බැඳීම් තියා ගන්න හිතේ දුරින්…

ඉර මල පූදින යාමයක මං ඇහැරුණේ ඇස්වල කඳුළු පුරෝගෙන. ඇහැරුණාට නැඟිටින්න බෑ. හිතට වාරු නැති වුණහ ම ගතට නැඟිටින්න තරම් හයියකුත් නෑ. මං හරි අමාරුවෙන් ඇඳෙන් බැහැලා ජනෙල් කවුළුව ළඟට ගියා. හරි හයියෙන් වහිනවා. අහල ගං හතම මූසලයි. මට පේන විදිහ ද මන්දා. කලින් වැහි පිට වැහි දාහක් වැස්සත් මිදුලට ගිහින් පොඩ්ඩක් තෙමිලා හිනාවෙවී උඩ පනිනවා. ඒත් අද බෑ. අමතක කරන්න හදන මතක වතුර යට ඔබාගෙන ඉන්න රබර් බෝලයක් අතඇරියා වගේ හදිසියේ ම උඩට මතු වුණා. ඔන්න ආයෙමත් ඇස්වල කඳුළු පිරිලා.

බැඳීම් හරි පුදුමාකාරයි. ඊයෙ වගේ නෙවෙයි අද. අද වගේ නෙමෙයි හෙට. හෙට… හෙටක් ගැන හිතන්නත් බයයි. දුරින් හිටිය මිනිස්සු කොතැනක දී හරි කවද ම හරි ළං වෙනවා. මට එයාව මතක් වුණා. හිතුවෙවත් නැති දවසක ලෝකෙ කොහේ දෝ තැනක ඉඳලා ජීවිතේට කඩාපාත් වුණා. ටික දවසකින් හදවතේ පැත්තක්ම මටත් හොරෙන් බදු ගත්තා. අද වෙද්දි මුළු හදවතම සින්නක්කරේට ම ලියාගෙන. බැඳීම් එහෙමයි. හිතන්නෙවත් නැති දවසක හුළඟක් වගේ ඇවිත් කියන්නෙම නැතුව කුණාටුවක් වගේ යන්න යනවා. ඒ නිකම් ම නෙමෙයි, ජීවිතේ වටිනා ම දේවලුත් අරගෙන. ප්‍රේමය ඉස්සරහ මිනිස්සු අසරණයි; නිරුත්තරයි. හදවත ම නිරුවත් කරලා පෙන්නන්න දෙපාරක් හිතන්නේ නැති ඒ හිත් හරිම අව්‍යාජයි. දවසක් එනවා ඕනිම බැඳීමකට සමු දෙන්න වෙන. මේ නියත දහම ඉස්සරහ අමාරුවෙන් හුස්ම අදින එක තරම් වේදනාවක් තවත් නැතුව ඇති. බැඳීම් කවදා හරි නැති වෙනවා, අලුත් බැඳීම් ඇති වෙනවා. ඒ අයත් යන්න යනවා. දවසක ඒ හැමෝට ම ඉන්න ඉඩ දීලා අපිට යන්න වෙනවා. බැඳීම් හරි ලස්සනයි. ඒ වගේම හරි බරයි. දරා ගන්න බැරි තරම් වේදනාකාරීයි.

ඒ හින්දා මිනිස්සු තියා ගන්න ඕනෑ අතේ දුරින් නෙමෙයි හිතේ දුරින්. හෘද ස්පන්දනය පවා සින්නක්කරේට ම ලියාගෙන මුළු බූදලයම අරගෙන යන්න කලින් ගහන්න විදුලි වැටක්. සීමාව පන්නලා හදවතට රිංගන්න බැරි වෙන්න. අන්න එදාට පුළුවන් වේවි ශක්තිමත් නොසැලෙන මිනිහෙක් වෙන්න. මුහුණු පොතේ තිබුණා හරි ලස්සන වදනක්. ජීවිතේ හරියට බොක්සිං තරගයක් වගේ. මිනිස්සු පරාද වෙන්නෙ වැටුණහ ම නෙමෙයි, නැඟිටින්න පරක්කු වුණහ ම. වැටි වැටි නැඟිටින්න. බැඳීම්වලට ඔබව වට්ටන්න ඉඩ නොදී.

චමෝදි පෙරේරා
Leave A Reply

Your email address will not be published.