රන්ජන් හිරේ දැම්මට කියපු දේ හිරේ දාන්න පුළුවන් ද?

රන්ජන් රාමනායක අවුරුදු හතරකට බරපතළ වැඩ ඇතිව හිරගත කළේ ය. ඔහුට එරෙහිව තිබූ චෝදනාව වූයේ උසාවියට අපහාස කිරීම ය. ඔහු කිව්වේ, විනිශ්චයකාරවරුන්, නීතිඥයන් බහුතරයක් හොරු, දූෂිතයෝ කියා ය. එය මුලින් ම කිව්වේ, අධිකරණ භූමියෙන් පිට ස්ථානයක දී ය. පසුව නඩු විභාගය යන අතරතුර දීත් ඔහු උසාවි භූමිය තුළ දී ම නැවත එම ප්‍රකාශය ම කළේ ය.

නඩුව විභාග වෙද්දී, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ විනිශ්චයකාරවරුන් පිළිබඳව එසේ හැදුණු චෝදනා ගණනාවක් ඉදිරිපත් කළහ. ඒ පිළිබඳව ලියැවුණු පොත් පත්, පුවත්පත්, ලිපි ලේඛන පවා ඉදිරිපත් කළහ. ‘රාවය’ පුවත් පතේ හිටපු ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් විසින් සෘජුව ම ඇඟිල්ල දික් කළ විනිශ්චයකාරවරුන් පිළිබඳ උදාහරණ සහිතව පෙන්වා දුන්හ. හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. ද සිල්වා මහතාගේ ප්‍රකාශය ද උපුටා පෙන්වූහ. ඔහු ප්‍රසිද්ධ රැස්වීමක දී “සුනාමි නඩුවෙන් මම මහින්දව නිදහස් කළ එක වැරදියි, ඒ ගැන මම මුළුමහත් ජාතියෙන් සමාව ඉල්ලනවා යැ”යි කිව්වේ ය. ඔහුගේ ම පැහැදිලි කිරීමට අනුව එදා මහින්ද නිදහස් කොට ඇත්තේ, මහින්දට විරුද්ධ චෝදනාවලට සාක්ෂි තිබිය දී ය. ජාතියෙන් සමාව ඉල්ලුවේ බරපතළ නෛතික වැරැද්දක් කරපු නිසාවෙනි. එම තීන්දුව හුදෙක් දේශපාලන හේතු මත දුන්නක් බව ඔහුගේ කටින් ම කියවිණ. එකී කරුණු ද උසාවියට ඉදිරිපත් කෙරිණි. එහෙත්, ඒ කිසිවක් රන්ජන්ව චෝදනාවෙන් නිදහස් කිරීමට තල්ලුවක් වී නොමැත.

මුළුමහත් රාජ්‍ය සේවයට ම ආදර්ශයක් සැපයූ නඩු තීන්දුවක් වූයේ, ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට එරෙහිව දුන් තීන්දුව ය. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් සිල් රෙදි බෙදා දීමට යොදාගෙන තිබුණේ, ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ය. මහාධිකරණය මඟින් ඔවුන්ට එරෙහිව බරපතළ වැඩ ඇතිව හිරගත කරන තීන්දුවක් ලබා දුන්නේ ය. එහෙත්, අභියාචනාධිකරණයෙන් එම සියලු චෝදනාවලින් ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කළේ ය. කලින් තීන්දුව දුන් විනිසුරුවරයාට උසස් වීමක් අනිවාර්යයෙන් ම ලැබිය යුතුව තිබිය දී පවා එය ලබා නොදුන්නේ ය. දෙවැනි තීන්දුව ලබා දුන් අයට උසස් වීම ලැබුණේ ය.

රන්ජන්ගේ ප්‍රකාශයට එරෙහිව තීන්දුවක් දුන්න ද, ඔහුගේ කතාවේ හරයට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් අරගෙන නැත. එනම්, ‘බහුතරයක් විනිශ්චයකාරවරුන් දූෂිතයි’ යන්න එහි හරයයි. මේ කතාවේ ඇත්ත නැත්ත සොයාබැලිය යුතු ය. කවුද මේ දූෂිත විනිසුරුවරු ? මොනව ද ඒ අය කරලා තියෙන දූෂිත වැඩ ? ඒවා ගැන වහාම විභාගයක් පැවැත්විය යුතු ය. අධිකරණය සර්ව සම්පූර්ණයෙන් ම පිරිසිදු පුද්ගලයන්ගෙන් පිරුණු ආයතනයක් ද? නැද්ද යන්න විමසා බැලිය යුතු ය. එසේ නොමැතිව රන්ජන් හිරේ දැමීමෙන් පමණක් ඔහු කියපු කතාවේ ඇත්ත නැත්ත හෙළිදරවු වන්නේ නැත. දැන් සිදුව ඇත්තේ, ඔහු හිරේ දැමීමෙන් ඔහුගේ කතාවේ තිබූ කරුණු යටපත් වීම ය. එයට ඉඩ දිය නොහැකි ය. ජනතාව ප්‍රශ්න කරන්නේ එයයි. ඔහු හිරේ දැමීමෙන් ඔහු කියූ කරුණු හිරේ දැමිය නොහැකි ය.

ජනතාවගේ හිත් තුළ ඇති ඒ ප්‍රශ්නයට තවමත් උත්තරයක් ලැබී නැත. පහුගිය දවස්වල ගම්පහ, උඩුතුත්තිරිපිටිය ප්‍රදේශයේ තරුණයකුට රුපියල් එකසියවිස්සක් වටිනා පොල් ගෙඩියක් හොරකම් කළ වරදට රුපියල් ලක්ෂයක දඩයක් නියම කෙරිණි. ඊට සති දෙකකට පෙරාතුව රුපියල් තිස්දහසක චෙක් පතක් වංචා කිරීමට එරෙහිව අනුරාධපුර,  නොච්චියාගම ප්‍රදේශයේ රජයේ නිලධාරියකු බරපතළ වැඩ ඇතිව හිරේට යැව්වේ ය. එහෙත්, කෝටි හතරහමාරක් මහජන මුදල් වංචා කළ චෝදනාවට අදාළ නඩුවෙන් ජොන්ස්ටන් ඇමතිවරයා නිදොස් කොට නිදහස් කළේ ය. ඒ එවැනි වංචාවක් නොකළා යැයි ඔප්පු වීමෙන් නොවේ ය. නඩුව දමද්දී, හරියට දැම්මේ නැති හේතුව නිසාවෙන් ය. එනම්, තාක්ෂණික කරුණක් හේතුවෙන් ය. කුප්‍රකට චරිතයක් වූ, හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වූ පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කරනු ලැබී ය. ඔහු ඇතුළු පිරිසට තිබූ චෝදනාව වූයේ ජෝශප් පරරාජසිංහම් හිටපු මන්ත්‍රීවරයා පල්ලියේ පූජාවේ දී වෙඩි තබා ඝාතනය කිරීම ය. එය සිදු වූයේ ඔහුට එරෙහිව දැමූ නඩුව නීතිපතිවරයා ඉල්ලා අස් කර ගැනීමෙන් ය. මේ ආකාරයට ම දුමින්ද සිල්වාට එරෙහිව තිබූ තරුණ කාන්තාවක් බලහත්කාරයෙන් දූෂණය කිරීමේ නඩුව ද එවකට හිටපු නීතිපති මොහාන් පීරිස් ඉල්ලා අස් කර ගත්තේ ය. දුමින්දට එදා තිබූ චෝදනා වූයේ දූෂණ චෝදනා ය ඉන් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබී ය.

මුළුමහත් රාජ්‍ය සේවයට ම ආදර්ශයක් සැපයූ නඩු තීන්දුවක් වූයේ, ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට එරෙහිව දුන් තීන්දුව ය. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් සිල් රෙදි බෙදා දීමට යොදාගෙන තිබුණේ, ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ය. මහාධිකරණය මඟින් ඔවුන්ට එරෙහිව බරපතළ වැඩ ඇතිව හිරගත කරන තීන්දුවක් ලබා දුන්නේ ය. එහෙත්, අභියාචනාධිකරණයෙන් එම සියලු චෝදනාවලින් ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කළේ ය. කලින් තීන්දුව දුන් විනිසුරුවරයාට උසස් වීමක් අනිවාර්යයෙන් ම ලැබිය යුතුව තිබිය දී පවා එය ලබා නොදුන්නේ ය. දෙවැනි තීන්දුව ලබා දුන් අයට උසස් වීම ලැබුණේ ය. ඒ නිසාම උසස් වීම දුන්නේ නැතැයි කෙනකුට තර්ක කළ හැකි ය. එහෙත්, සාමාන්‍ය ජනතාවට ඒ ගැන බරපතළ සැකයක් මතු වීම වැළැක්විය නොහැකි ය.

ආණ්ඩු මාරු වෙන කොට නඩු තීන්දු මාරු වෙන රටාවක් අද දකින්නට ඇත. එදා බරපතළ චෝදනා තිබූ අය අද රොත්ත පිටින් නිදොස් කොට නිදහස් වන්නේ ය. ආයෙත් ආණ්ඩු මාරුවක් සිදුවෙන කොට ඒකේ අනෙක් පැත්ත සිදු වන්නේ ය. ඒ දිහා බැලුවා ම අධිකරණය දේශපාලනීයකරණයට ලක් වී ඇති බව බැලූබැල්මට ම පෙනෙන්නකි. දැන් එය තවත් වැඩි වී ඇත. මන්ද, විසිවැනි සංශෝධනය මඟින් ඉහළ උසාවිවල පත් කිරීම්, උසස් කිරීම් සියල්ල සිදු කරන්නේ තනි පුද්ගලයකුගේ කැමැත්ත අනුව ය. එනම්, ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව ය. එවන් තත්ත්වයක් තුළ විනිසුරුවරුන් දේශපාලන පිහිට පැතීම වැළැක්විය නොහැක්කකි. දූෂිත වූ දේශපාලනය තුළ අධිකරණයත් ඒ තත්ත්වයට පත් වීම වළක්වන්නේ කෙසේ ද? ජනතාව ඉදිරියේ ඇති අභියෝගය එයයි.

මින් සිදු විය හැකි බරපතළ අහිතකර තත්ත්වයේ පැති දෙකක් ඇත. එක්කෝ මුළුමනින් ම පවතින දූෂිත පාලනයේ ගොදුරක් බවට අධිකරණය පත් වීම ය. එසේත් නැතිනම්, ජනතාවට අධිකරණය ගැන ඇති විශ්වාසය මුළුමනින් ම බිඳවැටීම ය. මේ දෙකම ඉතාම භයානක ය. මේ දෙකෙන් කොයි එක වුණත්, එවන් තත්ත්වයක් තුළ සමාජය බරපතළ කඩාවැටීමකට ලක් වනු ඇත.

“කුමට එරට අධිකරණය හා විනිසුරන්” යන තත්ත්වයට ජනතාව ප්‍රශ්න කරනු ඇත. එවිට මුළුමහත් සමාජ පද්ධතිය ම කඩාවැටෙනු ඇත. එය පුපුරා යන්නේ කොතැනින් ද? කොහොම ද යන්න කාටවත් කිව නොහැකි ය. එහෙත්, එහි ඵල විපාක මුළුමහත් සමාජයට ම විඳින්නට සිදු වීම නම් වැළැක්විය නොහැක්කකි.

එබැවින්, සමාජයක් ලෙස මේ තත්ත්වය වහා වළක්වා ගත යුතු ය. ඒ වෙනුවෙන් කළ හැක්කේ රන්ජන් නිදහස් කර ගැනීමට මැදිහත් වීම නොවේ ය. රන්ජන් කියාපු දේ තුළ තිබූ තිත්ත ඇත්ත ප්‍රශ්න කිරීම ය. ඒ පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ කිරීමට බල කිරීම ය. රන්ජන්ට සාධාරණයක් වන්නේත් ඒ මඟින් ය. රන්ජන්ගේ චරිත ස්වභාවය හේතුවෙන් ඔහුගේ ප්‍රකාශය හෑල්ලුවෙන් ඉවත දැමිය යුතු නොවේ. සැහැල්ලුවෙන් හෝ ඔහු කියපු දේවල ඇති තිත්ත ඇත්ත තේරුම් ගත යුතු ය. එහෙත්, කවුරුත් කතා කරන්න භය මේ දේවල් කතා කරන තත්ත්වයට සමාජය ගෙන ආ යුතුය. එසේ නොවුණහොත්, ඒ පිළිබඳ ප්‍රශ්න කරන සියල්ලෝ ම හිරගත කරනු ඇත. එසේ සිරගත කොට දූෂිත සියල්ල වසා ගනු ඇත. එයට කිසිසේත් ම ඉඩ දිය නොහැකි ය එබැවින්, රන්ජන් ඇඟිල්ල දිගු කොට පෙන්වූ දෙය ගැන වහ වහාම ප්‍රශ්න කළ යුතු ය. රන්ජන්ගේ ඇඟිලිවලට දඬුවම් ලැබී ඇත. එහෙත්, ඔහු පෙන්වා දුන් දෙය නිවැරදිව දැකීමේ හැකියාවක් පක්ෂ භේදයෙන් තොරව ජනතාවට – සියලු ජනතාවට – තිබිය යුතු ය. ඒ වෙනුවෙන් ප්‍රශ්න කිරීම, හඬ නැඟීම තුළින් සැබෑ වශයෙන් ම ඔහුට සාධාරණයක් ඉටු වනු ඇත●

ජගදාක්ෂි

 

 

 

Leave A Reply

Your email address will not be published.