අනේ අපි කොතැන ද?

අද සමස්ත කොරෝනා මරණ ගණන 8යි. රෝගීන්  52,000කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ !!”

මේ තොරතුරු දැන් අප සියලු දෙනා නිතර දෙවේලේ අසන බැවින්, සාමාන්‍යකරණය වී ඇත. කොවිඩ් වසංගතය හේතුවෙන් මිය යන සහ දිනපතා 500කට වැඩි ප්‍රමාණයක් රෝගයට ගොදුරු වීම ‘නිතර දකින කුකුළාගේ කරමල සුදු ය’ යන  ප්‍රස්තාව පිරුළ සිහිගන්වන්නකි. නමුත් කුකුළාගේ කරමල හැමදාම රතු පාට ය. කොවිඩ් වෛරසය ද හැමදාම එකම බලපෑම ඇති කරයි. එය නැවතෙන පාටක් නම් නැත. බටහිර රටවල් සොයාගන්නා ලද එන්නත්වලින් ද සමහරක් සාර්ථක නොවන බව වාර්තා වන තොරතුරු අතර වේ. මේ ඇමෙරිකා – චීන සීතල නිරවි යුද්ධයේ පළමු මුර වෙඩිල්ල ද? නැතහොත්, ලෝක ජනගහනය පාලනය සඳහා මිනිසා විසින්ම නිපද වූ වෛරසයක් ද? නැතහොත්, ගෝලීය උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ග්ලැසියර් දියවීමේ ක්‍රියාවලිය නිසා ප්‍රාග්ඓතිහාසික යුගවල හිමතලාවන් තුළ ම මිහිදන්ව ගිය භයානක වෛරස් ප්‍රභේදවල නැවත හිස එසැවීමක් ද..?

මේ සියල්ල උභතෝකෝටිකයකි. කෙටියෙන්ම කිවහොත් ලෝකය සහ ජීවය නැමති මායා දැලේ පැටළී දිවි රැකගැනීම සඳහා වෙර දරන මනුසතුන් ලෙස අපව හඳුන්වා ගැනීම ද වරදක් නැත.

ලෝක බලතුලනය මේ වන විට චීනය දෙසට සංක්‍රමණය වෙමින් පවතින අවස්ථාවක, මෙතෙක් නාමික වශයෙන් ලෝක බලවතා යැයි විරුදාවලි ලැබූ ඇමෙරිකාව තම රට ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන බව පෙනේ. චීනය නොනැවැතී තම අරමුණ කරා ගමනේ යෙදී සිටින බව නොරහසකි. ඇමෙරිකාවේ මී ළඟ ජනපති ජෝ බයිඩන් චීනයට පරාද වේවි ද? ලෝකයා අභිමුව තිබෙන මී ළඟ පැනය එයයි. මෙය හුදෙක් ජනපති ජෝ බයිඩන්ගේ හෝ  චීන ජනපති ෂී ජිං පිංගේ  හුදෙකලා තරගයක් නොව ආර්ථික වශයෙන් පවත්නා වූ තරගයකි. ‘ලෝකය තනි යායක්’ බව මහගම සේකරයන්  පැවසූ වදන අද කෙතරම් දුරට වලංගු ද? එය අප නුවණින් විමසා ධාරණය කර ගත යුත්තකි. සත්‍යය වශයෙන් ම අද වන විට ලෝකය තනි යායක් නම් නොවේ ම ය.

විවිධ තාප්ප, වැට කඩොලු පමණක් නොව පක්ෂ, පාට භේදය, සුදු-කළු භේදය, ඇති-නැති පරතරය  ආදී දේවල් මේ තනි යාය බෙදා වෙන් කර ඉහළට නැඟී සිටින සුවිසල් ප්‍රාකාර වේ.

ඇමෙරිකාවත්, චීනයත්  සිය නිල නොලත් බලතුලන අරගලයේ යෙදී සිටින අතර, ලංකාව තවමත් වසර 70කට වඩා කාලයක් පවත්වාගෙන ආ නිර්ලජ්ජිත දේශපාලනයේ තව තවත් අතු, රිකිලි, මුල් විහිදුවමින් තිබේ. පීඩිතයා තවත් පීඩාවට පත් කළ ධනපතියා තම මඩිය තවත් තර කර ගත් ඒ දේශපාලන ව්‍යුහයේ පහළ කෙළවර ජන්දදායකයාගේ පටන් ඉහළ මැති ඇමතිවරුන් දක්වා ම ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇත. මීට පෙර එසේ නැවත වෙනස් වී තිබුණා නම්, නිතර වාහන තදබද ඇති වන, වැසි කාලය ආරම්භයේ දී ජලයෙන් යට වන රත්නපුර නගරයේ සියලු සංවර්ධන කටයුතු සිදු නොවී එසේම තිබිය දී, කිසිම වැදගම්මකට නැති මැණික් කුලුනු ඉදි වන්නේ නැත. මේ සියල්ලටම සරිලන සිව් වන බලය වන ජනමාධ්‍ය  ඊටත් පෙර ප්‍රතිව්‍යුහගත විය යුත්තේ ය. කුලුන එතැනට ඉබේ පහළ වූවා දැයි සැක සිතෙන තරමට එහි ඉදි කිරීම් රටේ බහුතර ජනයාට වසන් වී තිබීම ඇත්තෙන්ම විමතියට කරුණකි.

සුබෝධා හේමාලි

 

Leave A Reply

Your email address will not be published.