අතුරුදහන් අලින්ට කන්න දෙන්න ලක්ෂ 65ක්

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටිය යුතු අලි 52ක් අතුරින් අලි 31ක් අතුරුදහන්ව ඇතැයි  අනාවරණය වී තිබේ.

2015 වසරේ සිට 2019 වසරේ ජුනි මස දක්වා කාලය තුළ මෙම රැඳවුම් මධ්‍යස්ථානයට ප්‍රචණ්ඩකාරී අලි 52ක් ඇතුළු කොට ඇතත්, ඉන් දැනට ඉතිරිව ඇත්තේ අලි 09ක් පමණි. පසුගිය කාලය තුළ එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි අලින් 12ක් මිය ගොස් ඇති අතර ඉන් අලි 05ක් මිය ගොස් ඇත්තේ, ආහාර හිඟය නිසා බව හෙළිව ඇත.

දැනට එහි ජීවත්ව සිටින අලි 09දෙනා මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන නමුත්, විගණන වාර්තාවලට අනුව අලි 30දෙනකු සඳහා දෛනිකව ආහාර සපයාගෙන තිබී ඇත. මෙම වැඩිපුර අලි 21 දෙනාට ආහාර සැපයීම වෙනුවෙන් 2019 වසරේ අගෝස්තු සිට ඔක්තෝබර් මස අවසානය දක්වා රුපියල් හැටපන් ලක්ෂ පනස්නව දහස් දෙසියහතළිස්පහක් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා ඇති බව හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේ දී  වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ, මෙම සතුන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඉදිරියේ දී විමර්ශනයක් සිදු කිරීමට නියමිත අතර, මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානයේ බරපතළ අඩුපාඩු පවතින බවයි. එමෙන්ම ආහාර සැපයීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම සම්බන්ධයෙන් තමන් කිසිවක්ම නොදන්නා බව ඔහු පවසයි.

හොරොව්පතාන – ධනූ රාමවික්‍රම
Leave A Reply

Your email address will not be published.