මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න අපේ සහාය නැහැ – වෛද්‍ය සංගමය කියයි

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට වෛද්‍යවරුන් වශයෙන් තමන් කිසිදු ආකාරයක සහයෝගයක් නොදක්වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි වැඩ බලන සභාපති වෛද්‍ය පණ්ඩුක කරුණානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ. පහතින් දක්වා ඇත්තේ එම නිවේදනයයි.

“මෙරට වෛද්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම විද්වත් සංවිධානය වශයෙනුත්, සැමවිටම තම සාමාජිකයින්ගේ ආචාර ධර්ම වලට අනුකූල ක්‍රියා කිරීම ප්‍රවර්ධනය කරන ආයතනයක් වශයෙනුත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, මරණ දඬුවමට නියමව සිටින සිරකරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට දරණු ලබන කඩිනම් ප්‍රයත්න මගින් ජාතියටත් වෛද්‍ය වෘත්තියටත් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව දැඩි අවධානය යොමුකර සිටී.

ශිෂ්ට සම්පන්න සමාජය මරණ දඬුවම දීම සාධාරණීකරණය කිරීම වඩ වඩාත් ප්‍රශ්න කරමින් සිටියි. මින් ඔබ්බට යමින්, විශේෂයෙන් ම නීති පද්ධතිය තුල පවතින ප්‍රශ්නකාරී තත්ත්වයන් සහ එවැනි ගැටළුකාරී පද්ධතියක නීතිමය පිළිසරණ පැතීමට ඇති සීමිත අවකාශ ද සලකා, නීතිවේදීන් ඇතුළු අප රටෙහි බොහෝ පුරවැසියෝද, මෙම තීරණය අප රටට නොගැලපෙන බවට කරුණු පෙන්වා දෙති. එලෙසම එවැනි ගැටළු අප සමාජයේ දුප්පත්ම සාමාජිකයිනට අසමානකාරී ලෙස බලපායි. මේ සම්බන්ධයෙන් ශක්තිමත් කතිකාවක් මෙරට ඇතිවී තිබීම හොඳ ප්‍රවණතාවයක් වුවද, එමගින් නිගමන වලට එළැඹීම තාමත් ඉක්මන් වැඩිය.

මෙවන් පසුබිමක් තුළ, ඉක්මන් තීරණ වලට නොඑළඹෙන ලෙසත්, දැනට ජනතාව අතර මේ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සංවාදය ඉදිරියට යාමට ඉඩ සලසන ලෙසත්, ඒ සඳහා අර්ථාන්විත කරුණු වලින් දායක වෙන ලෙසත්, අප සංගමය ඉල්ලා සිටී. එවැනි වූ ක්‍රියා මාර්ගයක්, අප සැම ගරු කරනු ලබන්නාවූ සහ දේශපාලන අධිකාරිය විසින් ආරක්ෂා කිරීමට බැඳී සිටින්නාවුත්, ප්‍රජාතාන්ත්‍රික ගුණාංග සුරකිනු ඇතැයි අපි විශ්වාශ කරමු.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට හෝ එහි කොටසකට හෝ ඒ සඳහා සිරකරුවන්ගේ යෝග්‍යතාවය පිරික්සීමට හෝ බලපෑම මත හෝ වෛද්‍යවරුන් සහභාගී වීම ආචාර ධර්ම වලට පටහැනි බව අපි පෙන්වා දෙනු කැමැත්තෙමු. බලපෑම් මධ්‍යයේ වුවද මනුෂ්‍ය ජිවිතයට ගරු කිරීම අප වෘත්තියේ උත්තරීතර ආචාර ධර්මයකි.

සිරකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් වලකින ලෙසට ආණ්ඩුවෙන් සහ රජයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැඩිව ඉල්ලා සිටියි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තුළින් ලබාගැනීමට බලාපොරොත්තු වන යහපත් සමාජයීය පරමාර්ථයන් තිබේ නම්, එවැනි පරමාර්ථ සපුරාගත හැකි වෙනත් සුදුසු ක්‍රමවේද පිළිබඳ වූ කතිකාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වා ගෙන යන ලෙසත්, අප සියළු පාර්ශ්ව වලින් ඉල්ලා සිටිමු.

එලෙසම, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හෝ ඊට කිසියම් ආකාරයකින් දායකවීම වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි බැවින් ඉන් ඉවත් වන ‌ලෙස අප සංගමය සියළුම වෛද්‍යවරුනට ද දන්වා සිටී”

වෛද්‍ය පණ්ඩුක කරුණානායක
වැඩ බලන සභාපති
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන්

Leave A Reply

Your email address will not be published.

16 + 7 =