ආයුබොවන්ඩ රෝහිත,

අපේ අල්ලපු රට ඉන්දියාව බව තමුන්නැහැ කියන කං අපි දැනං උන්නෙ නැහැ නෙ ආයිබොවන්ඩ. මෙච්චර කාලෙකට තමුන්නැහැහලා කොරාපු කියාපු දේවල්වල හැටියට නං අපි හිතං හිටියේ අපේ දුක සැප දෙකේ දී ම ලොකු අප්පච්චියෙක් වගේ අපිට පිහිට-උපකාර කොරන්ඩ සූජානමින් ඉන්න අපේ ළඟම රට චීනෙ තමා කියලයි.

පහුණු ටික කාලෙ ගැන විතරක් සලකලා බැලුවොත් හාබර්, එයාපෝට්වල පටන් පාලම් බෝක්කු දක්වා මොන තරං තෑගි-බෝග කන්දරාවක් චීනෙ අපිට ප්‍රොදානය කොරල තියෙනව ද? ඔන්න ඔය වගේ කරුණු-කාරණා හන්ද තමා හාබර් ඇමතිතුමෝ චීනෙ අපේ ළඟම අසල්වැසියා ය කියල අපේ පැටවුන්ට පවා කියල දෙන්ඩ සිද්ද වුණේ. ඇත්තම කියනවා නං රෝහිත මැතිතුමෝ, තමුන්නැහැගෙ ඔය අයිතිහාසික සොයාගැනීමත් එක්ක කැබිනෙට්ටුවෙ ඉන්නව ය කියන හැටහුටහමාරක් වියත්තුයි, ආචාරි මහචාරිලයි නිකන්ම නිකන් මයිකල්ල, සිරිපාලල ගාණට වැටෙනවා ඒකාන්තයි.

පහුණු ජනාදිපති චන්දෙදි තමුන්නැහැලා අපේ රටේ දේපොළ ටික ඩැහැගත්තු විජාතික කොම්පැනිකාරයන්ට රතු ලයිට් පත්තු කළා මතකයි. යහපාලනෙන් තුට්ටු දෙකට ගත්තු ජාතික සම්පත් ඔක්කොම පවර ගන්නව ය කියල පාරම්බාද්දි උන්ගෙ දණිස් වෙව්ලන හැටි දැක්කම අපේ දේසප්‍රේමෙ නහුතෙටම නැග්ගා. අපිට ඔහෙල තරං දැනුමක් තේරුමක් නැති හන්දයි අහන්නෙ ගරු ඇමතිතුමෝ, තමුන්නැනැහැලා දැන් කියන කොරන දේවල් අනුව නං ඔහෙලා එදා ආමන්තරණය කොරල තියෙන්නෙ ඉන්දියාවේ ජනතාවට මිසක සිරිලංකාවේ ජනතාවට නෙමේ වගෙයි නේ ද? ඔය කියන විදිහට අපි මෙච්චර කාලයක් බලහත්කාරයෙන් කොළඹ හාබර් එකට යා කොරගෙන ඉඳල තියෙන්නෙ ඉන්දියාවෙ අහිංසක අදානි කොම්පැනිකාරයන්ට අයිති දේපළක් වෙන්ඩෝනෑ.

නැගෙනහිර ජැටිය සංවර්දනේ කොරන්න අපිට ඇහැකි ය කියල පාරම්බාන ඔය යූනියන්කාරයෝ ටික ෂුවර් එකටම ඇන්ජීඕ නැත්තං ඩයස්පෝරාවේ ඩොලර්වලිං නැටවෙන රූකඩයො ටිකක් වෙන්ඩෝනැ. ඒ මඳිවට ඇල්ලේ, මැදගොඩ, බෙංගමුවේ වගේ උන්නාන්සෙලත් බටහිර කුමන්තරණකාරයන්ගේ දිරච්ච ලණුවක් වළඳල ද කොහෙදෝ තමා එක එක රෝන් ටෝක්ස් දෙන්නෙ. එකත් එකටම රට, ජාතිය, ආගම ගැන තමුන්නැහැලගෙ පපු කූඩුවල තියෙන කැක්කුම දේසද්‍රෝහි කියන වචනෙත් එක්ක පටළවගෙන තමා මයෙ හිතේ.

ඒ අල්ලපනල්ලෙ අක්මීමන පැත්තෙ තවත් උන්නාන්සෙ කෙනෙකුත් බුද්ද පුත්තරයෙකුට කොහෙත්ම නොගැළපෙන අනුසාසනාවක් ටැලිවිසොන් එකක කොරනව දැක්කා. උන්නාන්සෙ වදාරන්නෙ ඔහෙලා කස්ටියම එකතු වෙලා රටේ ප්‍රොගතිසීලී ස්වාමීන් වහන්සේලාට කොකා පෙන්නුව කියලයි. මක්ක වුණත් චීවරයක් දැරුව පළියට 69 ලක්සයක ජන වරමක් ලබපු ජන නායකයන්ට ඔය විදිහට කෝචොක් කොරන එක නං හිංගල බවුද්ද ජනතාව කොහෙත්ම අනුමත කොරන එකක් නැහැ නේද රෝහිත. රටයි, ජනතාවයි වෙනුවෙන් ජීවිතේ උනත් පූජා කොරන්න සූජානමින් ඉන්න ජාතියේ මුරදේවතාවුන් වන ඔහෙලා ජාතියාලෙ ඉස්මුරුත්තට නැග්ග වෙලාවට ඉඳහිටලා දියවන්නා සබාවෙදි කුණුහරුපයක් දෙකක් කිව්වට කෝටියක් සංවරසීලී විය යුතු උන්නාන්සේලා හැටියට චන්ද කාලෙට විතරක් අනුසාසනාවක් දෙකක් කොරලා මේ වගෙ වෙලාවට බණක්-දහමක් කොරගෙන ඉන්න එක තමා නේද යුතුකොම.

ඒ කොයි හැටි උනත් ආයිබොවන්ඩ වරාය ඉන්දියාවට දෙන හරියටම හරි වගත්, ඔහෙලගෙ ආණ්ඩුවයි, යහපාලනෙයි දෙකක් නොව එකම කාසියෙ දෙපැත්ත වගේ ය කියලත් මංගල උන්නැහැ ඊයෙ, පෙරේදා මාර සැටිපිකේට් දෙනවා අපි දැක්කා. නැගෙනහිර ජැටිය විතරක් නෙමේ හෙට අනිද්දා ඔහෙලා මු`ඵ රටම වෙන්දේසි කොළත් ඒකෙ ඒ හැටි පුදුම වෙන්ඩ දෙයක් නැති බව අපිට හොඳටම තේරුණේ එතකොට තමයි●

විශ්වමිත්‍ර
Leave A Reply

Your email address will not be published.