ව ආ තවත් ප්‍රාදේශීය ලේකම්වරියක විසින් ගල් වළ තහනම් කිරීම වෙනුවට ගල්කොරිය මඟින් අගතියට පත් කාබනික ගොවිතැන සිදු කළ ගොවීන් භූමියෙන් ඉවත් කිරීමට අදාළ කටයුතු සිදු කරන ලදී. අදාළ ගොවීන්ට වෙනත් වගා ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් හෝ එම නිලධාරිනිය මැදිහත් වූයේ නැත. ගල් වළට විරෝධය දක්වන ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මාරු කිරීම දිගටම සිදු විය.

ගල් වළ හිමිකාර පොලිස් ස්ථානාධිපතිවරයාගේ නැන්දම්මාට ගල් කැඩීමේ (ක්‍රෂර්) වැඩබිමක් ද හිමි ය. එමඟින් ද විශාල පරිසර දූෂණයක් සිදු වුව ද, නීතියෙන් මෙතෙක් කිසිවක් සිදු වී නැත. මේ දිගුකාලීන විනාශය හේතුවෙන් නිවාස හැර යාම හා වගාබිම් අතහැර දැමීම සිදු වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැනට පවතින උග්‍රම ගැටලුව වී ඇත්තේ ජල උල්පත් සියල්ල සිඳීගොස් තිබීම  ය.

ගල් වළට ඉහළ කඳු මුදුනේ යක්කාරමැඩිල්ල නම් ජල පෝෂක ප්‍රදේශය පිහිටා ඇත. මෙයින් ආරම්භ වන ජල උල්පත් කහවැරැල්ල, දෝව, ඇල්ලෙගම දිය වැහිරෙන ඇල්ල හා සම්බන්ධ ය. මේ මුදුනේ හටගත් ජල උල්පත්වලින් වැලිනවගම ගම්මානයේ ජනතාව තම වගා කටයුතු සිදු කළහ. අනෙක් පැත්තට වන්නට පිහිටි බෑවුමේ ප්‍රධාන ජල උල්පත් දෙකක් ද ගල්කොරියට යට වී විනාශ වී ඇත. බෙලිපොළ ගම්මානයේ පවුල් 25ක් පමණ ජීවත් වන අතර, එම නිවාස ගල්කොරියට ආසන්නයේම පිහිටා ඇත. මේ ගල්කොරිය නිසා එම ප්‍රදේශයට පමණක් සීමා වී තිබූ ජල උල්පත් 8ක් මුළුමනින්ම සිඳී ගොස් ඇත.

මෙම ඉහළ ප්‍රදේශය නිල වශයෙන් වන වගාව සඳහා වෙන් කෙරුණකි. එහෙත් එම කොටසේ ද මේ වන විට ගල් කැඩීම ආරම්භ කර තිබේ. මේ ප්‍රදේශය භාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙතෙක් ඊට එරෙහිව නීත්‍යනුකූල පියවර ගෙන නැත. ලංකාවේ ඉතා දුෂ්කර පාරවල් පවා සංවර්ධනය වුවත්, වැලිමඩ – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයට ආසන්න දුෂ්කර නොවූ ප්‍රදේශයක් ලෙස හැඳින්වෙන මෙම බෙලිපොළ ප්‍රදේශයේ පාර තවමත් අබලන් ය. කුඩා දරුවන් උදෑසන පාසල් යන්නේ මේ මඩවගුරු පාරේ ය. වැසි කාලයට මඩවගුරු, පායන කාලයට දූවිල්ල නිසා මේ දරුවෝ පීඩා විඳිති. දිනකට ලොරි රථ 75කට වැඩි ප්‍රමාණයක් නිර්දේශිත බර ප්‍රමාණයට වඩා බර පටවාගෙන මේ පාරේ යයි. ගල් වළ පවතින මාතැටිල්ල ඔය ආසන්නයේ සිට එක දිගටම ඇති කඳුකර ප්‍රදේශයට අධික බර පටවා පැමිණෙන ලොරි රථ නිසා පාර දෙපස විශාල කාණු හෑරී ඇත. නිවාස මතට ඩෝසර් පෙරළීම නිසා අලාභහානි වූ නිවාසවලට කිසිදු වන්දියක් ගෙවා නැත.

නිසි වේලාවට, කිසි දිනෙක නියමිත ගැඹුරට ගල් වෙඩි දැමීම මොවුහු සිදු නොකරති. අඩි 15-20ක් පමණ වන ගැඹුරකින් ගල් පිපිරවීම සිදු කරන අතර, දිනයේ සෑම වෙලාවකම පිපිරවීම් සිදු කරනු ලබයි. රාත්‍රී 7න් පසුත් මෙසේ පිපිරවීම් සිදු කරයි. මෙම පිපිරවීම්වල අධික කම්පනය විශාල ප්‍රදේශයක් වෙතත්, කිලෝමීටර් තුනක් පමණ දුරකට ශබ්දයත් නිකුත් වේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සීමා ලකුණු කර තිබූ නමුත්, එම සීමාව අභිබවා මේ වන විට අධික උසකින් යුතු වන සංරක්ෂණ භූමිය දක්වා ද ගල් වළ ව්‍යාප්තව ගොස් ඇති අතර, සීමා ඉක්ම වීම නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ වන සංරක්ෂණ භූමියට ගමන් කිරීම නිසා වන සංරක්ෂණයෙන් හෝ නිසි ක්‍රියාමාර්ග නොගැනීම හාස්‍යයට කරුණකි. එපමණක් නොව පොළොව මට්ටමේ සිට කඳු මුදුන් ආසන්නයට ගොස් ඇති ගල්කොරියේ කැණීම් සිදු කිරීම පඩිපෙළක ආකාරයට සිදු කරන ලෙස දැනුම්වත් කර ඇතත්, සිදු කර ඇත්තේ සෘජුව ඉහළට ය. මේ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට මෑත කාලයේ පමණක් අවස්ථා 35 ක දී දැනුම් දී තිබේ.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අවදානම් කලාප ලෙස මාතැටිල්ල ඔය කන්ද ඇතුළු අදාළ ගල් කොරියේ පිටුපස හා පැතිකඩ බෑවුම් ද ලකුණු කර තිබේ.

වලපනේ මළපට්ටාව ප්‍රදේශයේ පිහිටි මෙවැනි ගල් වළක ප්‍රශ්නය කෙළවර වූයේ ජීවිත සහ දේපොළ විනාශ කරමිනි. සී.බී. රත්නායක ඇමැතිවරයා නිසා එහි දී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිණි. දැන් වනජීවී විෂය භාර කැබිනට් ඇමැතිවරයා වන්නේ සී.බී. රත්නායක ය. මේ ගල් වළෙන් සිදු වන්නට නියමිත ජීවිත සහ දේපොළ විනාශය වළක්වා ගැනීමේ වගකීමක් ඔහුට තිබේ.

දේශපාලන, මුදල් සහ පොලිස් බලය ඉදිරියේ මළපට්ටාවේ සිදු වූ දේ බෙලිපොළත් සිදු වීමට ඉඩ දී බලා සිටිය යුතු ද?.

-වත්සලා මාරුතී

Leave A Reply

Your email address will not be published.

three + 10 =