මියැදුණු අපේක්ෂාවන් ජීවිතයට කැන්දූ ඩයලොග් මනුසත්කාර මෙහෙයුම

එම්.කේ. නිහාල් මහතා යනු මිරිදිය ධීවර කර්මාන්තය සිය ජීවනෝපාය කර ගනිමින් තිස්සමහාරාම ප්‍රදේශයේ ජීවත් වූ අයෙකි. මෙයට කලකට ඉහත දී වැන්දඹු පුරුෂයකු බවට ඔහු පත් වන්නේ ඔහුගේ ජීවිතයට තිබුණු එකම අත්වැල ද ගිලිහී යාමෙනි. කුඩා දියණියක සමඟ තනි වන ඔහු ජීවිතයේ අනේක වූ දුෂ්කරතාවන්ට සාර්ථකව මුහුණ දෙමින් පියකු සතු යුතුකම් ඉටු කිරීමට ඉදිරිපත් වූයේ සිය දියණිය වෙත පූර්ණ ආරක්ෂාවක් සහිත පරිසරයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙනි. මෙහි දී ඔහු නව නිවෙසක් ඉදි කිරීම සඳහා අත්තිවාරම පවා සැකසූයේ අපේක්ෂාවන් දහසක් පොදිබැඳ ගනිමිනි. නමුත්, එක් නිමේෂයක දී ඔහු තුළ වූ එම අපේක්ෂාවන් ඔහුගෙන් ඈතට ගෙන යනු ලැබූවේ ඔහු අනතුරකට ලක් වීම නිසාය.

ඔහුගේ එක්තැන් වීම හේතුවෙන් එතෙක් ඔහු විසින් ගොඩනඟා ගනු ලැබූ සියලු ම සම්පත් ඔහු සමීපයෙන් දුරස් වූයේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා උකසට තැබීම හේතුවෙනි. මේ අතර ක්‍රමයෙන් වැඩි වියට පැමිණි සිය දියණියගේ අධ්‍යාපනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇති විය. අනාරක්ෂිත නිවෙස, වගේම සනීපාරක්ෂක පහසුකම් අවමවීම මෙන්ම තරුණියක ලෙස ඇයගේ අපේක්ෂාවන් සපුරාලීමට පියකු ලෙස නිහාල් මහතා හට හැකියාවක් නොමැති වීම ඔහු තුළ ප්‍රබල කම්පනයක් ඇති කළේ ය. දිරියෙන් සිය රෝගී තත්ත්වයෙන් මිඳීමට අදිටන් කර ගත් ඔහු වසර කිහිපයකින් සුවපත් වුව ද, නැවත ඔහුට ධීවර කර්මාන්තය වෙත යොමු වීමට නොහැකි වූයේ ඒ සඳහා අවශ්‍ය උපකරණ නොමැති වීම හේතුවෙනි.

වර්තමානය වන විට උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන සිය දියණියගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කැප වෙන ඔහුට දිරියක් සැපයීම අරමුණු කරගනිමින් ‘ඩයලොග් මනුසත්කාර මෙහෙයුම් කණ්ඩායම’ ඔහු හමු වූ අවස්ථාවේ දී නිහාල් මහතා සිය අපේක්ෂාසහගත දෑසින් පැවසූයේ, “මට ආපහු ධීවර කර්මාන්තය කිරීමේ ශක්තිය තියෙනවා. ඒත් මට ඒක පටන් ගන්න හැකියාවක් නැහැ. මේ වෙන කොට මගේ ඔරුව උකස් කරලයි තියෙන්නේ. මගේ දැල් ආම්පන්න වගේ දේවලුත් මට දැන් නැහැ. මේ දේවල් අරගන්න මට දැන් හැකියාවක් නැහැ. කවුරු හරි කෙනෙක් මට මේ දේවල් ලබා ගන්න උදවු කරනවා නම්, මට කිසිම කෙනකුට අත නොපා මගේ පවුල පෝෂණය කිරීමේ හයිය මට තියෙනවා” යනුවෙනි.

ජීවිතය දිනන්නට, අනාගතය දකින්නට වෙහෙසෙන මිනිසුන් වෙත හදවතින්ම දිරියක් වන ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘මනුසත්කාර මෙහෙයුම’, නිහාල් මහතා හට සිය ජීවිකාව නැවත ආරම්භ කිරීම සඳහා උකස් කරනු ලැබූ ඔහුගේ ඔරුව එයින් නිදහස් කර අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව නැවත ඔහුට ලබා දීමට කටයුතු කළ අතර, ඔහුට අවශ්‍ය ධීවර ආම්පන්න ද ලබා දීමට කටයුතු කළේ ය. තවද, ඔහුගේ නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මනුසත්කාර මෙහෙයුම ක්‍රියාත්මක වූ අවස්ථාවේ දී ප්‍රදේශවාසීන්ගෙන් ලැබූ ඉහළ සහාය සමඟ නිවස කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට හැකි විය. එසේම නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ මෙන්ම දියණියගේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ කර ගැනීම සඳහා අවශ්‍ය ‘ස්මාර්ට්’ ජංගම දුරකථනයක් ආදිය ලබා දීමට ද ඩයලොග් සමාගම ඉදිරිපත් විය●

 

 පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

eighteen − fifteen =