“නැගෙනහිර පර්යන්තය බේරගන්න අපි ලෑස්තියි”

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත

කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය පිළිබඳව අලු‍ත්ම තත්ත්වය මොකක් ද?

පහුගිය 13දා නැගෙනහිර පර්යන්තය පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය නිල වශයෙන්ම ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලට දැනුම් දුන්නා. ඔහු කියන්නේ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතියෙන් 49%ක් ඉන්දියාවටත් 51%ක් වරාය අධිකාරියටත් ලැබෙන පරිදි ආණ්ඩුව විසින් ගන්නා ලද තීරණය ස්ථිරයි කියලා. ඊළඟට පහුගිය සතියේ වරාය පිළිබඳව පත්කළ කැබිනට් අනුකමිටුව හමුවට වෘත්තීය සමිති නියෝජිතයෝ මුණ ගැහුනා. එතනට ඇවිත් උන්නේ අනුකමිටුවේ දෙන්නයි. එක්කෙනෙක් වරාය සභාපති විශ්‍රාමික හමුදා නිලධාරී දයා රත්නායක. මේ සාකච්ඡාවට කලින්ම එයා මාධ්‍යයට කියලා තිබුණා ලෝකේ කොයිම වරායක්වත් රජයට අයිති නැහැ කියලා. ඒ කියන්නේ එයා ඉන්න පූර්ව අදහස තමයි අපි අපේ වරායත් රජයේ අයිතියෙන් අයින් කරන්න ඕනෙයි කියන එක. දෙවැනි සාකච්ඡාත් අසාර්ථකයි.

මේ ආණ්ඩුවට විවිධ අන්දමින් සම්බන්ධ කොටස්, වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට ගෝඨාභය ජනාධිපතිවරයා සම්බන්ධ නැති බවටත් මෙය රෝහිත අබේගුණවර්ධන වරාය ඇමතිවරයාගේ තීරණයක් බවත් කලකදී කිව්වා?

ඔව්, ඔව්, හැබැයි අපි එහෙම කිව්වේ නැහැ. ඒකත් සටහන් කරගන්න.

ආණ්ඩුවේ ඇමතිවරයෙකුට එහෙම හිතුමතේට කැබිනට් පත්‍රිකාවක් දාන්න බැරි බව අපිනම් දන්නවා. එහෙම කරනවා තියා ඒ අයට ජනාධිපතිවරයා ඉදිරිපිට කෙළින් හිටගන්නවත් පුළුවන්කමක් නැහැ. එයාලා වලව්වෙ ඉස්සරහ දොරෙන් යන්නවත් පුළුවන් අය නෙමෙයි. තවත් අය කිවුවා මේක පී.බී. ජයසුන්දර වගේ නිලධාරීන්ගෙ වැඩක් කියලා. තවත් අය මේක බැසිල්ගෙ වැඩක් කිවුවා. පාදෙණිය වගේ අය කැබිනට් මණ්ඩලයට මේ වගේ අයිතියක් ලැබෙන එක ව්‍යවස්ථාවෙ ප්‍රශ්නයක් කියලා කිවුවා. ඒ හැමෝම හැදුවේ තමන් විවිධ අයුරින් සහය වෙලා බලයට ගෙනාපු ජනාධිපතිවරයා බේරන්න.

ඒත් ආණ්ඩුව කියන්නේ නැගෙනහිර පර්යන්තයේ විකුණන්නේ නැහැ කියන එක? එහෙනම් ආණ්ඩුව මොකක් කරනවා කියලද කියන්නේ?

ආණ්ඩුව කියන්නේ අයිතියෙන් 51%ක් අපේ අතේ තියාගෙන 49%ක් ආයෝජනයට විවෘත කරනවා කියලනේ.

වරාය විකුණනවද, බදු දෙනවද, නිකන් දෙනවද, පරිත්‍යාග කරනවද, ආයෝජනය කරනවද වගේ වචන හරඹ වැඩක් නැහැ. හම්බන්තොට වරායත් චීනයට දුන්නා. ඒක විකුණුවෙ නෑ, බදු දුන්නා කිවුවා. ඒත් අවුරුදු 99කට අයිතිය අහිමි කළා. කොළඹ වරායේ දකුණු පර්යන්තය චීනයට දුන්නා. දැන් ඒක චීන කොලනියක් වෙලා. දැන් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්නෙ නැහැ කියනවා. ආයෝජනයක් විතරයි කියනවා. ඒත් බදු දුන්නාට, පරිත්‍යාග කළා කිව්වට, දන් දුන්නා කිව්වට වචන හරඹවලින් වැඩක් නැහැ. දැනට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 100%ක අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට. ආණ්ඩුව ඒක අහිමි කරන්න යනවා. තේරෙන විදිහට කිව්වොත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතියෙන් 49%ක් මේ රටේ ජනතාවට අහිමි කරන්න යනවා.

හැබැයි, වරාය වෘත්තීය සමිති එකතුවේ එක් සංවිධානයක් වෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සම්බන්ධව සැලැස්මක් ඉදිරිපත් කරනවා නේද?

ඔව්, අපි ඒ බව පහුගිය 12 වෙනිදා ගෝල්ෆේස් එකේ තිබ්බ ‘නැඟෙනහිර ජැටිය විකිණීමට එරෙහි උද්ඝෝෂණ ජනතා පවුර’ වෙලාවෙදිත් කිව්වනේ. දැන් ඔය ආණ්ඩුවේ උදවියට කියන්න බැහැ මේක දෙන්නේ මේක සංවර්ධනය කරන්න අපිට සැලැස්මක් නැති හින්දා කියලා. අපේ රටේ, අපේ වරායේ, අපේ ඉංජිනේරුවෝ දැන් විධිමත්, ක්‍රමවත් සැලැස්මක් හදලා තියෙන්නේ.  ජනවාරි 22වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමයේ නියෝජිත ඉංජිනේරුවෝ ඒ යෝජනා ආණ්ඩුවේ උදවියට දෙනවා. ඒකේ කොතනකවත් නැහැ 51% – 49% මේක කරමු කියන ආණ්ඩුවේ පම්පෝරියට එකඟ වීමක්. ආණ්ඩුව කියන විදිහට විකුණන්නේ නැතුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය සම්පූර්ණයෙන්ම මේ රටට තියාගෙන කොහොමද සංවර්ධනය කරන්නේ කියන වැඩපිළිවෙළයි ඒකේ තියෙන්නේ.

ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පවසන ‘භූ දේශපාලනය’ යථාර්ථයක්ද?

සෝවියට් සහ ඇමරිකාව වගේ බල කඳවුරු දෙකකට ලෝකෙ බෙදිලා තිබුණු යුගයක් තිබුණා. ජේ.ආර්. මේ රට ඇමරිකානු කොලනියක් කරන්න හැදුවා. ඒත් වමේ බලවේග ඇතුළු ප්‍රගතිශීලී ජනතාවගෙ විරෝධය නිසා ඒක සම්පූර්ණ කරගන්න බැරිවුණා. ඊට පස්සෙ ඉන්දියානු හමුදාව ගෙන්නගෙන මේක ඉන්දියානු කොලනියක් කරන්න හැදුවා. දහස් ගණනක් තමන්ගේ ජීවිත පූජා කරපු දේශප්‍රේමී අරගලයකින් පස්සේ ඉන්දියාව පසුබස්සවන්න අපිට, රටට පුළුවන් වුණා. දැන් ඉන්දියාවයි ඇමරිකාවයි එක පිලක හිටගෙන. චීනය නව ලෝක බලවතෙක්.

චන්ද්‍රකා හා රනිල්ගේ මුල් ආණ්ඩු කාලයේ රටෙන් මතු වූ විරෝධය නිසා බලවතුන්ට මෙහෙ බින්න බැහැ ගන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ කාලෙදි ෂැන්ග්‍රිලාට වටිනා ඉඩම් දීලා චීන බලවතාට බින්න බැහැගන්න අවස්ථාව දුන්නා. 2015 බලයට ආපු රනිල්, චීන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනගියා. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට රටට අහිමි කළා. රටට ආදරෙයි කියලා පොළොව ඉඹලා ආපු රාජපක්ෂලා දැන් අපේ රට ලෝක බලවතුන්ට කොටස් කර බෙදනවා. මේ විදිහට ඔය කියන ‘භූ දේශපාලන යථාර්ථය’ කියන න්‍යාය අනුව බෙදන්න ගියොත් ඇමරිකාවත් කියන්න පුළුවන්  අපිටත් කොටසක් ඕනැ කියලා. එයාලා ත්‍රිකුණාමල වරාය ඉල්ලන්න ඉඩ තියෙනවා.

රට යා යුතු මාවත මේක නෙමෙයි. සියලු‍ වරායවල් රටේ අයිතියටම හිමි විය යුතුයි. කරන්න ඕනේ හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ වරාය ඉන්දියාවට දෙන එක නෙමෙයි, හරිනම් හම්බන්තොටින් චීනයටත් යන්න කියන එකයි. අපේ රටට ආදරෙයිනම්, අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා වෙනවට කැමතිනම් හම්බන්තොට වරාය පරිත්‍යාගයක්විදිහට අපිට දෙන්න කියලා ඉල්ලන්න. අපිත් එහෙම ඉල්ලනම්. ලෝකෙ රටවල් එහෙම කරලා තියෙනවා. අපි දන්නවනේ දැවැන්ත කර්මාන්තශාලා අපිට පරිත්‍යාග විදිහට දීලා තියෙනවා. චීනයටත් එහෙම කරන්න පුළුවන්. ඉන්දියාවෙනුත් ඉල්ලන්න ඕනේ මේක චීනයෙන් ඉල්ල ගන්න අපිට උදව් කරන්න කියන එකයි. නැතුව අරයට හිලව්වට මෙයාට රටේ සම්පත් දෙන එක නෙමෙයි.

ඒ නිසා කොන්දක් නැති පාලනයකින්, කොන්දක් නැති පාලකයෙක්ගෙන්, කොන්දක් නැති පාලක කණ්ඩායම් වලින් නැගෙනහිර ජැටියේ 100%ක අයිතිය බේරා ගැනීම දැන් තියෙන්නේ මේ අයට බලය දුන්නු නොදුන්නු හැමෝගෙම අතේ. ඒ වෙනුවෙන් පෙරට එන්න කියලා අපි වරාය ප්‍රමුඛ වෘත්තීය සමිතිවලට හා ප්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරනවා. අපි කියන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100%ක්

රටේ අයිතිය යටතේ තබාගනිමින් සංවර්ධනය කරන ආකාරය ගැන ජාතික කතිකාවක් ආරම්භ කරන්න. විවිධ දේශපාලන අදහස්, වෘත්තීය සමිති ලෙස බෙදීම් සියල්ල පසකට දමා සියලු‍ දෙනාට මෙම අයිතිය බේරා ගැනීමේ සටනට තමන්ගේ පාර්ශ්වයෙන් කළ හැකි සියලු‍ දේ කරමින් දායක වෙන්න ඉඩක් හදමු. ඒ අතර අපි ආණ්ඩුවට කියන්නේ පාවා දීමේ මාවතේ ඉදිරියට යන්න සූදානම් වෙන්න එපා. ජනතාවගේ හඬට කන් දෙන්න. එහෙම කරන්න ආණ්ඩුවට බැරිනම්, ආණ්ඩුව අකමැතිනම්, මේ රටේ ජනතාවත් එක්ක විකිණීමට එරෙහිව යෝධ ජන පවුරක් ගොඩනගන්න අපි ලෑස්තියි.

සංවාද සටහන : සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

six + nineteen =