ආණ්ඩුවේ අන්දරේලා…

ආණ්ඩුව කොතරම් වසන් කරන්නට උත්සාහ කළත්, අද රට පුරා කොවිඩ් පැතිරී යන බව රහසක් නොවේ. කොරෝනා පාලනය කෙසේ වෙතත්, මඟී ප්‍රවාහන සේවාවන් හි සෞඛ්‍යාරක්ෂක නීති අනුගමනය කරවමින් මඟී ආරක්ෂාව සැලසීමටවත් ආණ්ඩුවට නොහැකි ය. බස් ගාස්තු වැඩි කළේ බස් රථවල ආසන ගණනට මඟීන් ගෙන යාමේ දී බස් හිමියනට වන පාඩුව මඟහරින්නට ය. නමුත්, අද සිදුව තිබෙන්නේ පෞද්ගලික හෝ රාජ්‍ය හෝ භේදයකින් තොරව පොල් පටවන්නා සේ මඟීන් රැගෙන යාම ය. දැන් ‘කොරෝනා’ මඟියාගේ කරමත ය. සිදුව ඇත්තේ, මඟියාගේ පසුම්බියට විදීම පමණි. මේ ආණ්ඩුවේ අසමත්කම පිළිබඳ සරලතම නිදර්ශනයකි ඒ. සැබෑ ප්‍රතිකාර සොයනවා වෙනුවට පැණියක් කර තියාගෙන ගිය මැති ඇමතිවරු අද පත්ව ඇත්තේ අධෝමුඛය මසා විරේක බෙහෙත් බිව් ගොළුවන්ගේ තත්ත්වයට ය. යුක්රේන සංචාරකයන් ගෙන්වීම, රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීම, සීනි හා තෙල් ගෙන්වීම, විදේශ ශ්‍රමිකයන් රටට ගෙන්වීම ආදිය හරහා ආණ්ඩුවේ සමීප ජාවාරම්කරුවෝ කොරෝනාව වසන්තයක් කරගෙන සිටිති. රක්ෂිත වනාන්තර රට පුරා ඩෝසර් කරමින් ඉඩම් කොල්ලය ජයටම සිදු වේ. රටේ ධන උල්පතක් වන කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට සියල්ල සූදානම් ය. රට ණය උගුලෙන් ගලවා ගැනීම වැනි විශාල මෙහෙයුම් පසෙක තිබිය දී, රටේ දෛනික පැවැත්ම පවා අඩාළ තත්ත්වයට පත්ව තිබේ. ආණ්ඩුවේ ආර්ථික විද්‍යාව යන්න රට විකිණීම යන්නට ලඝුව තිබේ. එය කෙතරම් ද යත්, ආණ්ඩුව ඉහළම විදෙස් ගැති පරාධීනත්වයකින් ජනතාවගේ විරෝධයන් නෑසූකන්ව සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ‘අසමත් ය’ යන්න ජන සමාජයේ සාමාන්‍ය කතාබහක් බවට පත් වී හමාර ය. මේ නිසාම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින කථිකයන්ට ආණ්ඩුව සමත් යැයි කියන්නට මහත් වෙහෙස ගෙන කරුණු සෙවීමට සිදුව තිබේ.

.

පහේ ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 185ක් ගත් ළමයාට ජනප්‍රිය පාසලක් දෙන්නට අසමත් ආණ්ඩුව, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ නව සහ පැරණි නිර්දේශවල සිසු සිසුවියන්ට සාධාරණය ඉටු කළ නොහැකි ආණ්ඩුව දොළහ වසරින් පාසල් අධ්‍යාපනය අවසන් කරන බව පවසයි.

එහෙත් ජනතා විරෝධය යන්න වඩ වඩාත් ඉහළ යත්ම, සංවිධානාත්මක වෙත්ම පාලකයන් විසින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන බාල මැජික් පෙන්වන්නට පෙළැඹී තිබේ. පසුගිය රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව ද, 2015ට පෙර රාජපක්ෂලාගේ ආණ්ඩුව ද එසේ කළ බව රටට අමතක නැත.

අද සරත් වීරසේකරලා මෙන්ම එදා එස්.බී. දිසානායකලා ද සිසුන්ට, විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දෙනවා යැයි නාඩගමක් නැටූහ. අහිංසක සිසුහු හා විදුහල්පතිවරු කිහිප දෙනෙක් පුහුණුව අතර දරා ගත නොහැකිකම සහ අත්වැරදීම් නිසා මිය ගියහ. අවසානයේ නැතිවම බෑ යැයි පැවසූ එකී හමුදා පුහුණුව පැදුරටත් නොකියා අහෝසි විය. අද ද සරත් වීරසේකරලා අවුරුදු දහඅටෙන් පසු හමුදා පුහුණුවක් ගැන ජනමනස කුලප්පු කරමින් සිටිති. පහේ ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 185ක් ගත් ළමයාට ජනප්‍රිය පාසලක් දෙන්නට අසමත් ආණ්ඩුව, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ නව සහ පැරණි නිර්දේශවල සිසු සිසුවියන්ට සාධාරණය ඉටු කළ නොහැකි ආණ්ඩුව දොළහ වසරින් පාසල් අධ්‍යාපනය අවසන් කරන බව පවසයි.

සිදුව තිබෙන්නේ රටේ පවතින සමාජ-ආර්ථික රෝගයට අත්බෙහෙතක් පවා නොදන්නා පාලකයන් පිහිට සොයා යන්නේ ඥානක්කලා ද, කාලි අම්මලා ද,  ධනපාලලා ද පිටුපස ය. සේරුවිල රත්තරන් නිධි ද, හැටහුටහමාරක් ක්‍රියාවට නොනැඟුන චක්‍රලේඛ ද මේ නූල් සූත්තරවල අවස්ථා ය. ඒවා අවසානයේ විහිළු බවට පත් වීමෙන් හෝ තකතිරුකම් බවට පත් වීමෙන් හෝ අවසන් වීමට නියමිත නමුත්, ආණ්ඩුව විසින් ජනතාවට එසේ ක්ෂණික මෝහනයක් ලබා දීම තම පැවැත්ම බවට පත් කොට ගෙන තිබේ. පෙනෙන්නට තිබෙන තත්ත්වය අනුව ඉදිරියේ දී වැඩි වැඩියෙන් මෙවැනි විහිළු සැපයීමට මොවුන්ට සිදු වන්නේ ය.

ඒ නිසා පෙර රජ දවස මෙන් දැන් රජවාසලට අන්දරේලා අවශ්‍ය නැත. පාලකයෝ ම අන්දරේලා වී සිටිති. එබැවින්, ආණ්ඩුවේ විහිළුවලින් බඩ පුරවා ගනිමින්, කරබාගෙන ඉන්නවා ද? එසේ නැතහොත්, මේ රැවටිලිකාරයන්ගෙන් රට බේරා ගැනීමේ සැබෑ විකල්ප මාවතට එකතු වනවා ද යන්න ජනතාව තීරණය කළ යුතු ය●

Leave A Reply

Your email address will not be published.

one + 5 =